බෙර හඩ ජනහඩ තරම් ප‍්‍රබලය. විටෙක ජනහඩ බෙර හඩින් අවදි වන අතර, තවත් විටෙක බෙරහඩ ජන හඩින් අවදි වේ. මේ නිසා කෙතරම් තාල, වාද්‍ය, නාද භාණ්ඩ තිබුනද ‘‘බෙරය’’ තරම් බහු භාණ්ඩික නාද තාල වාද භාණ්ඩයක් නැත. ඒ වගේම කෙතරම් නාද මාලා තිබුණද බෙර නාද මාලාව තරම් තිව්ර ගැඹුරු නාද මාලාවක් තවත් නැත. මේ නිසාම බෙරය උප නාද දනවන ප‍්‍රභේද සහිත තාල නාද වාද්‍ය භාණ්ඩයක් වුවකි. කොටින්ම මගුල් බෙරයත් මළ බෙරයත් කියා පාන්නේ උපතේ සිට මරණය දක්වා බෙරය, ලක් ජන ජීවිත හා බැදි පවතින ජීවන නාද තාල වාද්‍ය භාණ්ඩය බවය. ලක් ඉතිහාස අන්දරය ලියන විට මුලින්ම පද බැදි ඇති නාදය වන්නේ බෙර නාදයය. ඒ විජය කුමරු ප‍්‍රමුඛ සත්සීයයක් සිංහයන්ට තම්මැන්නා වෙරළට ඇසුන බෙර නාදය ගැනය. එසේ නම් බෙරයත් ඇවිත් සිරිලක ඇරඹුම සොයන ගමනට ඇති හොදම භාණ්ඩයකි. ලක් ජන හදවතේ සංඥා තරංගයන් හැමවිටම ඇවිළි ගියේ බෙරය නද දුන් විටය. ගැට බෙර, යක් බෙර, මගුල් බෙර, මළ බෙර, අණ බෙර, වදක බෙර, වල සිටන් ‘වෑත්තෑ බෙරය’ දක්වා ගලා ගෙන ඇවිත් ඇත්තේ ජාතියේ ඒ නාද කතන්දරයය.
බෙරය මෙතරම් ප‍්‍රබල වන්නේ මන්ද. බෙරනදට උපත දෙන බෙරයහි නාද කම්පන අවයවය තැනෙන්නේ ගව සම්වලිනි. හරක් හමින් තනා ගත් බෙරය ලක් ඇත්තෝ පපුවේ හඩ බවට පත් කර ගන්නේ කොහොමද?. දුකටද සතුටටද විමතියටද පලි ගැසීමට ද.... මරණයටද..... යුද්ධයටද භක්තියටද උත්කර්ෂයටද බෙරය මූල නාද භාණ්ඩය වන්නේ කේසේද?. ඒ වගේම ඒ සදහා ශිල්ප කුලයක්ද තැනි ජාන පෙළපතකින් බෙරය වංශ පෙළපත් කථාවක් වන්නේ කෙසේද?. යුග යුග ගනනක් පුවත්පතද ගුවන් විදුලියද රූපවාහිනියද වූයේ බෙර හඩය. මේ බෙරය නවීන ඩිජිටල් යුග යුග ගණන් පසුකර දමා නොනවෙති වයන වාද භාණ්ඩයක් වී ඇත්තේ කෙසේද?. කවුරුත් නොසිතන ඒත් සිතුය යුතු බොහෝ දේ මැද ඇති නාද තාල වාද්‍ය නිමිත්තකි මෙය.
බෙර පදයට පා තැබූ කුමරුන් රජ විය. බෙර පදයට පා තැබූ ශිල්පීන් කලාකරුවන් විය. බෙර නදට පාද තැබූ හස්තීන් මංගල හස්තීන් වූයේය. කොටින්ම බෙර පදයට කසාද බැන්ද වුන් මනාළ මනාළියන්ද වන්නේය. පුදුමය වන්නේ මුලින්ම බෙර වයා යුද්ධයට ගිය සෙබළා විරුවෙක් වූ සැටියය. තවත් මවිතය බෙර වයා ගෙට වඩමවන භික්‍ෂුව ජාතියේ මුර දෙවියන් වන තැනය. යලිත් සිතිය යුත්තේ බෙරය මෙතරමට ප‍්‍රබල වන්නේ මොකද කියාය. ඒ භාණ්ඩයේ නිෂ්පාදන සූරත්වයද?. නොවේ නම් නාදයේ ප‍්‍රබලත්වයද?. නොවේ නම් එයට භාවිත වන ගව හම නිසාද?. එසේ නැත්තම් සිංහලයන්ට හෙළයන්ගෙන් ලැබුනු හෙළයන්ට යකුන්ගෙන් ලැබුණු යකුන්ට විශ්ව කර්මයාගෙන් ලැබුණු නාද, වාද, තාල සම්මතය නිසාද?. එසේ නොවේ නම් යකුන් හෙළයන් වී හෙළයන් සිංහලයන් වී සිංහලයන් ලාංකිකයන් වී සිටියදීත් තවමත් පවතින නැකති කුල වංශ අනන්‍යතාවේ ප‍්‍රබලත්වයද?. මේ විදියට නිනව්වක් හරියට නැති මේ බෙරය රස සපිරි ඉතිහාස පරියේෂණයක් වන්නේ මේ නිසාය. ඒ රස සපිරි කථාව රස වෑහෙන කථාවක් වන්නේ ‘වෑත්තෑ බෙරය’ නිසාය.
