Wednesday, January 15, 2014

මාගම් වංශය.




කි‍්‍ර.පූ.161 වසරේදී රාජ්‍යත්‍වයට පත්ව කි‍්‍ර.ව.67 වර්ෂයේදී අවසන් වූ මාගම් රාජ වංශය සිරිලක දෙවන රාජ වංශයය. මෙම රාජ වංශයට විජයරාජ මාගම් වංශය ලෙසද හැදින්වීමකි. ඒනම් සිංහ රාජ වංශයහි දිගුවක් නිසා ඒ නම ලැබී ඇත. සිංහ වංශික විජය රජතුමාගේ පුරුෂ ජානයෙන්ම විහිදි ගිය දහ අටවන පුරුෂයා වූ මහනාග කුමරුගෙන් මාගම් රාජ වංශය උපත ලබන්නේය. නමුත් මෙම මාගම් රාජ පෙළපතද සිංහ වංශයම ලෙස සමහර ඉතිහාසවේදීන් දක්වති. නමුත් එය එසේ විය නොහැකි වන්නේ මාගම් රාජ වංශය සතර කුල පාරීශුද්දයන් නොවන නිසාය. එබැවින් මාගම් රාජ වංශය සිංහ වංශික පුරුෂ බීජයෙන් ජනිතව එම වංශයෙන් බාහිරට උපත ලබා වැඞී ගිය බව පැහැදිලිව දැකිය හැකිය. එබැවින් රජුන් දහනව දෙනෙකුගෙන් සැදුම් ලත් මෙම රාජ පරපුර ”මාගම් රාජ වංශය” ලෙස ඉතිහාස කතාවතේ හදුන්වා ගත හැකිය. 

සිංහ වංශය නිමා කළ එළාර රජ ඝාතනය කර නගන උදාන රැල්ලේ රජ පරපුර නගන මාගම් වංශයේ ආරම්භක රජ තෙමේ දුටුගැමුණු රජුය. ඔහුගේ ඇවෑමෙන්පුරුෂ පාලකයන් දාහත් දෙනෙකුද, ස්තී‍්‍ර පාලිකාවන් දෙදෙනෙකුද රාජ පදවියට මෙම වංශයෙන් පත්ව ඇත්තේය. මාගම් රාජ පෙළපතේ මූලය වන මහානාග කුමරු රුහුණට පලා යන්නේ තම දෙටු සොයුරු සමග ඇතිවන බල අරගලයකිනි. මහනාගගේ පියා වන්නේ පණ්ඩුකාභය පුත‍්‍ර මුඨසීවයය. ඒ අනුව මහනාග රජ පදවියට නම් නොවීමට හේතුව සොයා බැලිය යුතුය. එක්කෝ අයුක්තියක් සිදුවිය යුතුය. නොවේ නම් රාජ පදවිය දැරීමට අවශ්‍ය සතරකුල පිවිතුරු බව ඔහු කෙළෙසාගෙන තිබුණා විය යුතුය. තතු විත්ති අනුව නම් ඔහුගේ පියා මෙන්ම මව සතර කුල පිවිතුරුය. එසේ නම් මහනාග කුමරු විවහාව සිටිය කුමරිය සතර කුල පිවිතුරු නොවීම ඔහු රාජ පදවියට නිර්දේශිත වීමට බාධාවීම විය හැකිය. එවිට මහනාග කුමරු තම සොයුරන් සමග ගැටුමට මැදි වූවාද? නොවේ නම් මහාවංශය කතාවේ ලියවී ඇති විෂ අඹ කථාව යට ඇති සත්‍යය කුමක් විය හැකිද? මෙහි සත්‍ය කුමක් වුවත් පෙනෙන ඇත්ත වන්නේ මහනාග කුමරුගේ බිසව පිළිබද නිසි තතු වාර්තා නැති වීමය. ඒ අනුව මාගේ අනුමානය ඇය සතර කුල පිවිතුරු නොවූ බවය. එය එසේ වූවා නම් සියළු තතු සදහන් ඉතිහාස පුවතක මහනාග කුමරුගේ බිසවගේ පෙළපත නැතිවිය නොහැකිය. කෙසේ නමුත් මහනාග පුත‍්‍ර ගෝඨාභය ඔහු පුත‍්‍ර යටාළතිස්සත් ඔහු පුත‍්‍ර කාවන්තිස්ස ද ලෙස ගලා යන මෙම ජාන පරපුරෙහි කිසිම ස්තී‍්‍ර බිසවක ගැන නිසි ලිඛිත පෙළපතක් නොදැක්වේ. එසේ නම් මේ ඓතිහාසික හෙළ යක් රාජ වංශ ස්තී‍්‍ර බීජානුව සමග මුසු වූ සිංහ බීජ පරපුර විය හැකි බව සියුම්ව සිතා බැලූ කළ පෙනේ. කෙසේ ගත් නමුත් කාවන්තිස්ස කුමරු තම දෙවනවර අග බිසව ලෙසට වෙහෙරමහා දේවිය හිමි කර ගැනීමෙන් මාගම් පෙළපත වංශයක හැඩරුව උරුම කර ගත්තේය. මේ අනුව පෙනෙන්නේ මහානාග කුමරුගෙන් පටන් ගත් මේ අතුරු දහරාවේ වංශවත් බිසවක් උරුම කරගත් ප‍්‍රථමයා වන්නේ කාවන්තිස්ස කුමරු බවය. මේ දෙපලගේ පුත‍්‍ර දුටුගැමුණු විසින් එළාර නසා යළි කිරුළ නගන්නේ සිරිලක දෙවන බල පරපුර හෙවත් දෙවන රාජ වංශය ස්ථාපිත කරමිනි. ඒත් පුදුමය ඔහුටද උභයකුල පිවිතුරු බිසවක් සරණ කරගත නොහැකි වූ සැටිය. පසුව ඔහු පුත‍්‍ර සාලියට මාගම් රාජ කිරුළ අහිමිව යාමට මේ පැනය තුඩු දී ඇති බවද පෙනේ. පුදුමය ”මාගම් වංශය” ඇරඹීමද, වැඞී යෑමද අවසාන වීමටද මෙම ස්ති‍්‍ර නිමිත්ත නිමිත්තක් වී ඇති පුදුම කථාවයය.  සාලිය බලය අතහැර වන වැදුණු විට එම පැනයට මුහුණ දෙන්නේ සද්ධාතිස්ස රජතුමාය. ඒ ඔහු පුත‍්‍රයන් අතර නොනිමෙන බල අරගලයක් නිර්මාණය වීමෙන්ය. සැබැවින්ම සද්ධාතිස්ස රජුගේ පුත‍්‍රයන් අතර ඇතිවන බල අරගලයේ පාදම වන්නේ පාරීශුද්ධ මව් බිසවගේ උරුමයය. මෙම බල අරගලය නිමාවන්නේ මාගම් වංශය තැනූ දෙමළාට එරෙහි ජාතික රැල්ල රට යළි දෙමළ රාජ කණ්ඩායමකට ගොදුරු වෙමිනි. ඒ අනුව සද්ධාතිස්ස රජුගේ පුත‍්‍ර වළගම්බා පලවා පංච ද්‍රවිඩයන් රට අත්පත් කර ගත්තේය. පසුව පංච ද්‍රවිඩයන් පලවා වළගම්බා මාගම් වංශයට යළි සේසත උරුමකර දෙනු ලැබීය. එතැන් පටන් අඛණ්ඩව ගලා එන මෙම රාජ වංශය යසලාලක ඝාතනය වීමෙන් කි‍්‍ර.ව.හැට හතේදී නිමා වන්නේය. 

