Saturday, May 16, 2015

තැන්නෙන් - කන්දට


                          
   

                         ලක්දිව මුල්ම මිනිස් ජනාවාස ඇති වී ඇත්තේ සිසිල් සෞම්‍ය තෙත් කලාපීය වන පෙත් වලය. එසේ ජීවත් වීමට සිසිල් කදුකරය වනාන්තර තෝරාගත් ලොවේ එකම ප‍්‍රාග් මිනිසා වන්නේ සිරිලක ප‍්‍රාග් මිනිස් ප‍්‍රජාවය. මේ ගැන මවිතය මිසක නිශ්චිත හේතුවක් තවමත් නිසි ලෙස සොයා ගන්නට බැරිව ඇත. ඇරඹුමේදිම අමුතු මානවයෙකු වූ ලක් මිනිසා ශිෂ්ඨාචාරයට පිය මැන ඇත්තේ ද අමුතුම මිනිසෙකු විදියටය. තම රටේ සුව පහසු සෞම්‍ය කලාප තිබියදී වියළි කලාපයෙන් ශිෂ්ඨාචාරය පටන් ගෙන ඇත්තේය. සීතල කදු වලින් ජීවිතය අරඹා වියළි කටුක තැන්නෙන් ශිෂ්ඨාචාරය පටන් ගෙන ගලා ගිය ලක් මිනිස් ප‍්‍රජාවේ මේ වෙනස තවමත් හරි ලෙස විමසා බලා නැති ගැඹුරු කථාවකි. සැබවින්ම ”ප‍්‍රාග් ලක්වැසියා” කදුකරය පි‍්‍රය කරන ගමන් ”ජාතික ලක්වැසියා” තැනිතලාව තෝරා ගන්නට බලපෑමේ කවර හේතුවක්ද?. වියළි තැනි තලාවට පැමිණ සෞම්‍ය සිසිලනය සදහා ලොව සුවිශිෂ්ඨතම  ජල තාක්ෂණ කලාව බිහි කරගත් ලක්වැසියාගේ මේ බරපතල කලාව ලොවම මවිත වී සොයන කථාවයි. එත් ලොවක් මවිත වන කථාව පසක් කර ගන්නටත් ලක් වැසියාටම නොහැකි වී ඇති තැන කවර ලෙසින් මෙම විමසුම පූර්ණ කර ගත හැකිද?. ලොවක් බලා සිටින පුරාවිද්‍යා ප‍්‍රශ්නාර්ථයන් අතර මේ ප‍්‍රශ්ණය මුල් පෙලේම තිබෙන්නකි. දැන් ඇත්තටම මේ අමුතු මානව ශිෂ්ඨාචාරයහි අරුම දනවන හැසිරීම සොයා බැලිය යුතු රස කථාවකි. කථාව රසය දනවන්නේ මේ මානව හැසිරීම ගලාගෙන විත් ඇති සැටිය සොයා බලන කොටය. කන්දෙන් පටන් ගෙන තැන්නට ඇවිත් තම්මැන්නාවේ පළමු රාජධානිය තැනූ සිංහළ ශිෂ්ඨාචාරය අවසානයේ තැන්නේ තැනින් තැනට ගොස් කන්දේ මහනුවරට ඇවිත් නතර වූ සැටිය අරුම දනවන මවිත කථාවේ පූර්ව අපර ගැලිපිමේ අමුතු තැනය. සැබෑ විදියට අන්තිම රැකවරණය ඇත්තේ මැද කදු රටේ බව සිංහළ මිනිසාට වැටහුනේ කෙසේද?. එ තම මුල්ම ජාන බලපෑම නිසා වූ ආපසු ගමනයක්ද?. මේ ගැන සිතා බලන්න වේලාවක් නැත්තේ රාමුව මැදට ඉතිහාසයත් දමාගෙන සංකල්ප වලින් අතීතය ගැන උත්තර සොයන නිසාය. ලක් ඉතිහාස විත්ති කථාව මෙවන් අපුර්වත්වයෙන් ගලා විත් ඇත. සැබවින්ම තම්මැන්නා තැන්නේ පටන් අරන් මහනුවර කන්දෙන් අවසන් වන රාජකීය ලක් වැසියන්ගේ දේශපාලන ඉතිහාසය පුදුම දනවන්නේ ජන සම්මත ලක්වැසියාගේ යුගය සදහා කන්ද මහනුවරින් තැන්නේ කොළඹට ආ සැටියෙන්ය. රාජකීය රාජ්‍යත්වය පටන් ගන්නේ වෙරළ තැන්නේ මුහුද අයිනේ තම්මැන්නාවේය. පුදුමය කියන්නේ රාජකීය රාජ්‍යත්ව කන්දේ මහනුවරින් නිමා කර ජන සම්මත රාජ්‍යත්වය පටන් ගන්නේද වෙරළ තැන්නේ මුහුදු අයිනේ් කොළඹින්ය.

