Monday, August 15, 2016

ආචාර්ය අග්බෝ





සිරිලක්දිව සිතියමට නැගු ප‍්‍රථම විදේශිකයා ටොලමිය. ඔහු නැගු ලෝක සිතියමෙහි ලංකාවේ නගර අතර ඉහලින්ම සදහන් නගරයක් වේ. එහි නම ‘‘අනරිසිමොන්දු’’ යන්නය. මේ ‘‘අනරිසිමොන්දු’’ නගරය එම යුගයහි ප‍්‍රකට ජාත්‍යයන්තර නගරයක් බවට පත්ව ග‍්‍රීක, සුමේරියන් හා රෝම හා භාරත චීන ලෝක නගර වල අවධානයට පාත‍්‍ර වී ඇති සැටිදුනා ගත හැකිය. මේ අතර ‘‘අනරිසිමොන්දු’’නුවර පිළිබද අතීත තතු වියමන් සොයා යන්නට සිත් අලවන ලෝල සිදුවීම හමුවන්නේ එකල්හි ලක් දිව අග විනිසුරුන් වහන්සේ වූ ‘‘ආභිධම්මික ගෝධත්ත මහ තෙරිදු’’ දිවි සිරිත හා සබැදිවය.

ආභිධම්මික ගෝධත්ත මහ තෙරිදු දවස සිරිලක් සසුන් වත පිණිස විනය විචාරලිමේ නිමිත්ත හා සෘජුව බැදි ඇත්තේ ‘‘අන්තර් සමුද්‍ර’’ නම් විහාරයකි. එම වෙහර තිබු පොල් කටුවෙන් තැනු මනරම් කැටයම් පාත‍්‍රය සොරකම් කළ සිදුවීම නිසා ‘‘අදින්නාදානා පරාජිකාව’’ අරභයා පැන නැගී ධර්ම අර්ථ සංවාදයය. සමන්තපාසාදිකා විනයට්ඨකථාවේ පැවෙසන ‘‘අන්තර් සමුද්‍ර’’ වෙහර සහ ටොලමි පවසන ‘‘අනරිසිමොන්දු’’ නුවර එක සමාන බව පෙනී යයි. ඒ අනුව ‘‘අන්තර් සමූද්‍ර’’ නම් නගරයෙහි පිහිටි වෙහර ‘‘අන්තර් සමූද්‍ර විහාරය’’ බව පැහැදිළිය. මේ තතු නිමිත්ත වඩාත් දිගු විස්තරයක් වන්නේ මහාදාඨිය මහනාග රජුගේ (ක‍්‍රි.ව. 9 - 21) ‘‘මිහින්තලා ගිරි ලිපිය’’ නිසාය. එහි ලියවී ඇති තතු අනුව මිහින්තලා මහා විහාරයට ‘‘අන්තර් සමුද්ද’’ නම් නගරය අසලින් පොල් වතු යායක් පුජා කර ඇත. ඒ අනුව ටොලමිගේ අනරිසිමොන්දු නුවරද... සමන්තපාසාදිකා විනයට්ඨ කථාවේ ‘‘අන්තර් සමුද්‍ර’’ නුවරද මහාදාඨීක මහනාග රජුගේ මිහින්තලා ගිරි ලිපියේ ‘‘අන්තර් සමුද්ද’’ නුවරද එකම නුවර බව පැහැදිළිය. ඒ අනුව පාළි භාෂා අරුත බිද සිංහල භාෂා අරුත පාදා ගත් විට ද ‘‘අන්තර් සමුද්‍රයන්හි තේරුම මහ මුහුදින් දෙපැත්තින් වටවූ භූමිය - තුඩුව යන අරුතය. මේ අනුව‘‘ අන්තර් සමුද්‍රය’’ යන්නේ තේරුම මුහුදු අතර යන්න ය. මේ අනුව මෙලෙස භූමිය පිහිටි සාරවත් පොල් වගා පැතිරි ප‍්‍රදේශය වර්තමාන කල්පිටිය බව හදුනා ගෙන ඇත. එය පරණවිතාන සී.ඩබ්. නිකලස් මෙන්ම විමල් විජේරත්න වන් වියත්හු තහවුරු කළේ පුරාවිද්‍යාත්මකවය. ඒ අන්තර් සමුද්ද විහාරයහි නටබුන් සොයා පාදා ගනිමින්ය.