මාගම් වංශය සිරිලක ස්ථාපිත කළ ප‍්‍රධාන බල තාලය දේශපේ‍්‍රමයය. ඒ අනුව සිංහ වංශය ස්ථාපිත කළ එක්සේසත් රාජවාදය වෙනුවට ඒකීය රාජවාදය ඔවුහූ අරඹන්නේය. ඒ වගේම මහාවංශයට එරෙහිව වූලවංශය නමින් දේශපාලන දහරාවක් කරලියට ඔසවා තබන්නේ මාගම් වංශයය. අදත් ගලා එන ද්වීපක්‍ෂ ක‍්‍රමය හෙවත් සිරිලක් දිව ද්විත්‍ව බල දහරාවේ එක් දහරාවකට උපත දෙන්නේ මේ මාගම් වංශයය. ඔවුහූ දේශපේ‍්‍රමය සහ ජාතික යුද්ධය ලංකාවේ ජනපි‍්‍රය බල තාලය කර දැමුවේය. සැබැවින්ම පණ්ඩුකාභය රජතුමා තැනූ විසිතුරු බහුවිධ එක්සත් වාදය දෙවැනි වී දුටුගැමුණු රජතුමා බිහි කරන ඒකීය රණකාමී ජාතිකවාදය සිරිලක බල තාලයේ තේමා තාලය බවට පත්වන්නේ මාගම් වංශය හි නැගීමත් සමගය. මෙම පෙළපත ඒ අතින් දේශපේ‍්‍රමි ජාතිකවාදයට උර දුන් අතර එය නැග එන විට වංශය කෙසේ වෙතත් නායකයන් බිහි කරන දේශපේ‍්‍රමී ජාතික වාදය නම් මහා බල තාලය සිරිලකට තැනූ නිර්මාපකයන්ය.  මෙම වංශය දුටුගැමුණු, වළගම්බා නමින් මහා රණකාමී ජාතිකවාදීන් දෙපළ තනා ගියේය. ඔහු දෙපළ රුවන්වැලී මහා සෑය සහ අභයගිරිය යන මහ සෑ නංවමින් ඒ ජාතිකවාදය බෞද්ධ උරුමයක් බවට පෙරළා සිංහල ජාතිය, සිංහල බෞද්ධ නමින් ආගමික ජාතිකවාදයක් කළෝය.

මෙළෙස නව මගක් තැනූ මාගම් වංශය දේශපේ‍්‍රමින් දෙදෙනෙකු බිහි කර ජාතිකවාදය සිරිලක බිහි කළ සේම චෞරවාදය බිහි කර සිරිලක ප‍්‍රථම චෞර පාලකයා වන චෝරනාග බිහි කරගනී.  වළගම්බා රජතුමගේ පුත‍්‍ර චෝරනාග රජ වී රජ පදවිය තම තම බල ලෞකික සිතැගි වලට භාවිත කළ හැකි මෙවලමක් බවට පත් කර දැමිය. ඔහු ලක්දිවට සොරකමට මුල් වූ රාජ්‍ය නායක සම්ප‍්‍රදායක් තැනීය. මෙළෙස ජාතිකවාදය හා චෞරවාදයබිහි වූ මාගම වංශය මෙම තාල දෙකම සිරිලකින් බැහැරට නොයන සැටි නම් පුදුමය. ඒ අනුව එතැන් පටන් දේශපේ‍්‍රමින්, ජාතිකවාදීන්,චෞරවාදීන් විසින් මෙරට බල මුදුන දරන්නේ මෙම මාගම් වංශය හි ස්ථාවර මතය නිසාය. 