                            සැගවි සිටින යුගයේ කන්දත් එළිපිට සිටින කාලයට තැන්නත් සොයා ගත් ලක් මිනිසාගේ මේ හැසිරීම භූගෝලීය හැසිරීමක්ද?. එසේ නැත්නම් ජීව ජාන හැසිරීමද?. මේ සෙවිය යුතු එත් සොයන්නේම නැති අපේ කමේ ඇත්ත කථාවය. අපේ කම කියන්නේ දෙමළාටත් මුස්ලිමානුවාටත් උඩින් සිටින්නටත් බටහිරට පහර දීමත් යැයි සිතන පටු ජාති පේ‍්‍රමයක හිර ගත සිරගේ බිද ගත නොහැකිව ඇති තැන මේ ඇත්තට ගැඹුරක් සොයන පරියේෂණ අපට නැත. ශාස්තී‍්‍රය ව්‍යාපර බුද්ධිමය චරිත නැත. හිස් වාග්ලංකාර හා පරපුටු පංචස්කන්ද වලට හැම දේම වැසි ඇත.  පටු ජාති පේ‍්‍රමය අතහැර ඇති අයට ඇත්තේ ජාති මාමකත්වයක් නොව බටහිර ලෝලයකි. එ ලෝලයෙන් ඉතිහාසය බලන මේ අයට බටහිරට පෙනෙන තර්ක දත්ත හා දර්ශන නැතිව මොකුත් කළ නොහැකිව ඇත්තේය. ඉතින් ”ලක් මිනිසා” හරියටම අසු නොවේ. එ නිසා හරියටම සොයා ගත නොහැකි ජාන ජාතියක් ජාතික වශයෙන් එකතු කොට ලෝක ශිෂ්ඨාචාරයහි මුදුනට රැගෙන යන්නට බැරිව සිටින්නේය.
                             
මේ හන්දා තැන්නේන් කන්දට ගිය කි‍්‍ර.පූ. 547 සිට කි‍්‍ර.ව. 1815 දක්වා ලිඛිත ඉතිහාසය හරියට වටහාගත නොහැකිව ඇත. ලියා තැබූ තතු කථාව තේරුම් ගන්නව බැරි නම් එ කියන්නේ තැන්නේන් කන්දට ආ කථාව වටහා ගන්නට බැරිනම් ලියා තබා නැති කන්දෙන් තැන්නට ආ ප‍්‍රාග් කථාව කෙසේ වටහා ගන්නටද?. මේ නිසා කදුයායෙන් තැනිතලාවටත් යලි තැනිතලාවෙන් කදු යායටත් ගමන් කර ඇති සිරිලක මිනිස් කථාව හරියටම වටහා ගත හැකි පරියේෂණ ඇරඹිය යුතුය. එය ජීවිතය ජාතියට කැප කොට සෙවිය යුතු පුරාවිද්‍යාවට බැදුනු ඓතිහාසික පරියේෂණයකි. නිමිති පහල වූ තැන ලියා තැබිය යුතුය. යුගය පැමිණි විටක හෝ චරිතය පැමිණි විට ඉටු කළ යුතු හරිම දේ ඉටු කිරීමට මොහත එළඹෙනු ඇත. එහෙම මොහත කන්දෙන් තැන්නටත් තැන්නේන් කන්දටත් අතර දෝලනය වූ සංසරණය වූ ලක්වැසි මිනිසාගේ ජීවමානය හරියට සෙවීම ප‍්‍රතිපත්තිය කර ගන්නා වෙලාව එනු ඇත. වෙලාව එන විට කවරෙකු කොහේ හෝ සිට මොහතට එනු ඇත. ලක් පොළොවේ වැඩ කෙරෙන තාලය එකය. කන්දෙන් නැගිටින ශිෂ්ඨාචාරයත් ඔනෑ වූ තැන රාවණා ලත්, විභීෂණලාත්, සුමන සමන්ලාත්, මහසෙන්ලාත් මතු වූයේය. එ කන්දේ විජීත යුගය අවසන් වී තැන්නේ යුගය පැමිණ ඇතිවිට විජය කුමරු සිංහ ලකුණින් ඇවිත් තැන්නේ යුගය ඇරඹිය. සතුරන් ඇවිත් තැන්න වට කරන විට යළි කන්දට නගින්ට විමලධර්මසූරිය ආවේය. යළිත් තැන්නට ගොස් නිදහස් යුගයට මොහොත ආවිට සේනානායකයන් ආවේය. මේ විදියටම ඉතිහාස කරුවන්ද බිහි වන්නේය. අනුරපුරට අභියෝගය එනතුරු කවුරුත් ඉතිහාස පොත ලියන්නට නොසිතුවේය. එත් මොහත ආවිට මහානාම හිමි වෙලාවට වැඩියේය. ඉතින් තැන්නෙන් - කන්දටත් , කන්දෙන් - තැන්නටත් කථාව හරියට මැද අග මුල තේරෙන මිනිසා ඇවිත් මොහත උදා කර දිය හැකිය. මේ නිමිත්ත එ නිමිති මොහතට නිමිත්තක් පමණි.

