Thursday, May 28, 2015

ජන තෙරිදු සග පතිදු

                  
(මැයි 29 වෙනි දිනට යෙදෙන පූජනීය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ උපන්දිනය නිමිත්තෙනි.)
                    
                    මල් සමයටත් මත්තෙන් නාග විහාරයට ගොඩ වැදුනේ දෛවෝපාගත ලෙසය. එතැන් පටන් ජන තෙරිදු මහ තෙරිදු මාදුඵවාවේ සෝභිත සංඝ සේනාධිපතින් වහන්සේ හා බැදුනු දිවි අන්දරය ගලන්නේය. නොසිදි බැදී නොබෙදී ගලන්නේය. උන්වහන්සේ ලගට බැදි බෝහෝ චරිත බැබලි , උන්වහන්සේට ගරහා අපවාද නගා අතහැර ගොස්ය. තනිවම හෝ අරමුණ අත නොහැරිය බුද්ධ භාෂිත වීර්‍ය පාරමිතා පිරූ මහ තෙර පාමුල අදත් නොබිදි පවතින ඇසුරේ පී‍්‍රතිය නිරාමිසව විදිමි. අරමුණ සීලයක් කර ගත හැකි බවත්, ඒ සීලය බහුජන පරාර්ථයේ උපරි ව්‍යුහය වූ ”රාජ දේශපාලනය” සදහා පෙරටු කර ගත යුතු බව පසක් කල මහ භික්‍ෂුව උන්වහන්සේය. අරමුණ ”මම” නොවන බවත්, අරමුණ ”අප” බවත් භික්‍ෂුව අරමුණට ලගා විය යුත්තේ පැවිදි ශීලයට අකැප බල දේශපාලනයෙන් පිටත සිට බව පසක් කර වූ ජන අරගල මහා තෙරිදු මාදුඵවේ සෝභිත හිමිය.

                               රටක් අසීරුම පැයේ එකට බැද ගොතා, සියල්ලටම බලය දී තමන් බලය අතහැර ආරාමයට වැඩ, වැඩ සිටිය හැකි සරල අල්පේජ්ජ ”සෝභිත හාමුදුරුවෝ” පිටකෝට්ටේ නාග විහාරයට වැඩියේ රයිගම් කෝරළයේ මාදුඵවාවේ සිටය. රයිගම් කෝරළය ලක් සසුනේ අග‍්‍ර සංඝනේත‍්‍රෘන් වහන්සේලාගේ ජාන භූමිය ලෙස සනිටුහන් වන්නේ සසුන ඇරඹි මිහි`දු මහරහතන් වහන්සේගේ සමයේමය. රයිගම් සග පරපුරේ කීර්ති කදම්බය විශ්වීය වූයේ ‘‘වනවාසියේ වනරතන’’ මහා තෙරිදු නිසාය. ඒ කීර්තියේ සෘජු ප‍්‍රථිපලය වූයේ පාහියන් භික්‍ෂුන් වහන්සේ රයිගම් කෝරළයේ පාහියන් ලෙනට වැඩම වීමෙනි. ලක් ශාසන කතාවතේ තීරක මතවාද හැසිර වූ සංඝ සෝභිත සග පතින් වැඩ විසූ රයිගම එක් තීරක මංසන්ධියක දී ලක් දේශපාලන බලයෙහි උරුමකරුවා වන්නේය. ඒ රයිගම් පුත‍්‍ර මහ තෙරි`දු මහ මෛතී‍්‍රය ස්වාමීන් වහන්සේ නිසාය. දඹදෙණි රාජධානීය වියවුලක් වන්නේ එක් අමන ආත්මලෝභී බල උමතු රාජ පාලනයක කෙළවරදීය..

                        වඩාත් පොදු මිනිසා පොදු අරමුණට සොයා ගැනීමට ලක් වැසියාට සිදු වන්නේ කි‍්‍ර.ව. 1412 වෙසක් මහේ 29 වනදාය. ජාතික ශිෂ්ඨාචාරයක හෘද ප‍්‍රාර්ථනාවට යුක්තිය ඉටු කළ හැකි ”ශිෂ්ඨාචාරයක යුග මිනිසා” සොයන්නට සිදු වූයේ එදාය. සටන වූයේ හිඩැස නිසාය. ගිහි සමාජයට උත්තරයක් නොතිබිණි. ගිහි සමාජය බෙදී තිබුණි. රජ කිරුළත්, දන්ත ධාතුන් වහන්සේත් සංඝරාජ රයිගම් පුත‍්‍ර  වීදාගම මහ මෛතී‍්‍රය තෙරිදුට පිරිනැමුවේ එදාය. පුදුමය ඒ සිදුවීමෙන් සියවස් හයක් පුරන දිනම මාදුඵවාවේ සෝභිත ජන තෙරිදු රයිගම මාදුඵවාවේ ගමේ දී උපත ලැබ තිබූ සැටිය. 