රටක් ලෙස සිරිලකබාහිර සතුරාට බිලිවීම වලකා තැබූ මාගම් වංශය කීර්තිමත් වන්නේ දේශපේ‍්‍රමය නිසාය. අපකීර්තිමත් වන්නේ චෞරවාදය නිසාය. ඒත් මහජන කතාවතේ සහ ඉතිහාස කතාවතේ රසබර කථාවක් බවට මෙම වංශය පත්ව ඇත. ඒ සිංහලේ සරාගීම රාජ චරිතයද, විහිළුතාරම චරිතයද බිහි කරමිනි. ඒ අනුලා රැජිණද, යසලාලක රජුද නිසාය. එළාර මරා බලයට පැමිණි මෙම වංශය නිමාවන්නේ යසලාලක ”සබ” අතින් ඝාතනය වීමෙන්ය. 

සුජිත් අක්කරවත්ත

Tuesday, December 10, 2013

දෙවැනි ලම්බකණ්න වංශය.




කි‍්‍ර:ව:619දී සිංහල රජ සිරිත යළිත් ඓතිහාසික ගැටළුවකය මුහුණ දෙන්නේය. ඒ උභය කුල කුමරු හෝ කුමරිය නැති වූ විටදීය. සිරි ලක්දිව පස්වන රාජ වංශය වූ දෙවන මෝරිය වංශය III ජෙට්ඨ තිස්සගෙන් අවසන් වන්නේය. ඒ අනුව පුරුෂ හිගයට බඳුන් වූ ලක්දිව රජ පදවිය සඳහා ස්තී‍්‍ර කුමරියක් නොවුනේය. එවිට අලූත් රාජ වංශයකට දොරටු විවර වන්නේ ඉබේටමය. මෙලෙස විවර වූ රාජ හිඩැස පිරවීම පිණිස තුන්වන මුගලන් නමින් ලැමිණි බොරනා නම් පිටස්තරයා රජ වන්නේය. නිසි කුල පෙළපත නැති සැම විට සිංහල රජ සිරිත මෙවන් අහඹු රජ දරුවෙකුට උරුම වීම සිංහල සිරිත හා බැඳුණු සම්ප‍්‍රදායක් වේ. කෙසේ නමුත් තුන්වන මුගලන්ගේ පස් වසර පාලනය නිමා වන්නේ නව රාජ උදානයක තරු ලකුණු පතිත වෙමිනි. 

තුන්වන මුගලන් විසින් වේගයෙන් සමාජය භක්තිවාදී බුදු දහමට ගෙන යන්නේය. විචාරයක්, දර්ශනයක් නැතිව මහයාන දැක්මට බාධා පමුණුවන ඔහු දෙවන මෝරිය සමයේ ගොඩනැගෙන තපස්වාදී බෞද්ධ නිකායන් සවිමත් කරයි. මේ තපස්වාදී නිකායන් රජ සෙවනේ වැඩි යාමේ ප‍්‍රතිඵලය වන්නේ දාර්ශනික ප‍්‍රයෝගික බුදු දහමද ඒ බැඳී තිබූ සිංහල සමාජ, දේශපාලන,ආර්ථික, කලා,ආදී පැති මාන වල අර්බුද පිට අර්බුද නැගී වැඞී යෑමය. එම නිසා මේ මතවාදි අර්බුදය සහජීවනය බිඳ දමා තිබූ අතර අස්ථාවර දේශපාලන රාමුව රට සතුරු වියවුලට ඇද දැමීය හැකි තත්වයක් ඇති කර තිබුණි. එවිට ප‍්‍රභූ සම්මත රාජ්‍ය නායකත්‍වයක් සහිත වංශ පරපුරක අපේක්‍ෂා රට තුලින් මතුව එන්නේය. බහු විධ විද්වතුන් සහ පැණසර සංඝ නේතෘන්වහන්සේලා නායකත්‍වය සපයන මෙකී ශ‍්‍රාස්ති‍්‍රය පිපිදීම ජනකාන්ත වන්නේ අසිග්ගාහක කුමරු නිසාය. 