සුජිත් අක්කරවත්ත

Thursday, May 14, 2015

තුන්තරාගමනය


                                            
          

      ලක්දිවට ආලෝකය ගෙන එන සිදුවීම් තුන වන්නේ ”තුන්තරාගමනයයි”. ”තුන්තරාගමනය” නමින් මහාවංශය මෙසේ නම් කොට ඇත්තේ ගෞතම මුනිදු ගේ සිරිලක වැඩම වීමය. තුන් වරක් උන්වහන්සේ සිරිලකට වැඩම වන්නේ සිරිලක තුන් සිංහලයටය. එ කියන්නේ පිහිටි රටට මයා රටට සහ රුහුණු රටටය. මේසේ සිරිලක තුන් බෙදීම ”තුන්තරාගමන”යෙන් සමනය වන්නේය. තුන්ගමනින් ස්ථාන දහසයකට වැඩම කරන තථාගතයාණන් වහන්සේ එ ඔස්සේ ලක්දිව නාගරික සිතියම ද සකසන මාවත තනන්නේය. ”තුන්තරාගමනය” විසින් රාක්‍ෂ, නාග, යක්‍ෂ, දේව, සිංහ ආදී වංශයන් සදහා එක්සත් ජාතික රාජ්‍ය මතවාදයක් හිමි වන්නේය. එමෙන්ම බුදු හිමි වැඩම කල ස්ථාන දහසය මැදි කරගෙන මෙරට නගර ජනපද සහ මං මාවත් වෙළද නගර සහ සංස්කෘතිකාංග බිහි වූවේය. එ අනුව අදත් ලක්දිව නගරයක්  ඇත්නම් පළාතක් ඇත්නම් එ සියඵ ප‍්‍රදේශ බුදුන් වහන්සේ වැඩම කල භූමිය මූල පදනම කොටගෙන පවති. අම්පාර දිඝවාපිය නිසාද ගම්පහ, කොළඹ, කැලණිය නිසා පවතින සැටියටම කිරිවෙහෙර නිසා හම්බන්තොට, මාතර ද ශී‍්‍ර පාදය නිසා රත්නපුර, නුවරඑළිය, කෑගල්ල ද එසේ පවතින්නේය. ලක්දිව සියඵ නගර එකට බැදෙන මාර්ග පද්ධති ද ගෙති බැදී විහිදි යන්නේ ද මේ සොළොස්මස්ථාන මැදින්ය. තවත් අපූරුව වන්නේ ලක්දිව සියඵ ජාතික උත්සවය ලෙස පවතින ප‍්‍රදේශීය සංස්කෘතිකාංග සියල්ල මෙම සොළොස්මස්ථාන මැදින් බිහි වි ඇත්තේය. එමෙන්ම ලංකාවේ රාජ්‍යත්වයද ව්‍යවස්ථාදායකයේ සිට රාජ්‍ය නායකත්වය සදහාද බලපෑ ඇති අති මහත් බලගතු භූමීන්ය.   

