Friday, February 21, 2014

ඕවිල්ලේ කුමාරිහාමි



Entrance to the Bo Tree Enclosure as in 1896 from The ruined cities of Ceylon by Henry W. Cave



ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ ක‍්‍රි.පු. 236 උඳුවප් පුන් පෝදින සිරිලක වැඩම වුයේ මෙරටට නව උදා යුගයක් උදා කරමිනි. ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමත් සමග ඒ සැබැඳී වංශ කුල පරම්පරා ගණනාවක් සිංහල සමාජයට එක් විය. එලෙසම සිංහල සංඝ සමාජය තුළ වෙනම සංඝ ධුරාවලියක් ද බිහි වීමට ශ‍්‍රී මහා බෝධින් වහන්සේ ආගමනය හේතු වුයේය. මේ ශ‍්‍රී මහා බෝධි සමාජ සංවිධානයෙහි ප‍්‍රබල සංවිධිත භාවය නිසාම ශ‍්‍රී මහා බෝරජාණන් ලොව පුරාණතම වෘක්‍ෂය ලෙස අදටත් වැජඹෙති. ඒ සා දිගු ඉතිහාසයක් ඔස්සේ ගලා එන ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේගේ භාරකාරත්වයේ ආරම්භකයන් වුයේ බෝධි ගුප්ත කුමාරවරු හත්දෙනාය.

බොධිගුප්ත, සුමිත්ත, චන්ද්‍රගුප්ත, ධර්ම ගුප්ත, සුරිය ගුප්ත, සහ ගෝතම හා ජුතින්ධර යනු එම කුමාරවරුන්ය.  ඔවුන් විසින් ශ‍්‍රී මහා බෝධි භාරකාර සමාජය තහවුරු  කරනු ලැබිය. අනුරපුරය බිද වැටිමෙන් පසුව බෝධි ගුප්ත පරපුර මහත් අභියෝගයකට මුහුණ පෑවේය. එනම්, රාජධානිය නිරිත දිගට පසු බැසිමය. ඒ සමග රාජ්‍යයේ පූජනීය සංකේතය ලෙස තැනින් තැනට රැගෙන යා හැකි දළාදා වහන්සේ පත් වුහ. එයින් එය ශ‍්‍රී මහා බෝධිය රාජ අවධානයෙන් බැහැර වන්නට හේතු වුයේය. විශේෂයෙන්ම ධර්මාශෝක රජතුමා විසින් එවන ලදුව දෙවන පෑතිස් රජ සමයෙහි සිංහල රාජ්‍ය නිල ව්‍යුහයට සුත‍්‍ර ගත වු ශ‍්‍රී මහා බෝධි භාර කාර සමාජය රාජ්‍ය අනුග‍්‍රහය විරහිතව විසිර ගියේය. රාජ්‍ය විසින් තහවුරු කර ගනු ලැබු නිල ව්‍යුහයක් රාජ්‍යයේ අවධානය බැහැර වු කල වියවුලින් ගහණ වීම සාමාන්‍ය තත්වයකි.  මෙම තත්වය දඹදෙණි සමයේ පසු වඩාත් උග‍්‍ර වු අතර, අපරදිග ආක‍්‍රමණිකයන්ගේ ආක‍්‍රමණය සමග ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ පාලකයන්ගේ මෙන්ම ජනතා අවධානයෙන් බැහැර විය.