අසිග්ගාහක යනු දෙවැනි මෝරිය වංශයේ රජ පද ප‍්‍රාප්ත අන්තිම පුරුකට අයත් වූ දෙවනසංඝතිස්ස සේනාධිපති වූ මලයරාජගේ පුත‍්‍රයාය. මලය රාජ දෙවන මෝරිය වංශය ආරක්‍ෂා කිරීම පිණිස උත්තර භාරතයෙන් මෙහි පැමිණි සිංහලේ ආරක්‍ෂක අමාත්‍ය ධූරය ඉසුලූ වංශ වතෙකි. ඔහු විවහා වී සිටියේ පළමු ලම්බකණ්න වංශයේ අවසාන ස්තී‍්‍ර පොකුරේ මණිඅක්්‍යත කුමරිය සමගය. ඒ දෙපළ වඩාත් ජනපි‍්‍රය වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ කේශධාතුන් හිමි කරගෙන සිටි නිසාය. කෙසේ කොහොම නමුත් කිසිදු වංශවතෙකු  නැති එකල, උපරිම වංශවත් බව හිමිව තිබුණේ අසිග්ගාහක කුමරුන්ටය. මේ අසිග්ගාහක කුමරු නැග එමින් තිබූජාතික උදානයේ මුදුන් තරුව බවට පත් වන්නේ කි‍්‍ර.ව.619 දී සිරිලක රජ පදවිය දරමින්ය. සිලාමේඝවන්න නමින් රජ සිරිත නංවා සිරිලක සයවන රාජ වංශය වූ දෙවන ලම්බකණ්න වංශය ස්තාපිත කරනුයේ ඔහුය. 

ඔහුගෙන් ඇරඹී දෙවන ලම්බකණ්න වංශය කි‍්‍ර.ව.619 සිට කි‍්‍ර.ව.1187 දක්වා වසර පන්සිය හැට අටක් සිරිලක බල මුදුනේ වැජඹුනේය. මෙකී පරපුර රජ සිරිතටරජුන් හතළිස් පස් දෙනෙකු ඔසවා තැබූ අතර ඔහුනගේ රාජ්‍ය පාලන සමය යුග දෙකකට ලෙස මැදින් බෙදී යන්නේය. ඒ පස්වන මහින්ද රජ සමයේ මුළු සිරිලකම ද්‍රවිඩ චෝළයන්ට යටත් වීම නිසාය. 

කෙසේ නමුත් චෝලයන් පරදවා මහ විජයබාහූ යළි රජ වූ කල දෙවන ලම්බකණ්නයන් යළි සිරිලක තම දෙවන යුගය අරඹන්නේය. සිංහලේ මහා රණකාමීයා වූ මාගම වංශ දුටුගැමුණු රජ අභිබවන්නට තරම් අභිමානවත් වූ මහ විජයබාහූ දෙවන ලම්බකණ්න රාජ වංශිකයෙකි. එමෙන්ම සිරිලක්දිව දෘඩ සාර ඉසුරුමතා වූ මහ පරාක‍්‍රමබාහූ මෙකී වංශ රාජ උරුම සිරිතින් බිහි වූ රජ දරුවෙකි. ඒත් මේ දෙදෙනා අභිබවන්නේ දෙවන ලම්බකණ්න රාජ වංශය මෙන්ම සිරි ලංකාව ලොව මුදුනට ගෙන ගිය මානවම්ම රජුය. ඔහු කි‍්‍ර.ව.684 දී රජ වී ඇති කළ ඉසුරුබර ආර්ථික කලා උදානය සිංහල රාජධානියහි පෙර ගමන වූයේය. සැබවින්ම මානවම්ම රජතුමාට සම කළ හැකි චරිත සිරිතක් මුළු රාජ්‍ය ඉතිහාසයටම නැත. ඔහු ඉවසීමද, දුරදක්නා බව හා ජාත්‍යන්තර විෂ්‍ය ක්‍ෂේත‍්‍රය ආරභයා සිංහල රජ සිරිතින්විනීත මහා රාජ්‍ය තාන්ත‍්‍රකයා වන්නේය. මෙලෙස මානවම් ඇතුරු ඉසුරු රාජ සම්ප‍්‍රදාය නිසා පුරා වසර පන්සිය හැට අටක් දෙවන ලම්බකණ්නයන්ට සිරිලක් සිරිත සෝබමාන කළහැකි වන්නේය. 

එමෙන්ම මෙකී රාජ වංශයට මෙරට රාජධානිය පොළොන්නරුවට හරවන්න සිදුවන්නේය. එබැවින් සිංහ වංශයට පසුව අග නුවරවල් දෙකක රජ සිරි හෙඹවූ වංශය බවට දෙවන ලම්බකණ්නයන් පත් වන්නේය. කීර්තිමත් ආර්ථික විශාරදයන්, කලා නිර්මානකයන්, රණකාමීන් සහ දැහැමි සංවර රජුන් පෙළක් බිහිකර සිරිලක සිරිමත් කල ලම්බකණ්න වංශය පුරුෂ හිගයෙන් ඔත්පලව ඇද වැටෙන්නේය. 
මෙලෙස ඇද වැටීමට, එම ජාන වංශය ප‍්‍රශ්නය තුඩු දුන්න ද දෙවන ලම්බකණ්න වංශය පොලොන්නරු යුගයේදී සිරිලක මතවාදී ආභාෂය යළි ථේරවාදී අන්තයට රැගෙන යාමම එම ඇදවැටීමට බලපාන්නේය. වෙසෙසින්ම මහා පරාක‍්‍රමබාහූ රජතුමා විසින් සිරිලක් සගුන් දහස් ගණනක් සසුන් ශෝධනයට ලක් කරන්නේ දුශ්ශීල මහණුන් පන්නා දමමින්ය. එම දුශ්ශීල හරණය ඇතුලේ සසුන තුල වූ ප‍්‍රජාතන්තී‍්‍රය හා මතවාදී දර්ශනීකයන්ද පිටමන් වූයේය. පුදුමය ථේරවාදී අන්තයෙන් සමබර ජාතික ධාර්මික රාජ දේශපාලනයකටපිවිස ලම්බකණ්න රාජ සම්ප‍්‍රදාය අවසන්වීම සිදුවන්නේ ද ථේරවාදී අන්තවාදය රටේ දැක්මට ඇතුල් කර ගනිමින්ය. අතුරු පවුල් දහරා ගණනාවකින් පෝෂිත දෙවන ලම්බකණ්න යුගය දෙවන විජයබාහූගේ රාජ්‍ය පාලනය සමග නිමා වන්නේ මෙරට දීර්ගතම රාජ්‍ය වංශය බවට පත් වීමෙන් පසුවය.