මේ අනුව ‘‘අනරිසිමොන්දු‘‘ නුවර හෙවත් අන්තර් සමුද්‍ර නුවර ලෙස ප‍්‍රකට මෙම නුවර පිළිබ`ද භාතික තිස්ස (ක‍්‍රි.පූ. 19 - ක‍්‍රි.ව. 09) රජ දවස ලියවුණ ඓතිහාසික පුවතින් එම ප‍්‍රදේශය වාණිජ පොල් වතු වලින් සහ පොල් හා සබැදි නිෂ්පාදන ද පැතිර විහිදි ගිය අන්තර් ජාතික ව්‍යාපාර කලාපයක් බව පැහැදිලි වේ. එවන් ජාත්‍යයන්තර වාණිජ වැවිලි නගරයකින් මිහින්තලා මහා විහාරයට පොල් වතු යායක් පූජා කිරීමෙන් එක් අතකින් සිංහල රාජ සිරිත මිහින්තලාවට දැක්වූ අපමණ ගෞරවයද අන් අතකින් එවන් අන්තර් ජාතික නගරයක ‘‘අන්තර් සමුද්ද’’ නමින් මහ වෙහරක් ද මිහින්තලා මහ වෙහරට අදාල වතු ජනපදයක් පැවතීමෙන් බුදු දහම සහ අන්තර් ජාතික වෙළද ලෝකය සමග වූ සහ බැදිම ද ප‍්‍රකට වේ.

තවත් අතකින් ටොලමි නම් තැබු ‘‘අනරිසිමොන්දු’’ පෙදෙසට දෙමළ ජනයා අදත් ව්‍යවාහාර කරන්නේ ආනවාසල් යන නමය. එහි පෞරාණික මැදුරු ගණනාවක නටඹුන්ය. මේ ආනවාසල් පෙදෙස අනරිසිමොන්දු සහ අන්තර් සමුද්‍ර යන්නහි දෙමළ හැඩ ගැස්ම බව තහවුරු වේ. මේ පිළිබද රොබට් නොක්ස් තම ‘‘්බ ්‍යසිඑදරසජ්ක ඍැකුඑසදබ ක්‍ැහකදබ’’ කෘතියේ සදහන් කරයි. නමුත් ඉතිහාසහි ඇවිද ‘‘අන්තර් සමුද්ද’’ වෙහෙර නමදිනවිට නැගී ප‍්‍රශ්නය වන්නේ ‘‘අන්තර් සමුද්ද’’ හෙවත් ටොලමිගේ අනරිසිමොන්දු’’නුවරට ද්‍රවිඩ සොයුරා ‘‘ආනවාසල්‘‘ යැයි ද, සිංහලයෙන් කල්පිටිය යන නම ද, තැබුනේ කෙළෙස ද යන්නය. සෙල්ලිපි අතීත තතු පවත් අතර ඇවිද පිය මැන ගියෙමි. එවිට තුන්වන මුගලන් රජු හමුවේ නතර විය. ඒ එතුමාණෝ තම නිල ලේඛන වල කාරපිට්ඨි’’ නුවර තම නමින් මුගලන් වෙහර කරවීමය. මෙ කාරපිට්ඨි නාමය මහාවංශය ද එම නමින් ද වට්ටකාරපිට්ඨ නමින් ද සදහන් කර තබා තිබේ. එවිට නුතන ‘‘කල්පිටිය’’ හෙවත් අතීත ‘‘අන්තර් සමුද්‍ර’’ නුවර සනාථ විය. කල්පිටිය නමෙහි සම්භවය පිළිබද එහි වැසියන් අතර ඇති මත තුලින් ද මෙම ඉතිහාස ග‍්‍රාම නාමයහි අරුත නිවැරිදිය. වර්තමාන කල්පිටිය ප‍්‍රදේශය කි.මී. 37 පමණ වන මුහුදු ප‍්‍රදේශය වසා ගෙන බාර් රීෆ් නම් කොරල් වැටියක් වේ. මේ පිහිටීම නිසා ගල්පිටිය””කල්පිටියවූ බවට මතයකි. තවත් මතයකින් කියවෙන්නේ මේ ප‍්‍රදේශයේ ස්ථානවල කළු පාට නොගැඹුරු වළවල් ඇති බවත්, ඒවා වඩදියෙන් කලපුව පිරීයන විට ගොඩබිමට තල්ලූ වන කරදියෙන් වැසී යන විට ද බාදියේ දී ද නියන් කල්හි සිදී යන විටද කළු පාට පැතිර යන නිසා කළුපිටිය””කල්පිටියවු බවය. තවත් අදහසක් වන්නේ ‘‘මුහුදු කරයේ පැතිරි ගිය පිටිය කරයේ පිය පටියකල්පිටිය වු බවය.
මෙලස අන්තර් සමුද්දනගරයට පිවිස පියමැන ගිය කළ ඉතිහාස චාරිකාව තවත් දිගු දුර යන්නේ දෙවනපෑතිස් රජ සේසත් නැගු දවස එහි ඉස්සරසමණනමින් වෙහරක් බැදි බවට වු පුවතය. ඒ අනුව කල්පිටියටමහ මිහිදු හිමි වැඩ විසු සමයේම විහාරයක් ලැබී ඇති බවත් එය දිගටම මිහින්තලා මහ විහාරය හා සම්බන්ධව තිබූ නාගරික තපෝ භුමියක් බවත් අනුමාන වේ. මෙම කල්පිටිය පුවත වඩාත් කමනීය රමණීය කථා පුවතක් වන්නේය. ඒ අනරිසිමන්දු නුවර හෙවත් අන්තර් සමුද්ද නම් වූ කල්පිටිය සීගිරි ගී ගෙත්තම් වලින් දුටු කල්හීය. 