මෙවන් අවධියක එවන් තත්වයන්  අභිමුව බෝධි ගුප්ත වංශය සහ ඒහා බැදි බෝධි භාරකාර කුල ධුරාවලීන්  ජය ශ‍්‍රී මහා බෝධිය රැක ගත්තේ ස්වකීය පරම්පරාගත උරුමය බවට පෙරළා ගනිමිනි. රාජ්‍ය ධූරභාරය ස්ව වංශයේ ද කුලයේ ද අභිමානය සහ උරුමය බවට පත්  කර ගන්නට ඔවුන් සමත් නොවුනේ නම් ශ‍්‍රී මහා බෝධින් වහන්සේ අපවත් වන්නට ඉඩ තිබුණි. සිංහල රජ සිරිත රජ රටින් පිටමංව නිරිත දිග තහවුරු වුවද බෝධි ගුප්ත පරපුර නුවර කලාවිය පුරා විසිර පැතිරී පරම්පරානුගත බෝධි භාරකාර සමාජය රැක ගන්නට සමත් වුහ. බෝධි ගුප්ත වංශය විසිර පැතිර විටින් විට සිංහල රජ සිරතට ප‍්‍රභූ රාජ පරපුරක් ද බිහි කළෝය. මේ සියල්ල අතර, නිමක් නැති අභ්‍යන්තර බාහිර අවුල් වියවුල් මැද සිංහල රාජ පරම්පරා බිදි විසිර කුඩා වුයේය. ද්‍රවිඩ, මලයාලම්, චෝළ ආදීන් විසින් රජරට නුවර කලාවිය විනාශ කල අතර, කාලිංඝ-මාඝ රජරට මුළුමනින්ම විනාශ කර දැමුවේය. නමුදු මේසා මහත් ව්‍යසනයක් මැද බෝධි ගුප්ත වංශය වන්නි හත්පත්තුවේ සහ නුවර කලාවිය හදවත ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ බවට පත් කර ගනිමින් රජ්‍ය අනුග‍්‍රහයක් නොමැතිව වුව ද සංස්කෘතික් ලෙස ස්ව සමාජය පවත්වා ගන්න සමත් විය.  නිමක් නැති එම මහගු කැපවීම සතුරු වියවුල් මැද ශ‍්‍රී මහා බෝධියන් වහන්සේගේ ජීවමාන පැවැත්මට හේතු විය. 


දඹදෙණිය ඇද වැටිම බි‍්‍රත‍්‍රාන්‍යය අධිරාජ්‍යවාදීන් පැමිණිම දක්වා කාලය තුළ බෝධි ගුප්ත වංශයෙහි නිල වර්තා ඉතිහාසයෙන් වසන් වී ඇත. එනමුදු බි‍්‍රතාන්‍යයන් ඉතා වැදගත්  කාර්යකට මුල පිරිය. එනම් විහාර දේවාල ගම් ලියාපදිංචි කිරීමය. ඒ 1836 දීය. එයින්  ශ‍්‍රී මහා බෝධිය භාරකාර සමාජය යළි සමාජයට දැන හදුනා ගන්නට ලැබුණි. සියවස් ගණනාවක් මුළුල්ලේ කිසිදු රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබ එලෙසම ජන අවධානයෙන් බැහැරව තිබූ ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ රැක බලා ගත් සමාජ සංස්කෘතිය නැවත ප‍්‍රකට වුයේ මෙම සිදුවිමත් සමගය.