                          මේ නිසා ”තුන්තරාගමනය” තුන් සිංහලයට සිදුවන්නේ තුනට බෙදී තිබූ ති‍්‍ර සිංහළය එකට බැද තබමිණි. එවිට ගෞතම තථාගතයාණන් වහන්සේ මෙසේ සිදු කර සිටින හේතුව කුමක්ද? සිරිලක පදනම් බෞද්ධ රාජ්‍ය වන නිසාද. මෙය හීන සිතුවිල්ලක් නොවන බව වැටහෙන්නේ මිහිදු ආගමනය නිසාය. ධර්මාශෝක අධිරාජ්‍යයා තම ධර්ම ප‍්‍රචාරක ලෝක ව්‍යාපෘතිය සදහා සිරිලක තෝරා ගන්නේ සුවිශේෂත්වයේ තබමිණි. එ තම පුත‍්‍රයාද දියණියද සිරිලකට දායාද කරවමිණි. ධර්මාශෝකයන් මෙවන් බලගතු තීරණයක පිවිසෙන්නට හේතුව මොග්ගලිපුත්තතිස්ස මහරහතුන් විසින් බුද්ධ පාරිභෝගික ශුද්ධ භූමියක් සේ සිරිලකට ලබා දී තිබු සුවිශේෂත්ව විය හැකිය. එසේ නම් ලෝක දේශපාලනයහි තීරක දුපතක් වීමට සිරිලකට වරම ලැබන්නේ මෙතැන් සිටය. මේ විශේෂ බුදු කරුණාව සිරිලකට ලැබෙන්නේ අප රටේ භූ සුවිශේෂතාවය නිසාද?. නොවේ නම් ජනතාවගේ විශේෂත්වය නිසාද?. එහෙම නොවේ නම් භූ ජාන සත්ව තුරුලතා ආදි සොබාදහමේ සුවිශේෂ බව නිසාද?. මේ සිතිය යුතු තැන්ය. මනෝරාජික සිහිනයක් ලෙස බැහැර තබා ඇති මේ සියුම් දෑ පසක් කර ගන්නට පෝසත් මනසක් මේ රටේ ඉතිහාසඥයන්ට පහල වන්නේ නම් පරියේෂණ තව දුරටත් රසය දැනෙන මවිත තතු වලින් උතුරා ගලා යනු ඇත.

                   අධ්‍යාත්මික බලය ගැන බැදි දිවි ගෙවන පිරිස් වල වන්දනාවට පත් වන මේ භූමි රටක ජාතික බල ගැන්මට බලපෑ සැටි විමසිය යුතු තැන්ය. වන්දනාවම නිසා පවතින දෑ වන්දනාව නතර වූ තැන නතරව යා යුතුය. නැත ලක්දිව සොළොස්මස්ථාන එසේ වන්නේද නැත. වන්දනාවට නොව බලන්නට මෙහි පිවිසී බි‍්‍රතාන්‍යයන් අතින් මේ භූමි පුරාවිද්‍යාත්මක ලෝක උරුම ලෙස සුරක්‍ෂිත වන්නේ ඒකය. එවිට දැනෙන දේ ජාතික සංසකෘතියට හා ලෝක කලාවට පාඩමක් එක් කළ ස්ථාන බවට මේ ස්ථාන පත්ව ඇති සැටියය. මේ නිසා මෙවන් බලවත් සම්ප‍්‍රදායික රිද්මයක් සදහා පිවිසුම වූ ”තුන්තරාගමනය” කියවා තේරුම් ගත යුතුය. ඉතිහාසය ගැඹුරට සොයන බොහෝ විද්වතුන් පවා  ගැඹුරට නොබැලූ වූ මහාවංශ පරිච්ෙඡ්දය ”තුන්තරාගමනය” යැයි සිතේ. මන්ද එය භක්තිය දනවන ආගමික කථාවක් ලෙස ගැනීමය. සැබවින් එය ආගමික කථාවක් නොව භූගෝලය, දේශපාලනය, කලාව, ඉතිහාසය, ජෝතිර්වේදය, වෙදකම, අධ්‍යාත්මිකවාදය, දර්ශණය හා මානව විද්‍යාව එකට බැද තැබූ කදිම පද ගෙත්තමකි. 