සුජිත් අක්කරවත්ත

Thursday, November 28, 2013

පළමු මෝරිය වංශය.




කි‍්‍ර:ව:406 දී රජවන පළමු ලම්බකණ්න වංශයේ අවසාන පුරුක වූ මහනාම රජුගේ විසි දෙවසරක පාලනය නිමා වන්නේ රට අස්ථාර කරමිනි. ඔහු, සිංහල රාජ්‍යයේ මතවාදි සමබර භාවය ථේරවාදී අන්තවාදයට රැගෙන යාමෙහි ප‍්‍රථිපළය වන්නේ කි‍්‍ර:ව:429 දී ”ෂඞ් ද්‍රවිඩ” නමින් නම් වූ කල්ලතෝනි මැරවර කල්ලියකට රට යටත් වීමය. එම යටත් පාලනය ආරම්භ වන්නේ කීර්තිමත් පළමු ලම්බකණ්න රාජ පෙළපත සහමුලින්ම අහෝසිව යෑමෙන්ය. පුරා විසි හතර වසරක් ෂඞ් ද්‍රවිඩ ද්‍රමරිකයන්ගෙන් නිදහස්වීමේ ජාතික පිපාසාව ශ‍්‍රාස්තී‍්‍රය කියවීමකින් පුනරුදය ලබන්නේ මහනාම මහ තෙරිදු තෙමේ ”මහ වංශය”රචනා කිරීමත් සමගය. ඒ අනුව ”මහ වංශය” ජාතික පුනරාගමනය පිණිස මතවාදයක් ඇති කරන්නේය. එහි ප‍්‍රථිඵලය වන්නේ සිංහලේ සිව්වන රාජ වංශය පෙර ගමන් ඇරඹීමය. ධාතුසේන කුමරු කි‍්‍ර:ව:455 දී රජ පද ප‍්‍රාප්ත වීමෙන් ඒ ඓතිහාසික රාජ වංශය ආරම්භ වන්නේය. ”ෂඞ් ද්‍රවිඩයන්” පරදා මෝරිය වංශ ධාතුසේන කුමරු ස්ථාපිත කරන පළමු මෝරිය වංශය එතැන් පටන් වසර අනූහතක් ලක් රාජධානියේ උරුම කිරුළ දරා ඉදියෝය.  ලක්දිව ආර්ථිකයේ නව හැරවුම වූ ධාතුසේන රජුගේ පුත‍්‍ර සීගිරි කාශ්‍යප මෝරිය රාජ වංශය ලෝක උරුම සිරිතට රැගෙන යන්නේ සිංහල සිරිතද, ලෝක පුදුමයක් බවට පත්  කරමිනි. ධාතුසේන රජු සිංහල රාජ්‍යය සම්ප‍්‍රදාය නැවත මහයාන බුදුදහමේ දාර්ශනික හරයයන් සමග ථේරවාදී මධ්‍යයට සමපාත කළේය. එහි තීරක ප‍්‍රථිඵලය වූයේ සරුසාර සැනසිලිදායක සමාජ වටපිටාවක උරුමය ජනතාවට හිමිවීමය. ධාතුසේන පුත‍්‍ර කාශ්‍යපයන් ලොව මුදුනට ඔසවා තැබුවේ ඒ පිය උරුමයේ උත්තර දර්ශනයය. කෙසේ නමුත් මෝරිය වංශය තුන්වන රාජ දරුවා බිහිකර ගැනීම පිණිස තම වංශය ස්ථාපිත කළ එක්සත් රාජ දාර්ශන මතවාදය බිද දමා ගත්තේය. ඒ සීගිරි කාශ්‍යපට එරෙහිව ථේරවාදී සගුන් වහන්සේලාගේ දේශපාලන කැරැල්ල නිසාය එහි ප‍්‍රතිඵලය වන්නේ සීගිරිය ද, සීගිරි කාශ්‍යප ද වනසා යළි ලක්දිව බල දැක්ම අන්තයකට ඇද වැටීමය. ඒත් ධාතුසේන රජු ද, කාශ්‍යප රජු ද තැනූ සරුසාර ආර්ථික සමාජ පුනරුදය නිසා රට ස්ථාවරව සියවසක් පමණ පෙරට ගලා ගියේය.