1836 වන විට බෝධි ගුප්ත වංශය ‘‘නුවරවැව පවුල‘‘ ලෙස නාමකරණයකට ලක් තිබුණි. ඒ අනුව ‘‘නුවර වැව පවුල‘‘ බෝධි ගුප්ත වංශයෙහි එකල ජනගත නාම ද නොවේ නම් ඔවුන් බෝධි ගුප්ත වංශයේ අතුරු ශාඛාවක් දැයි නිශ්චිත නැත. කෙසේ නමුදු 1836 වන විට බෝධි භාරකාර ප‍්‍රධානත්වය නුවර වැව පවුල දරන්නට ඇත්තේ ඔවුන් තීරසාරව බෝධි ගුප්ත පරපුරින් විහිදී වංශගත උරුමයක් ලෙස බව පැහැදිලිය. ඒ අනුව එකල ශ‍්‍රී මහා බෝධියේ ගිහි භාරකාරීත්වය නුවර වැව පවුලේ ‘‘සුරිය කුමාර වන්නිසිංහ මුදියන්සේ ය.‘‘ දරමින් ඔහු නිල බලයේන් නුවර කලාවියේ මහා වන්නියා ද විය. ඒ අනුව සිංහල රාජ්‍යය පිහිටි රටින් බැහැර වුද පටන් බෝධි ගුප්ත පරපුර නුවර කලාවියේ පාලකයන් වු බව මේ අනුව නිගමනය කල හැකිය.  කෙසේ නමුදු සුරිය කුමාර වන්නිසිංහ මහවන්නියා මිය යාමෙන් ඉක්බිතිව ඔහුගේ එකම පුත‍්‍රයා වු වනසිංහ බණ්ඩාර බෝධි භාරකාර ධුරයයට පත් වු අතර, අටමස්ථානයන්හි භාරකාරත්වය ද ඔහුම ඉසිලූවේය. නමුදු 1871 වර්ෂයේ දී නව යොවුන් වියේ සිටි වනසිංහ බණ්ඩාර මහවන්නියා මිය ගියේය. ඔහුට දාව පිරිමි දරුවන් නොසිටි බැවින්.  බිරිද වු ඔවිල්ලේ කුමාරිහාමි බෝධි භාරකාර ධුරයට පත් වුවාය. මෙය ඓතිහාසික සන්ධිස්ථානයකි. ස්ත‍්‍රියක් වු සංඝමිත්තා තෙරණින්වහන්සේ විසින් වැඩමවා ගෙන එනු ලැබු ශ‍්‍රී මහා බෝධින් වහන්සේගේ භාරකාරත්වය ප‍්‍රථම වරට ස්ත‍්‍රියකට හිමි වුයේ මෙලසය.

එපමණක් නොව 1872 දී අටමස්ථානාධිපති හිමියන් තෝරා ගැනිම සිදු වුයේ  ඕවිල්ලේ කුමාරිහාමිගේ ප‍්‍රධානත්වයෙනි. ශ‍්‍රී මහා බෝධි භාරකාර සංඝ පරම්පරාව ‘‘බෝමළුව‘‘ සංඝ පරම්පාරාව ලෙස නාම ගත වී තිබේ. එම පරපුර ද පුරාතන බෝධි ගුප්ත පරපුර ඇසුරින් බිහි වූ වංශගත පරපුරකින් පැවත එන සංඝ ධුරාවලියකි. ඒ අනුව අටමස්ථානිධිපති නම් මහා භාරධුර ශාසනික පදවිය හැම විටම තෝරා ගැනිම ශ‍්‍රී මහා බෝධිය භාරකාර මණ්ඩලය අනුමැතිය ඇතිව සිදුවීම පිළිගත් සම්ප‍්‍රදායයි.  ඕවිල්ලේ කුමාරිහාමි 1872 දී අටමස්ථානභාරකාර හිමියන් තෝරා ගැනිමේ තීරක චරිතය වු බැවින් ඇය දෙවන වරටත් විශේෂ චරිතයක් වුවාය. එනම් භික්‍ෂුන් වහන්සේ නමක් ශාසනික නිළයකට පත් කිරිම සඳහා එතෙක් මෙතෙක් ගිහි නායකත්වය ගත් එකම ස්ත‍්‍රිය බවට ඔවිල්ලේ කුමාරිහාමි ඉතිහාසයට එක් වීමෙනි.