                       මැයි මාසේ වෙසක් මහේ රට අද වගේම බුදු තෙම`ගුලේ ප‍්‍රාර්ථනා සාදු නදින් බැබලෙන මැයි මහේ විසි නමවැනිදා උන්වහන්සේ උපත ලැබ සිටියේය. පරපුරු පරම්පරා ගුරුකුල කණ්ඩායම් සිය දහස් ගණනක් සම`ග පරහිත සුව පිණිස යෙදී වැඩ සිටින්නේය. සටන ජීවිතය පුදා කළ යුතු නම් උන්වහන්සේ එම සටනට පිවිසියේ භද්‍ර යෞවනයේ පහන් තරුව ලෙසය. ඒ 1987 ජූලි විසි නමවැනිදා පිටකොටුවේ බෝධිය පාමුල දීය. ලංකාවේ අසහය විධායක පාලකයන් සියඵදෙනාම සමග පොදු අරමුණු උදෙසාම ගැටුණු සෝභිත හාමුදුරුවන්ට ජන ඝාතක ත‍්‍රස්තවාදී ජන නායකයෙකු වූ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සමග ද ගැටෙන්නට සිදුවිය. ඒ වඩාත් පොදු අරමුණ වූ ශී‍්‍ර ලාංකික ජාතියේ එ්කීය රාජ්‍ය වෙනුවෙනි. ලේ පිපාසිත ජන ඝාතක ත‍්‍රස්ත නායකයෙකුට මුහුණ දීමට පිළිවෙත් මගින් පුහුණු කළ ”ජාතික භික්‍ෂුව” ලෙසම උන්වහන්සේ නායකත්වය සැපවූයේය. ඒ ජන ඝාතක ත‍්‍රස්තවාදය නසාලන යුද්ධය ජය ගත්තේය. ජය උදම් රැුල්ලේ ලෝලව භික්‍ෂුව බල රස මැද ආතුරව යන කම්පිත සමයක් උදාවිය. ලක් රාජ්‍ය නායකත්වය අමරණීය රාජකීයත්වයට පත් වූයේය. ජිවිතයත් මරණයෙන් කෙළවර අවසන් වන ලෝක ස්වභාවයක අමරණීය රාජ්‍ය පාලනයක් ලංකා ව්‍යවස්ථාවට 18 නමින් නම්ව සම්මත වූයේය. ඔහු පාලනය කරන්නට නීතියටත් ආගමටත් සදාචාර චාරිත‍්‍ර වාරිත‍්‍ර කිසිවකට නොහැකි විය. ශිෂ්ඨාචාරය යළිත් පොදුම පොදු මිනිසෙක් සොයන විට ගිහියෙකු නොවූනු තැන පැවිදි සිරිත යළි සිරිත වූයේය. ඒ ලක් ඉතිහාසයේ එසේ සිදු වූ සත් වන වතාවයි. පුදුමයෙන් පුදුමය රයිගමට ඒ උරුමය ලැබී තිබූ දිනකම උපන් රයිගම් භික්‍ෂුවම සත්වැන්නා වූ අරුම දනවන ඓතිහාසික ගැලපීමය. ඉතිහාසය මේ මොහොතේ ජීවමානව වින්දනය කරන ප‍්‍රභාෂ්වර ජීවන චරිත සිරිතක් ලෙස මාදුඵවාවේ මහ තෙරිදු අභිෂේකව ඇත්තේ ඒකය. 

                       අසීමිත බලය ජාතික ශිෂ්ඨාචාරයක් විපතේ හෙලන විට පොදු ප‍්‍රාර්ථනාව වන්නේ සග පතිදු සෝභිත තෙරිදුය. දඹදෙණිය ඇදවැටී රජෙක් නැති විට රජ පදවියට මෛත‍්‍රීය මහ තෙරි`දු නම් වන්නේ කි‍්‍ර.ව. 1412 දීය. පුදුමය වන්නේ රජ යුගය නිමා කොට ජන සම්මත යුගය බිහි වූ පසු රජ පදවිය යළි  ස්ථාපිත කරන ඒ අනතුර පිටු දකිනට ජන පැතුම බවට සෝභිත තෙරිදු පත් වන සැටියය. මෛතී‍්‍ර මහ තෙරිදු රජකම ප‍්‍රතික්ෂේප කොට කෝට්ටේ යුගයට නව දොරටුව හැර තැබුවේය. එලෙසම නව කෝට්ටේ යුගයේදී ජන සම්මතය රැුක ගැනීමට මාදුඵවාවේ තෙරිදු ජනපති අපේක්ෂකත්වය අතහැර නිසි ගිහියාට මාවත හැර තැබුවේය.

