Monday, February 10, 2014

සවුලූ මෙහෙණවර නෑ පෙළපත

Prasanna Weerakkodi Paintings 


දඹදෙණිය පෙළපත එකිනෙකා කා කොටා ගනිමින් වසර එකසිය හතක් ලක් සිහසුන සෝබමාන කළෝය. මෙම පාලන කාලය තුළ කිසි බාහිර පාලකයෙකුට ලක් රජය අත්පත් කර ගැනීමට නොහැකි විය. ඒත් පුත‍්‍ර හිගයට ගොදුරුව දඹදෙණිය රාජ පරපුර ඇ වැටෙන්නේය. එහි ප‍්‍රතිඵලය වන්නේ ඊළග ලක් රාජ පෙළපත මෙරට බල කලාවට පිවිසීමය. ක‍්‍රි:ව: 1335 දී පස්වන විජයබාහු නමින් රජපදවිය දරමින් ඇරඹෙන මෙම රාජ වංශය ”සවුලූ මෙහෙණවර නෑ පෙළපත” ලෙස නම් වේ. සිංහල රාජ සිරිත ඔපකල සතර කුල සිරිත අහිමිව යාමෙන් පසු ඒ සහා සුදුස්සන් පත් වන්නේ ඒ අතීත රාජ විභූති කුලවතුන්ගේ නෑ උරුමකම් සොයා ගනිමිනි. ඒ අනුව සවුලූ - ළැමැණි හෙවත් මෙහෙණවර පෙළපත බිහි වන්නේ එවන් අතීත බැඳියාවක් සමගිනි.

සංඝමිත්තා මහ රහතන් උත්තමාවිය මෙරට වැඩම කළ සමයේ එතුමියගේ ගිහිකළ සැමියා හා ඔහුගේ නෑ පෙළපත මෙහි සැපැත් වූහ. ඒ අනුව සමුද්‍ර ගුප්ත කුමරුගෙන් ඇරඹි ගුප්ත පරපුරෙහි එක් කුමරෙකු වු ”සුරස ගුප්ත” සිංහ වංශයෙන් පැවිදිව සිටි තෙරණියකට පෙම් කොට ඇය හා රමණ සුව වින්දේය. එහි ප‍්‍රඵීපලය වන්නේ ඇය ගැබ් ගැනීමය. සිවුරු හැරදා සුරස ගුප්ත සරණ බැඳි ඇයගෙන් උපන් කුල කුමරුගෙන් පැවත එන පරපුරට ”මෙහෙණවර වංශය” යන නම බැඳි ගියේය.  ඒත් අනුරාධපුර යුගයේ සතරවන සියවසේ සිදුවූ මෙම සිදුවීමෙන් පසු මෙම පරපුරට රාජ්‍යත්වය පිණිස සියවස් එකොළහක් බලා සිටින්නට සිදුවිය. කවුරුත් අවසන් වී කවුරුත් නිමා වී ඇති කාලය පැමිණි විට මෙම වංශය කරළියට එන්නේය.

ඒ අනුව අලකේශ්වර ප‍්‍රභූ පෙළපත මධ්‍ය භාරතයෙන් පැමිණ මෙකී වංශය කුල වද්දවා ගැනීමෙන් සවුලූ මෙහෙණවර ලෙස මෙම පෙළපත පුළුල් නෑ මිත‍්‍ර පරපුරක් වේ. ඒ අනුව පරපුරු පෙළපත් කීපයක් එකට එකතුකර ක‍්‍රි:ව 1335 දී රාජ උදානය අරඹන මෙකී පෙළපත ලක් සිහසුන දැරූ අට වන රාජ පෙළපතවේ.

පුරා වසර දෙසිය විසිනමයක් රජුන් පහළොස් දෙනෙකු රාජ සිරිතට කැවු  මෙම පෙළපත දඹදෙණී රාජධානිය, කෝට්ටේ නුවරට කැවු රාජ පෙළපතය.