සිරිලක් දිව සිව්වන රාජ වංශය වූ පළමු මෝරිය වංශය විශේෂ රජුන් එකොළොස් දෙනෙක් බිහි කළ අතර, මෙකී වංශයහි ඉතිහාස මූලය අනුරාධපුර යුගය දක්වා දිව යන්නකි. දෙවනපෑතිස්ස රජ දවස සංඝමිත්තා කුමරිය සමග මෙහි සැපත් මෞර්ය කුමර පරපුරෙහි පුරුෂ බීජ මෙරට ලම්බකණ්න සහ දේශීය කුමරියන් සමග මුහු වීමෙන් මෝරිය වංශය බිහිව ඇත්තේය. විශේෂයෙන්ම දළදා වහන්සේ සිරිලක සැපත් වූ විට, ඒ සමග මෙහි සැපත් දන්ත, හේමමාලා දෙපළගේ ඥාති පරපුර නිසා මෝරිය පෙළපත බල මුදුණේ විශේෂ භූමිකාවට පණ දුන්නෝය. ඔවුහු රාජ තාන්ති‍්‍රක නිළධරන් ලෙස වැජ බී සිටි පරපුරකි. 

මෝරිය රාජ වංශවතුන් ද බොහෝ සෙයින් දේශීය බිසවක් අග තනතුරට පත් කර ගැනීම පි‍්‍රය කළ හැටි ඔහුනගේ ඉතිහාසය දෙස බලන කළ පෙනේ. මේ අතර මෙම වංශවත් පරපුර දෙකට බෙදෙන සිදුවිම වන්නේ මේ අගබිසව පිළිබද ප‍්‍රශ්නයය. වෙසසින්ම ධාතුසේන රජ කුමරුගේ අගබිසව වූයේ උත්තර භාරතීය සතිසාදේවී කුමරියය. දෙවන බිසව වන්නේ දේශීය වංශවතිය වූ උත්තරාය. භාරතීය අගබිසව පුත‍්‍ර ”මුගලන්”ථේරවාදී දේශපාලනික සගුන් සමග තම අයියා වූ කාශ්‍යපට අභියෝග කරන්නේ ඔහු දෙවන බිසවගේ පුත‍්‍රයා බවත්, මහායානියෙකු බවත් හඩ නගා පවසමිනි. මේ බිසව් ගැටුම ඉන් පසු මෝරිය පෙළපත හා බැදී ගලා යන මහා ගැටුම බවටද පත් වන්නේය. 

සිරි විසිතුරු රාජ සිරිත් එකොළහක් ජාතියට දායාද කල මෝරිය පෙළපත අතර බැදී මේ බිසවගේ ප‍්‍රශ්නය කෙතරම් දිගු දුරකට ගලා ගියාදයත් එය ඒ සීගිරි කාශ්‍යප රජු ඉදිරියේ ද මතු විය. ඒ ඔහු භාරතීය බිසව අගබිසව නොකට දේශීය බිසව අගබිසව කර ගැනීමෙන්ය. සීගිරි කාශ්‍යප දුව උපුලි කුමරියට ඇගේ පියාගෙන් පසුව රජ කිරුළ උරුම වුයද, එය ඇගෙන් උදුරා ගැනීමට ඇගේ මව්ගේ සිදුවීම බලපෑවේය. සැබැවින්ම මෙලෙස වංශ දෙදරීමක් නිසා මෝරියවංශවතුන් අහෝසිව සිටි ලම්බකණ්න වංශයේ නෑ බැදීම් සහිත කුමරෙක් හෝ කුමරියක් තම වංශයට විවහා තුලින් බැද තබා ගත්තේය. ධාතුසේන රජුගෙන් කි‍්‍ර:ව.455 දී ආරම්භ වී කිත්සිරිමේඝ රජුගෙන් කි‍්‍ර:ව.551 දී පළමු මෝරිය රාජ වංශය නිමා වන්නේය. මේ වංශයෙහි රාජ දැක්ම අන් සියළු රාජ වංශ වලට වඩා ඉසුරුමත් ආර්ථික සුව සාදනය සහිත වූවකි. ඒ සමයහි ලොව ප‍්‍රමුඛතම ඉසුරු රාජධානිය බවට සිංහලය පත් කරන්න තරම් මෝරියන් සුවශේෂින්  වූයේ එබැවිනි. මෝරියන් අතර පුරාජේරුකරුවන්, ප‍්‍රචාරකරුවන් හා යුදකාමීන් දක්නට නැති තරම්ය. ”ෂඞ් ද්‍රවිඩයන්” පළවා හැරීම පිණිස ධාතුසේන රජතුමා සිදු කළේ මිනිස් ඝාතන වෙනුවට මතවාදී නැගිටීමකි. එබැවින් මෝරිය වංශය යුද්ධය, රණකාමය වෙනුවට හතුරන් නැසීම උදෙසා දාර්ශනික අත්හදා බැලීම සිරිලකට දායාද කළ සදාර්ශනික වංශය ලෙස සම්භාවනාවට පාත‍්‍රව ඇත්තේය. 

පුරා වසර අනූහතක් පුරා දිව ගිය මෝරිය රාජ වංශයේ පාලනය ශේෂ කර තබා ගිය මහා කලා නිර්මාණය අදටත් කියා දෙන්නේ ඒ සදාතනික රාජ්‍ය තාන්ති‍්‍රකත්‍වයේ බල මහිමයය. ඒ අනුව සිංහලේ මතවාදී මහා ග‍්‍රන්ථය වූ ”මහ වංශය” ද, සිංහලයේ ලෞකික පුදුමය වූ සීගිරිය ද ලොවට දායාද කළේ ලක්දිව සිවු වන රාජ පරපුර වූ පළමු මෝරිය වංශයය. 

සුජිත් අක්කරවත්ත

Sunday, November 17, 2013

පළමු ලම්බකණ්න වංශය.