                    
  ”තුන්තරාගමනය” ලක්වාසි යකුන්, නාගයන් හා රාස්සයන් ද දේවයන් ද සමග ලෝකය හා නිවන මැද සිදු වූ බුද්ධ භාෂිත සංවාදයන් වල සරාර්ථයය. මේ සරාර්ථය ගැන කතාබහක් මතු නොවන්නේ කිමදැයි විමසිය යුතුය... මේ බුද්ධ භාෂිත සංවාදයහි ප‍්‍රතිඵල කෙතරම් ගැඹුරට කිද, බැස ඇතැයි සනාථ වී ඇත. එ සරඹු මහ රහතන් වහන්සේ නිසාය. මහියංගන වැසියෙකු වූ සරඹු, මහරහත් බව ලද ප‍්‍රථම සිරිලක් වැසියාය. සිරිලක ජාතික රාජ්‍යහි සම්ප‍්‍රදාය බිහි වන්නටත් පෙර නිවන වටහාගත් ප‍්‍රථමයා වන්නේ කෙසේ ද යන්න සැක බලා ගැනීමට හැකිය. එ ”තුන්තරාගමනය” විමසීමෙන්ය.

                       මෙතරම් දියුණු හා ගැඹුරු සංවාද දිග හැරුනු සමයක් විද්වතුන්ගේ කථා බහින් පවා ඈතක් ඇත්තේ මන්ද? මේ මන්ද විමතියම බුදු හිමි සිරිලකට බැදුනු බැදීම සොයන මාවත අහුරා ඇත. ලොවේ බලගතු අධිරාජ්‍ය අතර අශෝක මෞර්ය අධිරාජ්‍යද ඉංගී‍්‍රසි අධිරාජ්‍ය ද කැපී පෙනේ. සිංහළ භූමිය මේ අධිරාජ්‍ය දෙකම විශේෂත්වයක් ගෙන කල්පනා කර ඇත්තේ එකය. මේ නිසා ”තුන්තරාගමනය” ඔස්සේ අටමස්ථාන සොළොස්මස්ථාන දක්වා විහිදෙන භූ විද්‍යා කථාන්දරයක් ඇත. මේ භූ විද්‍ය කථාව අධ්‍යාත්මික ජාතික ප‍්‍රබෝදයක කථාවකි. එ පමණක් නොව ලොව වැඩිම කාලයක් නොනැසි ඇති එකම නගර සම්ප‍්‍රදායය. ලොවේ නගරවල නම් කාලය අනුව වෙනස්ව ගියේය. එත් පුදුමය ලොවේ නගර දහසයක් ඇත. එ දහසය නම යෙදුන දා පටන් හැදින්වෙන්නේ එ නමින්මය. එහෙම නගර දහසයක් පවත්වා ගෙන ඇත්තේ සිරිලක සිංහළන් පමණය. ”තුන්තරාගමනය” සොළොස්මස්ථාන දක්වා නගර දහසයක් තනා ඇත්තේ ලෝක මට්ටමට යා හැකි බව කීමටය. එත් සිරිලක ඇත්තේ එ සිංහළයන් දැයි හිතා ගැනීමටත් බැරිව සිංහළකම තප්පු ලන්නා වාගේ වංසේ කබල් ගෑමක් වී ඇත්තේය. එම වර්ග හීනමානය නොව වර්ග මායිම මුදා හැර තැබු මුනිදු දුටු ජාතික පුඵල් භාවය ”තුන්තරාගමනය” කියා දී ඇත්තේය. ඒ මානවිය දැක්මය. මානව වංශ කථාවේ දිගු නමක් සිංහළයන්ට ඇත්තේ එතැනටය. මුනිදු කියා දුන් ජාතික පුඵල් භාවය සොයන්නට ”තුන්තරාගමනය” පාදක කියවීමක් කර ගත යුත්තේ එකය.

සුජිත් අක්කරවත්ත

Monday, May 11, 2015

මියු ගුණය - මහියංගනය

                    
                 