සුජිත් අක්කරවත්ත                                                                                                                                                                                               




Monday, February 10, 2014

සවුලූ මෙහෙණවර නෑ පෙළපත

Prasanna Weerakkodi Paintings 


දඹදෙණිය පෙළපත එකිනෙකා කා කොටා ගනිමින් වසර එකසිය හතක් ලක් සිහසුන සෝබමාන කළෝය. මෙම පාලන කාලය තුළ කිසි බාහිර පාලකයෙකුට ලක් රජය අත්පත් කර ගැනීමට නොහැකි විය. ඒත් පුත‍්‍ර හිගයට ගොදුරුව දඹදෙණිය රාජ පරපුර ඇ වැටෙන්නේය. එහි ප‍්‍රතිඵලය වන්නේ ඊළග ලක් රාජ පෙළපත මෙරට බල කලාවට පිවිසීමය. ක‍්‍රි:ව: 1335 දී පස්වන විජයබාහු නමින් රජපදවිය දරමින් ඇරඹෙන මෙම රාජ වංශය ”සවුලූ මෙහෙණවර නෑ පෙළපත” ලෙස නම් වේ. සිංහල රාජ සිරිත ඔපකල සතර කුල සිරිත අහිමිව යාමෙන් පසු ඒ සහා සුදුස්සන් පත් වන්නේ ඒ අතීත රාජ විභූති කුලවතුන්ගේ නෑ උරුමකම් සොයා ගනිමිනි. ඒ අනුව සවුලූ - ළැමැණි හෙවත් මෙහෙණවර පෙළපත බිහි වන්නේ එවන් අතීත බැඳියාවක් සමගිනි.

සංඝමිත්තා මහ රහතන් උත්තමාවිය මෙරට වැඩම කළ සමයේ එතුමියගේ ගිහිකළ සැමියා හා ඔහුගේ නෑ පෙළපත මෙහි සැපැත් වූහ. ඒ අනුව සමුද්‍ර ගුප්ත කුමරුගෙන් ඇරඹි ගුප්ත පරපුරෙහි එක් කුමරෙකු වු ”සුරස ගුප්ත” සිංහ වංශයෙන් පැවිදිව සිටි තෙරණියකට පෙම් කොට ඇය හා රමණ සුව වින්දේය. එහි ප‍්‍රඵීපලය වන්නේ ඇය ගැබ් ගැනීමය. සිවුරු හැරදා සුරස ගුප්ත සරණ බැඳි ඇයගෙන් උපන් කුල කුමරුගෙන් පැවත එන පරපුරට ”මෙහෙණවර වංශය” යන නම බැඳි ගියේය.  ඒත් අනුරාධපුර යුගයේ සතරවන සියවසේ සිදුවූ මෙම සිදුවීමෙන් පසු මෙම පරපුරට රාජ්‍යත්වය පිණිස සියවස් එකොළහක් බලා සිටින්නට සිදුවිය. කවුරුත් අවසන් වී කවුරුත් නිමා වී ඇති කාලය පැමිණි විට මෙම වංශය කරළියට එන්නේය.

ඒ අනුව අලකේශ්වර ප‍්‍රභූ පෙළපත මධ්‍ය භාරතයෙන් පැමිණ මෙකී වංශය කුල වද්දවා ගැනීමෙන් සවුලූ මෙහෙණවර ලෙස මෙම පෙළපත පුළුල් නෑ මිත‍්‍ර පරපුරක් වේ. ඒ අනුව පරපුරු පෙළපත් කීපයක් එකට එකතුකර ක‍්‍රි:ව 1335 දී රාජ උදානය අරඹන මෙකී පෙළපත ලක් සිහසුන දැරූ අට වන රාජ පෙළපතවේ.

පුරා වසර දෙසිය විසිනමයක් රජුන් පහළොස් දෙනෙකු රාජ සිරිතට කැවු  මෙම පෙළපත දඹදෙණී රාජධානිය, කෝට්ටේ නුවරට කැවු රාජ පෙළපතය.

ඒ ආර්්‍ය චක‍්‍රවර්තිගේදකුණු භාරතීය වෙළ වාදී ආක‍්‍රමණය සමග ජනිත වූ ජාතික රැල්ල නිසාය. වීර වික‍්‍රමාන්විත නිශ්ශංක අලකේශ්වර මෙර රාජ යුගයට නව හැරවුමක් ඇති කල අතර කිර්තිධර හයවන පරාක‍්‍රමබාහු සවුලූ මෙහෙණවර පරපුර උච්චස්ථානයට රැගෙන ගියේය. බටහිර ජාතික ආක‍්‍රමණයකට මුදුන දුන් ප‍්‍රථම ලක් රාජ පෙළපත වන්නේ මොවුන්ය. මායා දුන්නේ ටිකිරි රාජසිංහ වන් බටහිර විරෝධී දේශමාමක රාජ සිරිත් දෙකකින්ද විභූතිමත් මෙකී පෙළපත තුළින්ම ප‍්‍රථම අබෞද්ධ රජු බිහිවීමද විටෙක දෛවෝපගත   සිදුවීමකි. වඩාත් පිවිතුරු බෞද්ධ වංශයක් ලෙස මතුවීමට තෙරණියකගේ  කුසින් උපන් මෙහෙණවර වංශයේ අවසන් පුරුක වු ධර්මපාල කුමරු ද කිතුණුවෙකු වී දොන් ජුවාන් ලෙස රජවන්නේ දෛවයේ සරදමක් ලෙසය.