මාගම් වංශය නිමා වී කි‍්‍ර.ව.60-67 සත් වසර උදාවන්නේ මහත් භීෂණ සමයකිනි. ඒ ”සබ” විසින් මෙරට සියළු ප‍්‍රභූ වංශවතුන් සංහාරය කරමිනි. රජ කිරුළ අත්පත් කරගත් පිටස්තර සබගේ සත් අවුරුදු පාලනය පෙරළමින් කි‍්‍ර.ව.67 දී වසභ කුමරු රජවන්නේ නව යුගයක පෙර අඹර වෙමිනි. ඒ සිරිලක් දිව තෙවන රාජ වංශය වූ පළමු ලම්බකණ්න වංශයට රාජ්‍යත්‍වය උදා කරමිනි. වසභ රජ තෙමේ ඇරඹි මෙකී වංශය විසින් රජ දරුවන් විසි හතර දෙනෙක් බිහි කළ අතර ඔවුහු අඛණ්ඩව වර්ෂ තුන්සිය හැට එකක් රජ සිරි දැරුවෝය. ඒ කියන්නේ කි‍්‍ර.ව.67 රජපද ප‍්‍රාප්ත පළමු ලම්බකණ්නයෝ එතැන් පටන් කි‍්‍ර.ව.428 දක්වා රජ කිරුළ දරා ඉඳියෝය.  ඔහුනගේ විශේෂත්‍වය වන්නේ තම රාජ වංශයෙහි රජුන් අතර මැදදි කිසිම බාහිර වංශිකයෙකුට විජාතික ආක‍්‍රමණිකයෙකුට සිරිලක ඉඩ නොතැබූ එක්සත් එකීයත්‍වයයය. මෙවැනි හපන්කමක් දැක්වූ සිරිලක එකම හා ප‍්‍රථම රාජ වංශය වන්නේ මෙම පළමු ලම්බකණ්නයෝය. 

ලම්බකණ්න වංශය සිරිලක සැපත් වන්නේ කි‍්‍ර.පූ.232 දීය. ඒ සංඝමිත්තා මහ රහත් උත්තමාවිය සමගය. අශෝක අධිරාජ්‍යාගේ දියණියව සිටි සංඝමිත්තා කුමරිය සරණ පාවාගෙන උන් සමුද්‍රගුප්ත කුමරුගේ සැපත්වීමෙන් මෙම පරපුර සිරිලක බල මුදුනට ලං වන්නෝය. ඔවුහු විසින් රජ පදවියෙහි උරුම වස්තුව වූ ජය මහ ශී‍්‍ර බෝධිය හිමිකර ගැනීම රජ උරුමයෙහි ප‍්‍රාර්ථනා පැතුම වන්නේය.  කි‍්‍ර.පූ.323 සිට රජ පදවියට මාන බලමින් සිටි ඔවුහු  තම ස්ථානය පැමිණෙන තෙක් ඉවසීමෙන් බලා හිඳි අපූරු පෙලපතකි. පුරා තුන්සිය වසරක් සිරිලක රාජ්‍ය සේවාවේ බලගතු නිළධාරී මඩුල්ලෙහි භූමිකාවෙහි නිරත වූ ලම්බකණ්නයන්ගේ මොහොත උදාවන්නේ කි‍්‍ර.ව.67 දීය. සිංහ වංශයට පසු මාගම් වංශයද, ඔහුනට පසු කිසිවෙක්ද නැතිව තිබුණි. ඒ අවාරය හිමිකර ගන්නේ අවසන් මාගම් වංශික රජ යසලාලගේ දොරටුපාල ”සබය”. සබගේ ඝාතන රාජ්‍යය පෙරලාලම්බකණ්න වසභ නව රාජ වංශයෙහි රජ සමය අරඹන්නේය. 

විසි හතරක් රජුන් තැනූ මෙම පරපුර විසිතුරු බහු විධ තාල සිරිත් වලින් සෝබමාන රාජ වංශයකි. දාර්ශනික රාජ දර්ශනයන් සිරිලකට ඔසවා තැබුවෝය. සැබැවින්ම සිංහ වංශිකයන් සිරිලකට තනා දුන් එක්සත් රාජවාදය, මාගම් වංශය ඒකීය රාජ වාදයක් බවට පත් කළෝය. එහෙත් එක්සත් ජාතික වාදය සිරිලකෙහි ඔසවා තැබූවේ ලම්බකණ්නයෝය. ඒ සඳහා සිංහ වංශික දහම වෙනුවට ඔවුහු බුදුදහම එයට භාවිතා කරන්නෝය. ඒ අනුව ථේරවාදී බුදුදහම මහයාන බුදුදහම, බුද්ධාගම නමින් ආයතන ගත කිරීම අරඹන එක්සත් රාජ්‍යවාදී ගමන තනන්නේ මෙම ලම්බකණ්න පෙළපතය. වෝහාරිකතිස්ස රජතුමා ථේරවාදී රාජ කරණයේ ද, මහසෙන් රජතුමා මහයාන රාජ කරණයේ ද, යාති‍්‍රකයන් දෙදෙනාය. මේ ථේර මහයාන තාල මුසුවේ කූටාප්ප‍්‍රාත්තිය වන්නේ ජේතවනාරාම මහා සෑයය. ඒ අනුව ලම්බකණ්න රාජ දැක්ම ආගමික භූමියක් කෙන්ද්‍ර කර ගනිමින් බිහිකර ගැනීමට ඔවුහු සමත් වන්නේය. මේ කතාවේ පුදුමය මහායානය සමූල ඝාතතයකරන ථේරවාදී අන්තවාදය වූ වෝහාරිකතිස්ස ද, ථේරවාදය සමූල ඝාතනය කළ මහයානික අන්තවාදියෙකු වූ මහසෙන්ද එකම වංශයේ වංශවතුන් වූ සැටිය. කෙසේ නමුත් ලම්බකණ්න වංශයේ පුදුම හැකියාව වූයේ සතුරෙකුට රටට පිටින් හෝ රට ඇතුලෙන් රාජ්‍යත්‍වයට ඇතුල් විය නොහැකි ලෙස තැනී මුසු වීමය. සැබැවින්ම මෙම රජුන් රණකාමින් හෝ යුදකාමීන් නොවීය. ඔවුහු තැනූ එක්සත්වාදී රාජ සම්මුතිබලයේ මහිමය වන්නේ ,යුධ, සිවිල්, දේශපාලන, ජාතිවාදී ගැටළුවක් නැති සියවස් තුනහාමාරක ප‍්‍රබෝධජනක රාජ සමයක්සිරිලක් වාසීන් විඳගත් අපූරුවය. 