බෙරය ගැන තේරුම් ගන්න මොන බෙරේ තිබුණත් ඇතිය. ‘නටපු නැටුමුකුත් නැත-බෙරේ පලූවකුත් නැත’ යැයි උපහැරණය කියන්නේ ලොකු කථාවකි. හරි පදය වයන්න බැරි නම් මොකුත් බැරිය. ඒ නිසා බෙරෙන් බෙරයට පද නාද වෙනස් වන නිසා බෙර ජාති බොහෝය. ඒ බෙර ජාති අතර නොදන්නා බෙර ජාතිය වෑත්තෑ බෙරයය. වෑත්තෑ බෙරය කියන්නේ අණ බෙරයම දැයි අනුමානයකුත් තිබේ. ඒ පද අරුතට අරුතක් දී තෝරන ඉතිහාස තේරුමකි. වෑත්තෑ කියන්නේ පුවත්, තොරතුරු, ප‍්‍රවෘත්ති තතු විත්ති යන අරුත ඇති වදනකි. එතකොට ‘‘වෑත්තෑ බෙරය’’ වයන්නේ ප‍්‍රවෘත්ති කියන්නටය. එතකොට අණ බෙර කරු කීවෙත් ප‍්‍රවෘත්තිය. ඒ නිසා අණ බෙරයට තැබූ වදනක් සේ ‘‘ වෑත්තෑ බෙරය ගැන අදහසක් පළවේ. එසේ නම් මගුල් බෙරයට මළ බෙරයට ගැට බෙරයට යක් බෙරයට වදක බෙරයට ආදී අනික් හැම බෙරයටම නම් දෙකක් නැතුව මේ බෙරයටම නම් දෙකක් බැදුනේ මන්දැයි සිතේ. ඒ සිතුම නිසා අතීත තතු අතරේ අග මුල මැද හැම තැනම බෙර පදයට බැදුණු කතා තතු විත්ති සොයන්න සිතුනේය.
අණ බෙරය, රාජ්‍ය මාධ්‍ය බෙරය බවත් වෑත්තෑ බෙරය නිදහස් මාධ්‍ය බෙරය බවත් තේරෙන්නේ එවිටය. එතකොට රාජ සම්මත යුගයේ පුද්ගලික මාධ්‍ය කෙසේ තිබුණා දැයි ප‍්‍රශ්ණයක් නගනු ඇත. එවිට කිවයුතු වන්නේ සිංහල ආණ්ඩුව රාජ ආණඩුවක් වන්නේ දඹදෙණි යුගයේ බවය. ඊට පෙර සිංහල ආණ්ඩුව මහා සම්මුතික ආණ්ඩුවකි. එහෙම වූ නිසා ජනතාවට අවශ්‍ය වුහහොත් රජතුමාව පලවා හැරීමට තරම් නිදහසක් සිංහළ ආණ්ඩුව තුල තිබුණි. මේ ඉඩ ජනතාව වැඩියෙන් භාවිතා කළ යුග වල වෑත්තෑ බෙරය වැඩියෙන් වැයෙන්න පටන් ගෙන ඇති සැටිත් පෙනේ. මේ පෙනීම දිගේ බලන විට ජනතාවගේ පොදු ජන රස ජීවිතයට බැදුණු මාධ්‍යක් සේ වෑත්තෑ බෙරය පටන් ගත් ගමන වෑත්තෑ පතේ උපතට මූල බිජුවටය වෙන්නටත් ඇති වග සිතිය හැකිය. ‘වෑත්තෑ පත’ කීවේ පුවත් පතටය. එතකොට අහවි පත්තර ඒ කාලේ කොහෙද කියා. පත්තරය මුද්‍රණ යන්ත‍්‍රයට පසු ඇරඹි බව දන්නා ඇත්තය. ඒත් නොදන්නා ඇත්ත නම් වෑත්තෑ පත නමින් පත්තරය මුද්‍රණ යන්ත‍්‍රයට පෙර බිහිව තිබූ බවය. වෑත්තෑ පත් අලෙවිකරුවන් ගැන කතා නිමිති ති‍්‍රපිටකය පුරා ඇත. වෑත්තෑ පත්තර වලින් තොරතුරු ගලා ගිය වග ඉතිහාසයේ ලියවී තිබේ. ඒත් වෙනස මුද්‍රණ යන්ත‍්‍රයේ පත්තරය කඩදාසි කොලේ යන්ත‍්‍රයෙන් ලියවුනකි. වෑත්තේ පත්තරය තල්කොලේ, පන්කොලේ, වැටකේකොලේ දියෙන් හුමලාය තනා ඉන් තම්බා ඉර එළියේ වෙලා අතින් අකුරු කර තැනූ ගෙත්තම් පත්තරයකි. එතකොට වෑත්තෑ බෙරය වයා වෑත්තෑ පත්තර ජනතාව අතර ගියේ ඔහොමය. වෑත්තෑ බෙරයෙන් රට සිව්කොන එකම මිටකට එකතු කළේ පණ්ඩුකාභය කුමරුය. ඔහුගේ වෑත්තෑ බෙරය, ලක් ඉතිහාසයේ ලියවුණු ප‍්‍රථම වෑත්තෑ බෙරයය. වෑත්තෑවේ නමින් ගමක්කුත් ඒ වෑත්තෑවේ නමින් ගුත්තිලය ලියූ වෑත්තෑවේ මහ තෙරි`දු බිහිව ඇත්තේ එසේය. ලක් ඉතිහාසය සාධක නැති තතු ඉතුරු කර ඇත්තේ ජීවමාන සාක්‍ෂියකිනි. වෑත්තෑ බෙරයත් එවන් සාක්‍ෂියකි.
සුජිත් අක්කරවත්ත.
No comments:
Post a Comment