සීගිරිය හා කල්පිටිය අතර බැදීම හමුවන්නේ කි‍්‍ර.ව.8-9 ය සියවස් වලට අයත් ගීයකිනි. එහි කතුවරයා කල්පිටියේ අග්බෝය. එමෙන්ම මහා වංශය හා බෝධි වංශය තුලින් සීගිරිය හා කල්පිටිය අතර සම්බන්ධය තවත් ඈතට දිවයයි. සීගිරි කාශ්‍යප රජතුමා තම දුවණියන් දෙදෙනාගේ නමින් බෝධි උපුල් වෙහෙර ද, රජුගේ නමින් කාශ්‍යප වෙහෙර ද පිහිට වන්නේ අන්තර් සමුද්ද නුවරය. ඒ අනුව කල්පිටියේ අග්බෝ සීගිරි ගලේ කවි ලියන්නට සියවස් තුනකට පමණ පෙර කල්පිටිය හා සීගිරි නුවර සෘජුවම සම්බන්ධ වී ඇත. මේ අතර අන්තර් සමුද්ද විහාර නටබුන් අතර තාරා හා අවලෝකීත්ශ්වර වන්දනාව ද සනාථ ව තිබේ. එවිට පසක් වන්නේ මහායාන බුදුදහම තහවුරු වූ ප‍්‍රදේශයක් ලෙස අන්තර සමුද්ද ප‍්‍රදේශය හදුනාගත හැකි බවය. මේ අනුව කල්පිටියේ මේ සියලූ විහාරද, මිහින්තලා මහා විහාරයද එකට බැදී එක් යුගයක මහායාන බුදුදහමේ පුනරුද සමය අරභා ඇතිබව පැහැදිලිය.