               ”මිහි ගණයා” දිවි සිරිත ඇරඹි තැන ”මිහි ගණය” විය. එ මිහිගණය ”මියුගුණය” වන්නේ කි‍්‍ර.පු. 627 දීය. එ මුනිදු බුදු ගුණ ගෙන වැඩම කළ තැන නිසාය. බිම් තැන්න නමින් යකුන් නාම ගත කර ඇත්තේද එතැනටය. පාලි සංස්කෘත මූලයෙන් බිද ගත් විටද හෙළ බස් ඉසුරු කුමරතුගු මුනිදසුන්යගේ හෙළ භාෂා මූලයේන් බිද ගත් විටද අරුත එකය. එ කියන්නේ මිනිසා ජීවිතය සංස්කෘත ගත කළ තැනට දෙන තනි වදන මියු ගුණය, මිහි ගුණය මහියංගනය බින්තැන්යය. එසේ නම් එ බිම් තැන්න, එ මිහි ගුණය නැත්නම් මිහි ගණය, මහියංගනය ලෝක කේන්ද්‍රය වන බව දැන ගත්තේ ගෞතම මුනිදුය. මුනිදු මුලින්ම මෙහි වැඩම වන්නේ සිංහලයන් ජීවිතය පටන් ගත් බිම් තැන්නටය. මියුගුණටය. මිහි ගණයටය. මහියංගනය. 


                  මහියංගන මහසෑය නංවන පළමු සිහිනය දුටුවේ සමන් නිරිදු දෙව් රජුය. ඉන්‍ද්‍රනීලක්‍ෂෙ ධාතු, මුනිදු ගෞතමයන් වැඩම කළ නීල පද්ම අසුන මත තබා මියුගුණ දෑගබ බැදෙන්නේය. එ ලක් දිව ප‍්‍රථම මහ රහතුන් වහන්සේ වූ සරඹු මහරහතන් වහන්සේගේ භූ සූත‍්‍ර කලා වියමන අනුවය. එ අනුව තුන්ලෝකාග‍්‍ර බුදු මුනිදු තෙමේ සමනල ගිරියේ දී තම ශීර්ෂ මස්තකයෙන් නෙලා ත්‍යාග කළ ඉන්‍ද්‍රනීලක්‍ෂෙ ධාතුන් වහන්සේලා වැඩවසන්නේ මියුගුණ මහසෑයේය. ධර්මාශෝක අධිරාජ්‍යයා  ධර්මචක‍්‍රවර්තීසේ ලෝක අධිරාජ්‍යයා වන්නේ බුදු මුනිදු ලෝක චරිතය වෙමිනි. එ බුදු සිරිතට බැදුනු බිම්තැන්න ලොව මුදුනට එන බව දැනගත් පළමු සිංහල නර පතිදු වන්නේ රාවණාය. රාවණා මේ රහස සමනල සිරසේ දී ගෞතම මුනිදු වෙතින් දැන ගත් බව ”ලංකාවතර සූත‍්‍රය” නිරවුල්ව ලියා ඇත. එත් ගැටුම ථෙරවාදින් ”ලංකාවතර සූත‍්‍රය” තම ති‍්‍රපිටකයෙන් පිටත තබා ඇති තැනය. කොහම උනත් ”ලංකාවතර සූත‍්‍රය” එහි ඇති මියුගුණ බැදුනු රාවණ බැදිම සිංහල ජන සිරිත හා බැදී ප‍්‍රාග් මිනිස් තතු දත්ත මත ජිවමාන ඇත්තකි. බිම්තැන්නට බැදුනු බිමට ඌව පලාත කියාද කියයි. අනුර නුවරට බලය සොයා ගෙන ගිය පණ්ඩුකාභය මියුගුණය හෙවත් මහියංගනය හරියටම දකින දෙවන රජුය. ඔහුට එක්සත් ජාතිකවාදය නමින් මහා සම්මුතික රාජවාදය නිර්මාණ කිරීමට පාද භූමිය වන්නේ මියු ගුණයය. මෙතැන් පටන් මහවැලි නදිය උතුරට හැරී නැගෙනහිර බලා යන මර්මස්ථානය පිහිටි මියුගුණය, බින්තැන්න ලක් රාජ කතාවතේ හරි මැද වි ඇත. එ හරි මැදට මහියංගනය පත් වුයේ කොහමද? මුල්ම ලක් මානවයා බැද්ද වනාන්තරය අතහැර බින්තැන්නට බින්න බැස්සේ මන්ද? මේ ගැන ගැඹුරට ඇති කතාව ඇත්තේ මහවංශයෙහි ”තුන්තරා සුත‍්‍රය” නම් පරිච්ෙඡ්දය හරි මැදය. මේ කිසිවක් කියවා තේරුම් ගෙන ලක් රාජ කතාව සොයන බහු ඇසකින් පිරුනු ඉතිහාසයවේදීන්  නැති තැන සියල්ල කට කයිවාරුකාරයන් වී ඇත. අතීත දැනුමේ ඡායා මාත‍්‍රය මිසක ගැඹුරු පතුල හා බැදුනු ගලායෑම සොයන තැන් විරලය. 