ඒ ආර්්‍ය චක‍්‍රවර්තිගේදකුණු භාරතීය වෙළ වාදී ආක‍්‍රමණය සමග ජනිත වූ ජාතික රැල්ල නිසාය. වීර වික‍්‍රමාන්විත නිශ්ශංක අලකේශ්වර මෙර රාජ යුගයට නව හැරවුමක් ඇති කල අතර කිර්තිධර හයවන පරාක‍්‍රමබාහු සවුලූ මෙහෙණවර පරපුර උච්චස්ථානයට රැගෙන ගියේය. බටහිර ජාතික ආක‍්‍රමණයකට මුදුන දුන් ප‍්‍රථම ලක් රාජ පෙළපත වන්නේ මොවුන්ය. මායා දුන්නේ ටිකිරි රාජසිංහ වන් බටහිර විරෝධී දේශමාමක රාජ සිරිත් දෙකකින්ද විභූතිමත් මෙකී පෙළපත තුළින්ම ප‍්‍රථම අබෞද්ධ රජු බිහිවීමද විටෙක දෛවෝපගත   සිදුවීමකි. වඩාත් පිවිතුරු බෞද්ධ වංශයක් ලෙස මතුවීමට තෙරණියකගේ  කුසින් උපන් මෙහෙණවර වංශයේ අවසන් පුරුක වු ධර්මපාල කුමරු ද කිතුණුවෙකු වී දොන් ජුවාන් ලෙස රජවන්නේ දෛවයේ සරදමක් ලෙසය.

සාරවත් ආර්ථික උදානයක් සහ ප‍්‍රභාමත් කලා සාහිත්‍ය පුනරුදයක් සහිත කෝට්ටේ යුගය සවුලූ ළැමැනි මෙහෙණවර පෙළපතහි. රාජ්‍ය තාන්ත‍්‍රික බව පෙන්වති. ඒ වගේම මලයාලම් කාලිංග ආන්ද්‍ර සහද්‍රවිඩ මෙන්ම මලබාර් වැනි බහුවිධ ජන වර්ග සමග සම්මිශි‍්‍රත සිංහල ජාන වංශ සමාජයක් මෙම යුගයේ ස්ථාවර වී තිබුණි. ඒ බහුවිධ ජන වර්ග එකමුසුව කෝට්ටේ යුගයේ සාරසුබාට  මුල් වී වන්නේය. වත්මන දක්වා පරමාදර්ශි කර ගත හැකි රාජ්‍ය චින්තනයක් මෙකී වංශය ස්ථාවර කළෝය. එය සිංහලත්වය ඔසවා තැබු බහු ජාතික ආගමික විචිත‍්‍රත්වයය. මෙකී රාජ පරපුරහි බහුතර රජුන් අතර පවතින පුදුම සමානකම පුත් කුමරුන් අහිමි වු සැටිය. ඒ නිසා දු කුමරියන් රාජ සිරිතේ බලවත් චරිත වන්නේය. එහි ප‍්‍රතිඵලය එම දු කුමරියන් සරණ කරගෙන වෙනත් ජන වංශ සවුලූ ළැමැණි මෙහෙණවර පෙළපත තවත් බහුවිධ කළ සැටියය. මෙවන් බහුවිධ විවධත්වයක් නිසා සිංහල ජන සමාජය තව තවත් වර්ණවත් වුයේය. ඒ සමග එයම  සිංහල රාජ සම්ප‍්‍රදාය බල අරගල වලින් පිරී යාමට නිමිත්තක් වන්නේය. ඒත් සවුලූ ළැමැණි පරපුර තැනු බහුවිධ රාජ තාලය සමමිතික වුයේනම්, ලක්දිවට තවත් ස්ථාවර යුගයක් බිහිවීම  ද වන්නට තිබුණි. කෙසේ නමුත් පෘතුගීසීන්ගේ ආක‍්‍රමණය මේ සියල්ල කණපිට පෙරළා දැමුවේය. ඒ අනුව සවුලූ රාජ යුගයෙන් දායාද වු විසිතුරු ජනවර්ග විවිධත්වය පසුව ආක‍්‍රමණිකයාට සිංහල රාජ්‍යය ගොඳුරු කර ගැනීමටපහසු මග වන්නේය. ඒ මග විවර වන්නේ ශූද්ධ සිංහල කැරැල්ලක් සපුමල් කුමරු රජ වූ විට කීරගම හිමි සහ පතිරාජ ඇරඹුවිටය. එවිට සිංහල මලයාල ,ද්‍රවිඩ, මලබාර් කළිගු ආන්ද්‍රා ආදීන් මුල්වී තනාගෙන තිබු එක්සත් එකීයත්වය බි වැටුනි. ඒත් මුස්ලිම්වරු දිගටම සිංහලයන් සමග සහෝදරත්වයෙන් බැඳී සිටි නිසා  සිංහල රාජ්‍යයේ පණ රැකුණේය. මේ අතර දොන් ජුවාන් ධර්මපාල පෘතුග‍්‍රීසීන්ට කොටු විය. පසුව සිංහලයන් සහ මුස්ලිම්වරු මායාදුන්නේ සහ රාජසිංහ සමග  එක්ව රාජධානිය සීතාවකට රැගෙන යන්නේ මේ ගැටුම මැදය.
ඒ අනුව කෝට්ටේ යුගය හා සීතාවක යුගය ලෙස ලක්දිවට යුග දෙකක් මෙම පෙළපත තුළින් බිහිව ඇත්තේය. මෙම පෙළපත පෘතුග‍්‍රීසීන්ට රට අත්පත් වීම වැළැක්වීම සහා දිගු සටනක් කළ හැටි නම් මවිත දනවන තරම්ය. විටෙක රණකාමී උපායශීලීවද තවත් කළෙක මෝඩකම් සහිත ඒ සටන නිසා පරාධීන නොවී සිටීමට හැකිවිය. කෙසේ නමුත් සමගි තාලය බිගත් මෙකී යුගයේ ශුද්ධ සිංහල නැගිටීම  නිසා බහුවිධ රාජ සබතාව බිඳි යාම සවුලූ පෙළපතෙහි අවසානය වන්නේය. පුදුමය ලක්දිව පාලනය කල සියළු රාජ වංසේම සවුළු මෙහණවරයන්ද රාජ්‍යත්වයෙන් සමුගෙන යන්නේ පුත් කුමරුන් අහිමි වීමේ ඛේදවාචකය නිසාය. එය ලෝක ස්වාභාවයක් වැනිය. මේ ස්වාභාවික විපත අභිමුව නව රාජ සම්ප‍්‍රදායක්  රට මහත් ඉහළින් ඉල්ලා සිටියෝය. ඒ අනුව අතිශය තීරණාත්මක යුගයක ජාතියට රැකවරණය සැපයු සවුලූ ළැමැණි මෙහෙණවර නෑ පෙළපත ක‍්‍රි:ව 1564 දී නිමා වන්නේ ටිකිරි රාජසිංහ රජුගේ වීර විකුමැති ජීවිතය නිමා වීමෙනි.