සාරවත් ආර්ථික උදානයක් සහ ප‍්‍රභාමත් කලා සාහිත්‍ය පුනරුදයක් සහිත කෝට්ටේ යුගය සවුලූ ළැමැනි මෙහෙණවර පෙළපතහි. රාජ්‍ය තාන්ත‍්‍රික බව පෙන්වති. ඒ වගේම මලයාලම් කාලිංග ආන්ද්‍ර සහද්‍රවිඩ මෙන්ම මලබාර් වැනි බහුවිධ ජන වර්ග සමග සම්මිශි‍්‍රත සිංහල ජාන වංශ සමාජයක් මෙම යුගයේ ස්ථාවර වී තිබුණි. ඒ බහුවිධ ජන වර්ග එකමුසුව කෝට්ටේ යුගයේ සාරසුබාට  මුල් වී වන්නේය. වත්මන දක්වා පරමාදර්ශි කර ගත හැකි රාජ්‍ය චින්තනයක් මෙකී වංශය ස්ථාවර කළෝය. එය සිංහලත්වය ඔසවා තැබු බහු ජාතික ආගමික විචිත‍්‍රත්වයය. මෙකී රාජ පරපුරහි බහුතර රජුන් අතර පවතින පුදුම සමානකම පුත් කුමරුන් අහිමි වු සැටිය. ඒ නිසා දු කුමරියන් රාජ සිරිතේ බලවත් චරිත වන්නේය. එහි ප‍්‍රතිඵලය එම දු කුමරියන් සරණ කරගෙන වෙනත් ජන වංශ සවුලූ ළැමැණි මෙහෙණවර පෙළපත තවත් බහුවිධ කළ සැටියය. මෙවන් බහුවිධ විවධත්වයක් නිසා සිංහල ජන සමාජය තව තවත් වර්ණවත් වුයේය. ඒ සමග එයම  සිංහල රාජ සම්ප‍්‍රදාය බල අරගල වලින් පිරී යාමට නිමිත්තක් වන්නේය. ඒත් සවුලූ ළැමැණි පරපුර තැනු බහුවිධ රාජ තාලය සමමිතික වුයේනම්, ලක්දිවට තවත් ස්ථාවර යුගයක් බිහිවීම  ද වන්නට තිබුණි. කෙසේ නමුත් පෘතුගීසීන්ගේ ආක‍්‍රමණය මේ සියල්ල කණපිට පෙරළා දැමුවේය. ඒ අනුව සවුලූ රාජ යුගයෙන් දායාද වු විසිතුරු ජනවර්ග විවිධත්වය පසුව ආක‍්‍රමණිකයාට සිංහල රාජ්‍යය ගොඳුරු කර ගැනීමටපහසු මග වන්නේය. ඒ මග විවර වන්නේ ශූද්ධ සිංහල කැරැල්ලක් සපුමල් කුමරු රජ වූ විට කීරගම හිමි සහ පතිරාජ ඇරඹුවිටය. එවිට සිංහල මලයාල ,ද්‍රවිඩ, මලබාර් කළිගු ආන්ද්‍රා ආදීන් මුල්වී තනාගෙන තිබු එක්සත් එකීයත්වය බි වැටුනි. ඒත් මුස්ලිම්වරු දිගටම සිංහලයන් සමග සහෝදරත්වයෙන් බැඳී සිටි නිසා  සිංහල රාජ්‍යයේ පණ රැකුණේය. මේ අතර දොන් ජුවාන් ධර්මපාල පෘතුග‍්‍රීසීන්ට කොටු විය. පසුව සිංහලයන් සහ මුස්ලිම්වරු මායාදුන්නේ සහ රාජසිංහ සමග  එක්ව රාජධානිය සීතාවකට රැගෙන යන්නේ මේ ගැටුම මැදය.
ඒ අනුව කෝට්ටේ යුගය හා සීතාවක යුගය ලෙස ලක්දිවට යුග දෙකක් මෙම පෙළපත තුළින් බිහිව ඇත්තේය. මෙම පෙළපත පෘතුග‍්‍රීසීන්ට රට අත්පත් වීම වැළැක්වීම සහා දිගු සටනක් කළ හැටි නම් මවිත දනවන තරම්ය. විටෙක රණකාමී උපායශීලීවද තවත් කළෙක මෝඩකම් සහිත ඒ සටන නිසා පරාධීන නොවී සිටීමට හැකිවිය. කෙසේ නමුත් සමගි තාලය බිගත් මෙකී යුගයේ ශුද්ධ සිංහල නැගිටීම  නිසා බහුවිධ රාජ සබතාව බිඳි යාම සවුලූ පෙළපතෙහි අවසානය වන්නේය. පුදුමය ලක්දිව පාලනය කල සියළු රාජ වංසේම සවුළු මෙහණවරයන්ද රාජ්‍යත්වයෙන් සමුගෙන යන්නේ පුත් කුමරුන් අහිමි වීමේ ඛේදවාචකය නිසාය. එය ලෝක ස්වාභාවයක් වැනිය. මේ ස්වාභාවික විපත අභිමුව නව රාජ සම්ප‍්‍රදායක්  රට මහත් ඉහළින් ඉල්ලා සිටියෝය. ඒ අනුව අතිශය තීරණාත්මක යුගයක ජාතියට රැකවරණය සැපයු සවුලූ ළැමැණි මෙහෙණවර නෑ පෙළපත ක‍්‍රි:ව 1564 දී නිමා වන්නේ ටිකිරි රාජසිංහ රජුගේ වීර විකුමැති ජීවිතය නිමා වීමෙනි.