මෙයින් වඩාත් රමණීය සිදුවීම කල්පිටියේ අග්බෝය. ඔහු තම නම යොදා ඇත්තේ ඇදුරු කල්පිටියේ අග්බෝ නමින්ය. එනම් ආචාර්ය කල්පිටියේ අග්බෝය. ඔහුගේ කවි දෙකක් අදත් සීගිරි කැටපත් පවුරේ ජීවමානව තිබේ. එම කිවිවල අරුත තෝරා පාදාගත් කල ජීවිත ආශාවන් බුදුදහමින් අරුත් ගන්වා ඇති අයුරු දිස්වේ. කල්පිටියේ අග්බෝ එවකට ප‍්‍රකට ආචාර්යවරයෙකු වී ඇති බවට ද අනුමාන කළ හැකිය. මේ අනුව කල්පිටියේ අග්බෝ අන්තර් සමුද්ද විහාර විද්‍යස්ථානයේ ආචාර්යවරයා වන්නට ද ඇත. මන්ද තම නමට ගමේ නම ඇදා තැබීමෙන් ඔහුට එම ප‍්‍රදේශයේ ලැබී තිබූ සමාජ තත්වය වටහා ගත හැකිය. එලෙස අන්තර් සමුද්ද විහාරයේ ඇදුරු කල්පිටියේ අග්බෝ සීගිරි ගල නැග කවිපද සටහන් තබා ඒමත් මිහින්තලා ගලද අන්තර් සමුද්ද විහාරය සම්බන්ධ වීමත්, ඒ ඔස්සේ මහායාන බුදුදහම පැතිර යෑමත් වැදගත් මතු කිරීමක් කර ඇත. එනම් සීගිරිය ද, අන්තර් සමුද්ද විහාරය ද, මිහින්තලය ද, එක් විටම මහායානික බුදුවදන තුලින් නැගී සිටීමය. විශේෂයෙන්ම බහුවිධ ජාති ආගමික මුසුවක් එදත් අදත් කල්පිටිය සමග පවති. ඒ අනුව මේ බහුවිධ ජනතාව තුලින් බුදුදහම මතු වී ඇත්තේ මහායානික සිතුම් පැතුම් තුලින්ය.මෙහි වඩාත් විචිත‍්‍ර කරුණ නම් සිංහල ථේරවාදී බුදුසසුණේ තොටිල්ල මිහින්තලාව ද මහායාන සිතුවිලි මතින් නැගී සිටින අපූර්වයය. මේ අනුව ඉතිහාසය වඩාත් සවීස්තරාත්මකව විස්තර කරගැනීමට ඉතිහාස ග‍්‍රන්ථ වලට අමතරව සාසන අට්ඨ කතා, ධර්ම අට්ඨකතා පරිශීලනය කළ යුතුය. එලෙසම මෙරට ඉතිහාසය එකලූ කර ගැනීමට, අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර වැනි පුරාවිද්‍යා භූමි වලින් ඔබ්බට අප පැතිර යායුතුය. කල්පිටිය කියා දෙන්නේ ඒ ඉතිහාස කතාවය. 

ටොලමිගේ අවධානයට බදුන් වූ කල්පිටිය සිංහල ඉතිහාසයේ තීරක තතු විත්ති සමුදායක් මිහිගැබ යට සගවා තබාගෙන ඇති බව පැහැදිලිය. මෙම භූමිය මතින් විහිද, පැතිර ගිය මතක සටහන් සිරිලකට බුදුදහම සැපැමිණි දා සිට හමුවේ. ඒත් අන්තර් සමුද්ද නුවර සහමුලින්ම ගවේෂණයට ලක්ව නැත. එවන් ගවේෂණයකට අන්තර් සමුද්ද විහාරය බදුන් කළයුතු තරම්ය. එවිට කල්පිටිය ද, කල්පිටියේ අග්බෝධ, අන්තර් සමුද්ද විහාරය ද, බෝධි උපුල මෙහෙණවර ද, අපට අලූත් ඓතිහාසික මාවතක් පාදා දෙනු ඇත.

1 comment:

  1. සුපුරුදු පරිදි කාලයේ වලි තලාවෙන් වැසී යන්නට නියමිත ඉතිහසයේ තවත් කතාවක් සිත් ඇදගන්නා ලෙස ඉදිරිපත් කලාට ස්තූතියි

    ReplyDelete