                         කි‍්‍ර.ව. 1412 දී මෛතී‍්‍ර මහ තෙරිදු හමුවේ වූයේ නව යුගයක් සදහා සටනකි. ඒ සමයේ ආර්ය චක‍්‍රවර්තිගේ ද්‍රවිඩ ජාතිවාදය රට වෙලා ගනිමින් තිබුණිි. එවිට මහ තෙරිදු මෛතී‍්‍ර හිමියන් ඒ අනතුරින් මවුබිම මුදන රන් ස්වරය වූයේය. එලෙසම වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්ත උමතුව පරදවන රන් ස්වරය වන්නේ මාදුඵවාවේ තෙරිදුය. එදා මෛතී‍්‍ර මහ තෙරිදු  අර්යචක‍්‍රවර්ති පරදවන මගහි ප‍්‍රතිඵලය වන්නේ සයවන පරාක‍්‍රමභාහුවන්ගේ රාජ්‍ය උදාවය. මෙවර මාදුළුවාවේ මහ තෙරිදුගේ කොටි ත‍්‍රස්තවාදය පරදන ගමනෙහි ප‍්‍රතිඵලය වන්නේ් රාජපක්ෂ රාජ උදාවය. එකල සයවන පරාක‍්‍රමබාහු රජුගේ රාජ්‍ය පාලනය කෙලසින්, අල්ලසින් හා දුෂණයෙන් පිරීයෑමේ ඛෙදවාචකයකට මුහුණ දුන්නේය. එවිට සයවන පරාක‍්‍රමබාහුගේ ක‍්‍රමයෙන් රට මුදා ගැනීමට පෙරට වැඩියේ වීදාගම මෛතී‍්‍ර මහා තෙරිදුමය. ඒවගේමය. රාජපක්‍ෂ පාලනය දුගදින් පිරී පාපකාරී දුෂිත පාලනයක් වන විට එම පාලනයෙන් ජාතික ශිෂ්ඨාචාරය නිදහස් කර ගැනීමේ ජය නාදය වන්නේ මාදුඵවාවේ සෝභිත මහ තෙරිදුය. එදා සයවන බුවනෙකබාහුගේ රාජ්‍යත්වයද මෙවර මෛතී‍්‍රපාල සිරිසේනයන්ගේ රාජ්‍ය නායකත්වයද උදාවූයේ මේ රයිගම් පුත‍්‍ර මහ තෙරවරුන් දෙපළගේ අනුහස් සහිත ජාතික සටන මැදය.

                  ලක් පොළෝ තල මැද මාදුඵවාවේ සෝභිත හිමි බහු විධ මහ තෙර නමක් වන්නේ මෙවන් කේන්ද්‍රීය සිදුවීමක් සමගය. ලංකාවේ සමාජ මතමානයේ කවර දිශාවක වූවද ප‍්‍රකාශකයා ලෙස මතුවන උන්වහන්සේ ජනපි‍්‍රය බවත් ගෞරවයත් අඛණ්ඩව රදවාගත් එකම භික්‍ෂූන් වහන්සේ වන්නේය.