සුජිත් අක්කරවත්ත

1 comment:

  1. ලංකාවේ රජ පෙළපත් සියල්ල ක්‍රමානුකූලව ඉදිරිපත් කරන්න. ලම්භකණ්න රාජ වංශය ගැන විස්ත්‍රාත්මක ලිපියක් බලාපොරොත්තු වෙමි. තවත් දෙයක් විකිපීඩියාවේ දඹදෙණි විජයබා රජුගේ සිට ධර්මපාල රජු දක්වා සිරි සගබෝ රාජ වංශයත් විමල ධර්මසූරිය රජුගෙන් දිනජාර රාජවංශයත් පටන් ගත් බව දක්වනවා. මොනවද මේඔ වංශ.
    දඹදෙණි රාජ වංශය පූර්වජ රජුන්ට නෑ වෙන බව මා කොහේදෝ දැක තිබෙනවා. දඹදෙනි තුන්වන විජයබා රජුගේ පියා කාලිංග වංශයට අයත් විජය මල්ල රජුය. ඔහු නිශ්ශංකමල්ලට නෑ වෙනවද.
    උඩරට රජවරු ගැන අස්ගිරි තල්පතේ දැක්වෙන කරුණු අනුව . දිනාජර කියා පෙළපතක් මා දැක නෑ. තුන්යේස , තනිය වල්ලභ යන රජුන්ගෙන් ප්‍රභව වූවක්ද දෝන කැතරිනාගේ පවුල.
    විකිපීඩියා පිටු සංස්කරණය කරන්න එක්වන්න. ශ්‍රී ලංකාවේ රජ පවුල ගැලීම් සටහනක් ලෙස නිරූපණය නොවීම අඩුවක්. වෙනත් රටවල රජවරුන්ගේ ඒ ආකාර සටහනක් පිටුව යට දැක්වෙනවා.

    ReplyDelete