සුජිත් අක්කරවත්ත

Sunday, February 9, 2014

දඹදෙණි රාජ වංශය




වන්නි කුමරු නමින් වන වැසියෙකු අදිසියේ පි‍්‍රතීභූර්ත වන්නේ කි‍්‍ර.ව.1227 දී පමණය. කාළිංඝ මාඝගේ රුදුරු ප‍්‍රහාර වලට ලක්ව පොළොන්නරු රාජධාණිය බිම්පත් වන්නේය. ඒ සිංහලයන්ට යන එන මං නැති කරමිනි. පුළුල් පළල් සිංහල රාජ දැක්ම පටුකර ගැනීමේ ඛේදනීය ඉරණම හී ප‍්‍රතිඵල මෙලෙස සිදුවන විට, එයට උත්තර සෙවීමද සිහිනයක් වී තිබුණි. ඒ මාඝගේ පාලන ශෛල්‍ය අනුගමනය කළ ප‍්‍රභූ කුලවතුන් සංහාරය කිරීමේ කි‍්‍රයාවලිය නිසාය. එබැවින් සිරිලක් දිවට තමන්ගේම රාජ උරුමක්කරුවෙකුට රාජ්‍යත්‍වය ලබාදීම සිහිනයක් වන්නේය. ඒත් පොළොන්නරු නිශ්ශංක ලතා මණ්ඩපයේ වැඩ සිටි දළදා වහන්සේ අති සූක්‍ෂම රහසිගත උපායකින් කොත්මලේ ලෙනට වැඩමවා ගෙන විත් තිබුණි. එබැවින් මතු මත්තේ මතු වන කුමරෙකුට යළි පෙර සිරිත නංවා සිංහල රජ සිරිතට කිරුළ පැළදෙන බව ඉර හසේ විශ්වාස වී ජන හද බැඳි පැවතුණි. 