                      බලය ලබා ගැනීමට නොව බලය හැසිරවිය යුතු මග  භික්‍ෂූවගේ උරුමයය. මාදුඵවාවේ හාමුදුරුවෝ මේ පිලිවෙත අකුරටම රැක ගත්තේය. මේ මොහොතේ සිහිපත් වන්නේ 2003 දෙසැම්බර් 12 වෙනිදාය. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ අදිසි අපවත් වීමේ අනුවේදනය මැද සිංහළ භික්‍ෂුවගේ පාර්ලිමේන්තු ආගමනයය. ඒ මොහොතේ ද සියළු හැකියාව තිබියදි බලය ලබා ගන්නා දේශපාලන මගින් උන්වහන්සේ  ඉවත්ව සිටියේය. එලෙසම රටම පොදු චරිතය සේ බල චරිතයට තෝරා ගත්තද උන්වහන්සේ එය හැරදැමුවෙකි . චරිතයක් සිරිතක් වන්නේ ප‍්‍රතිපදාවක්  මතය. මාදුළුවාවේ හිමිපාණන් වහන්සේ චරිතයක් සිරිතක් වන්නේ මේ ප‍්‍රතිපදා ගුණ කදම්බය නිසාය. ලක් සසුනේ බොහෝ සගපතීන් ඇසුරෙන් ලබා ගත් අත් විදීමක් මට ඇත්තේය. ඒ අත්විදීම තුල අවබෝධ කරගත් සත්‍යයක් වන්නේය. එනම් බොහෝ සගපතීන් වහන්සේලා බහු ජන සමාජය සමග බැදුනු විට උන්වහන්සේලාගේ පැවිදි බව බිදී වැටෙන සැටියය. එත් මාදුඵවාවේ මහ තෙරිදු අභිෂේක ලබන තැන මෙතැනය. අන් අතකින් මගේ සිත ඈතට ඇදී යයි. නූතන ලක් කතාවතේ ”ගුරු ගෙදර” ලෙස නාග විහාරය මතු වන සමය සිහි වේ. සියවස් ගණනනාවක ජාතික අස්වැන්න වූ මහා ප‍්‍රඥා තෙර පරපුර ගිහිිපාණ්ඩිත්වයන් එකට කදවුරු බැදි භූමියට ආ ගිය මතක පද සිහි වේ. ලක්දිව නූතන සගපති සමාජය සමග ඇසුරු බැදීමට කෙම්බිම වන්නේද මේ ”ගුරු ගෙදර” නාග විහාරයය. සාහිත්‍ය, කලාව,සිනමාව,වෙදකම,අමද්‍යපවාදය, ජෝතිර්වේදය යුද්ධයේ සිට ප‍්‍රජාතාන්ත‍්‍රවාදය මාක්ස්වාදය මෙන්ම ජාතික චින්තනය, ආධ්‍යාත්මිකවාදය ආදී හැම අත විෂයපතීන් එකට හමු වූ තැන නාග විහාරයය. ලංකාවේ ජාතික විප්ලවයන් දෙකකටම ජාතික නායකත්වයක් දුන් භික්‍ෂුවක් ඇත්නම් ඒ මාදුළුවාවේ හිමිපාණන්ය. කොටි ත‍්‍රස්තවාදය පරදන ම`ගටද ව්‍යවස්ථා ත‍්‍රස්තවාදය පරදන මගටද උන්වහන්සේ නායකත්වය සැපයුවේය. අරුමය සැත්තෑදෙවන විය පසුකොටද නායක හාමුදුරුවෝ ජව සම්පන්නය. මේ පූජනීය ජවසම්පන්නයා සමග ජාතියට තව දුරක් ඇවිද යා හැකිය. ඒ දුර කවර දීශාවකටද?. මේ මොහොතේ යලිත් අතීත මතක දැහැන සිහිවේ. දොළොස්වියේ දිනක නාග විහාරයට ආ දින මැවේ. මහ තෙරි`දු පුරාවිදු සක්විති කඹුරුපිටියේ වනරතන මහනාහිමි සම`ග නාග විහාරයට පැමිණී ඒ දවස සිහිවේ. එදා වල්පොළ රාහුල,බළංගොඩ ආනන්ද මෛතී‍්‍රය, පරවාහැර වජිර ඥාන වගේම මඩිහේ පඥාසීහ වන් විසිවන සියවසේ සිංහළ භික්‍ෂූ වංශයේ සගපතීන් වහන්සේලා එකට හමුවන්නේ එදාය. එදා හමු වී සුහුඹුල් මට ජිවීතය සොයා දුන් එම මහ තෙර පරපුරම අද නැත. දිවිමන්ව ඇත්තේ මාදුළුවාවේ සෝභිත අපේ හාමුදුරුවන් පමණය. එදා ඒ මහතෙර පරපුරම මාදුළුවාවේ හිමිට පෑ සුවිශේෂ සෙනෙහස ආදරය තවමත් සිහිවේ. තම පැතුම් ඉටු කළ හැකි  ‘සග පුත‍්‍රයා’ ලෙස මාදුළුවාවේ හිමි ගැන මේ මහ තෙරවරු කේතුමති ආරමයේදී කළ කථාව ජීවමානව ඇසූ දවස සිහි වේ. ඉතින් මේ සියල්ල කෙලවර වැටහෙන ඇත්තකි. ලක් ඉතිහාසය නිසි තැනට විත් නිසි ලෙස නිසි කාර්යය ඉටු කරන්නේ නිසි චරිත සමගය. මාදුළුවාවේ සෝභිත සගපතිදු සමග විසිහය වසරක් එකට වැඩ කර ඇති විට තේරෙන්නේ බිදීම් නැති බැදීමක් බැදුනේ සසර පරිචයක් නිසා බවය. සංසාර බන්ධන තනන ජාතික බන්ධන මහාසම්මත බන්ධනයය. සගපතිදු මහතෙරිදු මාදුළුවාවේ සෝභිත හිමිපාණන් අප සැම එකට බැද ඇත්තේ ඒ මහාසම්මත බන්ධනයටය.

සුජිත් අක්කරවත්ත.

No comments:

Post a Comment