මෙම අපූරුවේ අසිරිමත් මුදුන බුද්ධදාසයන් බිහි වීමය. ථේර මහායාන මුසුව ඉඩ හසර මැදින් ලෞකික සුවපත් බව රාජ්‍යයේ දැක්ම කළේ එතුමාණෝය. බුද්ධදාස රජතුමා විසින් සිංහල රාජ්‍යයට මතවාදීත්වයක් ලේඛණ ගත කළේය. ඒ සරාර්ථ සංග‍්‍රහයය. ඒ අනුව ලම්බකණ්නයන්ගේ එක්සත් රාජ ආගමික දැක්ම එක්සත් රාජ ලෞකික දැක්ම බවට පත්වන්නේ බුදුදැක්ම සමග නව කියවීමක් ලබමිනි. මේ අනුව වසභ ඇරඹි ලම්බකණ්න රාජ වංශය සිරි ලක්දිව රාජ දර්ශනය එක්සත් ජාතිකවාදය කළෝය. එමෙන්ම එය එක්සත් ලෞකිකවාදී දහමක්ද කළෝය. ඒ අතින් ඔවුහු සිංහ වංශය හා මාගම් වංශය දාර්ශනිකව අභිබවන්නට සමත් වන්නේය. එබැවින් ලම්බකණ්න වංශ රාජ යුගයට වසභ, ගජබා, වෝහාරිකතිස්ස, මහසෙන්, බුද්ධදාස වැනි ඉදිරිගාමී ප‍්‍රතාපවන්තයන් වේ. නමුත් ලම්බකණ්න වංශය නිමා වන්නේ ඔවුහු තනා ගත් ඒ සමබර එක්සත් ජාතිකවාදය බිඳගත් මහානාම රජ වීමෙනි. ඒ මහානාම රජතුමා බුද්ධඝෝෂ හිමියන් සමග එක්ව  සිංහල රාජ්‍ය රෑප දැක්ම ථේරවාදී අනන්තයට රැගෙන යාමෙන්ය. එහි සෘජු ප‍්‍රථිඵලය වන්නේ සිංහල රාජ්‍යහි සමතුලිත භාවය බිඳ වැටීමය. මහානාම රජතුමාට පුතුන් නොහිටිය අතර එතුමාට හිටියේ සංඝා නැමැති දියණියය. සංඝා කුමරිය විවහා වන ජන්තු සොළී කුමරෙකු වන අතර ඒ දෙන්නාට උපදින්නේ අංග විකළ කුමරෙක්ය. ඒ සේන හෙවත් සොත්ථිසේනය. අංග විකළ සොත්ථීසේන ලග නතර වූ සිංහල රාජ්‍යයට, තව දුරටත් සාර ලම්බකණ්න වංශිකයෙක් නොමැති වීමෙන් කි‍්‍ර.ව.46 දීලම්බකණ්න වංශයේ රාජ්‍ය යුගය නිමා වන්නේ, ලම්බකණ්න වංශය ද සහමුලින් වඳ වී යෑමෙන්ය. 

මෙම තෙදවත් පරපුරෙහි පුරුෂ කුමරුන් වංශවතුන් වූයෝය. ඔවුහුනට බොහෝ විට අග බිසවුන් හිමිවන්නේ විවිධ වංශ තුලිනි. ඒත් බොහෝ ලම්බකණ්න කුමරුන් දේශීය වංශවත් සිංහල බිසවුන් පි‍්‍රය කළෝය. මොවුහු තම වංශය දැඩි එක්සත් භාවයක තබා ගත් වංශයකි. පියවරු, පුතුන්, සොයුරන් බලයට පොර කෑ අවලක්‍ෂණ කතා මෙම වංශය තුල දක්නට හැක්කේ කලාතුරකිනි. එම කැත ලකුණලම්බකණ්න වංශයට එක් වූයේ ගෝඨාභය රජ වීමෙන්ය. ඒ ගෝඨාභය සිරිසගබෝ රජතුමා ඝාතනය කළ කෲරකම නිසාය.

සුජිත් අක්කරවත්ත

 පැරණි ලිපි ලේඛණ සදහා මෙතැන බලන්න