මෙවන් කල වන්නි වන තීරුවටද මැද රට මලය කඳු කරයටද, සත් කෝරළයේ හුදකලා කඳු වැටි අතරද පළා ගොස් සිටි පොළොන්නරු නුවර සිටි නාගරිකයන් වන වැසියන් වී සිටියේය. ඔවුන් අතරට වන්නි කුමරු එන්නේ වනවැසි සංග‍්‍රාම වටයකට කාළීංඝ මාඝව කොටු කර ගනිමින්ය. වව්නියාව අත්පත් කරගත් වන්නි කුමරු එතැනින් විල්පත්තුවිත් ආණමඩුව හරහා වාරීය පොළටද එතැනින් සරු සාර දඹදෙණියටද පැමිණ මාඝ වට කර සිංහල පවුරක් බැ තබන්නේය. පොළොන්නරුවත්, මාඝත්, වට කර ඇති මේ අතිශූර රණවීර කුමරු තම පැතුම කර ගැනීම මිස සිංහලයන්ට වෙන මගක් නොවිය. ඒ අනුව වන්නි කුමරු තුන්වන විජයබාහු නමින් කි‍්‍ර.ව.1232 රජපත් වන්නේ සිරිලක් දිව සත්වන රාජ වංශයට උපත දෙමිණි. 

තුන්වන විජයබාහුගේ රාජාභිෂේකය සමග ”දඹදෙණි රාජ වංශය” බිහි වන්නේය. ඒ සමගම අගනුවර බවට දඹදෙණිය පත් වුයේය. දෙවන ලම්බකණ්න පෙළපත නිමා වීමෙන් පිටස්තර නිශ්ශංකමල්ල රජු රජ වී ඔහුගේ පුරාජේරූ ප‍්‍රචාරකවාදයට පසු මාඝ නැගිට ලක්දිව තිබූ සියළු වංශ කුල වතුන් අහිමි කරන්නේය. ඉතිහාස උරුමයකින් පැවත එන කිසිඳු රාජ වංශිකයෙකු නැති වූ මෙම අවාසනාවන්ත පැයේ ජාතියම පැමිණියේ ප‍්‍රාර්ථනා විරහිත අසරණ වටපිටාවකටය. මෙම වටපිටාව කුසළතාවය මත දෙදරවන වන්නි කුමරු මෙලෙස මතුව වනවාසී ජන පෙළ ගැස්මකින් ක්‍ෂණික විහිදුම් බලකායක් බිහි කර සුන් වූ පැතුම් විකසිත නැගීටීමක් කළේය. එහි ප‍්‍රතිඵලය දඹදෙණි යුගයත්, දඹදෙණි රාජ වංශයත් මතු වීමය. 

තුන්වන විජයබාහු ඇරඹු දඹදෙණි රාජ වංශයට රජුන් සත් දෙනෙකි. පුදුමය මෙම යුගයට කිසිම ස්වාධින නමක් සහිත රජ දරුවෙකු නැති වූ සැටිය. සියල්ලෝම අතීත රාජ නාම වලින් රජ පැමිණි රජුන්ය. දඹදෙණි වංශය ද, දඹදෙණි යුගයද දිදුලුවා වූ තරු ලකුණ වන්නේ දෙවන පරාක‍්‍රමබාහු රජතුමාය. එමෙන්ම පළමු බුවනෙකබාහූ සිංහල රජ සිරිත අලූත් මානයක හැරවු ප‍්‍රමුඛ රාජ පුත‍්‍රයෙක් ලෙස  හැඳින්විය හැකිය. රජුන් සත් දෙනෙකු බිහි කර දඹදෙණි රාජ වංශය කි‍්‍ර.ව.1232 සිට කි‍්‍ර.ව.1336 දක්වා වසර එකසිය සතරක් සිරිලක පාලනය කළෝය. මේ රජුන්ගේ රාජ ඉතිහාස සොයා ගැනීමට නොහැකි වන්නේ වන්නි කුමරු කාගේ කවුදැයි තවම සොයා ගැනීමට නොහැකි නිසාය. එබැවින් මෙම රාජාභිෂේකයට පුද්ගල හෝ ගෝත‍්‍ර වංශ වාස නාම හැඳින්වීමක් නැත්තේ එබැවිනි. එම නිසා මෙම රාජ වංශය ගමේ නමින් හඳුන්වයි. මෙලෙස ගමේ නමින් හැඳින්වූ ලංකාවේ දෙවන රාජ වංශය දඹදෙණි රාජ වංශයයි. මීට පෙර දුටුගැමුණු  රජතුමා ආරම්භය තැබූ රාජ වංශය ද හඳුන්වා ඇත්තේ ගමේ නමිනි. ඒ ”මාගම් වංශය” නමිනි. ඒ අනුව සිරිලක්දිව රාජ දේශපාලනය තුල අදත් හොල්මන් කරන ”ගමේ කම” මේ මාගම් රාජ වංශය සහ දඹදෙණි රාජ වංශය බිහි කර දුන් දේශපාලන සූත‍්‍රයකි. ඒ සූත‍්‍රය දේශපාලයය, සිනමාව, කලාව සාහිත්‍යයේ සිට හැම තැනම පැතිර කෑම බීම වල සිට හැම හැදියාව, සදාචාරදක්වා පැතිර ගිය සිංහලේ ඔලූවේ ලොකුම මතවාදයය. සිංහල ඔලූවේ ඔඩු දුවා ඇති මේ ගමේ කම දඹදෙණි රාජ වංශය හරියටම ස්ථාවර කළේය.

රජුන් සතක් බිහිකළ ”දඹදෙණි වංශය” රාජ වංශයක් නොව පෙළපතක් ලෙස නම් වන්නේය. ඒ ඔහුනගේ ජාන උරුමයට ඉතිහාස හිමි කමක් නැති නිසාය. ඒ බැවින් ”රාජ වංශය” යන නාමය ඓතිහාසික උරුමයක් සහිත රජුන්ටද ඓතිහාසික උරුමයක් නැති රජුන්ගේ පරපුර සහා ”රාජ පෙළපත” යන නමද ඉතිහාස කරණයේදී යොදා ගන්නට සිදුවන්නේ එබැවිණි. මේ අනුව ”දඹදෙණි පෙළපත” මාගම් වංශය මෙන්ම උන් උනුන් මරා ගනිමින් කෙළවර වන්නේය. ඒ කි‍්‍ර.ව.1336 දී සිව්වන පරාක‍්‍රමබාහු රජතුමාගේ මිය යෑමත් සමගය. කෙසේ නමුත් සිරිලක් දිව ඉතිහාසහි බිහි වූ කෲරතම පාලකයා ලෙස හැඳින්වෙන්නේ කාළිංග මාඝය. ඒ කෲරතර රාජ ක‍්‍රමය  පරදවා දැමීම දඹදෙණි රාජ පෙළපත උත්තුංගව නැගී ඒමට බලපාන්නේය. ඒ වගේම දෙවන පරාක‍්‍රමබාහුගේ භාව සම්භාව්‍ය සාහිත්‍ය පුනරුදය නිසා මෙකී රාජ පෙළපත ලක් ඉතිහාසය මතු මත්තේද ප‍්‍රභාමත් කරවන්නේය.  ඒ ලෙසම පළමු බුවනෙකබාහු රජු ආරම්භ කළ බහු ජාතික ජන මුසුව නිසා සිංහල ජන සමාජය නව උපතකට කැදවීමටද මතුවටදඋදාහරණයක්සේ ගතහැකි මානුෂික රාජ දේශපාලන භාවිතාවකි. මෙවන් නන් විසිතුරු දඹදෙණි පෙළපත සමුගෙන යන්නේද පුරුෂ ඉගයට ඉතිහාසයට මුහුණ දීමෙන්ය. 

සුජිත් අක්කරවත්ත