                   එහෙව් විරල ඉතිහාස සමාජයතකට 2559 වන වෙසක් වසර නිමවා 2560 වන වෙසක් වසර සමරන්න සිදු වී තිබේ. ඉතිහාසය හරි මැදින් ගත් විට පුදුමය යලි ජිවමානව දැකිය හැක. මියු ගුණය සොයා ගත් තුන්වන සිංහල රාජකිකයා හමුවන්නේ එතැනදිය. රාවණාත් පණ්ඩුකාභයත් සෙව් තැනින් නොව වෙනත් තැනකින් මියු ගුණය දුටු තුන්වැන්නා දුටුගැමුණුය. ඔහු මහියංගන තොටමුනෙන් සොළියා පන්නා දැම්මේ පර ගැතියන්ට එරෙහි වීමේ ඓතිහාසික සම්ප‍්‍රදාය තනමිනි. මහියංගනයෙහි සිවුවැනුව හැරුවුම කරන්නේ මහියංගනයෙම උපන් මහසෙන්ය. ලක් වාපි කලාව නැවුම් මාවතකට හැරවු ශිල්පීය රජාණන් වන්නේ මහසෙන්ය. එපමණක් නොව මහසෑය පරයන මහසෑයක් බැද ජේතවනාරාමය මතින් බින්තැන්නේ රාවණා නාදය අනුරනුවරින් මතුමහලට නංවන්නේය. එසේ නංවා ථෙරවාදින්ගේ ති‍්‍රපිටකයෙන් බැහැර තැබු ”ලංකාවතර සූත‍්‍රය” ලක් රජයේ නිල පිළිගැනීමට බදුන් කරන ප‍්‍රථමයා වන්නේ ඔහුය. මේ විදියට දිගට ඇදෙන කථාවක් මියු ගුණයට ඇත. මේ කථාව කස්සප සීගිරි පබ්බතය උඩටටම රැුගෙන ගියේ ලංකාවතර සූත‍්‍රය ලංක්දිව රාජ  සූත‍්‍රය කර ඉසුරුවාදී රාජ වාදයට මග හැර තබමිනි. ලක් රජෙකු ථෙරවාදය මහයානය අතර පිලකට නොගොස් බෞද්ධ දැක්මින් රාජ විලාසය තැනුවේ මෙලෙසිනි. එ ගමන ඇරඹෙන්නේ මහියංගන සොරබොර වැව් තාවුල්ලේ හරි ගැසුනු කතාබහකින්ය. සීගිරි සිරසින් පසු ලක් රාජ්‍ය හරි මැදින් මතු වන පළමු පරාක‍්‍රම බාහු ලක් පොළවේ බිහි වූ විශාලතම වාණිජ නුවර බැන්දේ මියු ගුණ සෑයේ  සෙවනේය. එ වණික් නුවර හෙවත් වාණිජ නුවරය. එතැනින් නව යුගයකට පාර කැපුනු අතර පුදුමය රාජ සම්මත කථාව ජන සම්මත යුග කථාවට බැදී ඇත්ත වු සැටිය. 

                       බටහිර ජාතීන්ගෙන් මිදෙන සටන හැබෑ කළ ඞී.එස්. සේනානායකයන්ට ජාතික ධනවාදයේ පළමු සිහිනය පෙනුනේ මහියංගනයේදීය. ඒ සිහිනයෙන් ඔහු ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුගයකට හැර තැබුවේය. මේ නිසා ලක් ඉතිහාසයහි සියලු රජුන් ප‍්‍රභූන් බලකාමීන් මියුගුණ මහාසෑය බැ`දි මහියංගනය වැද සටන පටන් ගන්නේ මේකය. මේ ගැන ජාතික වංශ කථාවට බැදී අතුරු වංශ කථාව ලියා ඇත්තේ වැද්දන්ය. වැද්දාගේ අවසන් රජ්ජුරුවන් තවමත් බින්තැන්නේ ජිවත් වන්නේ ඒකය. මනුෂත්වයේ උත්තර රජු බුදු රජ බින්තැන්නට වැඩියේ ඒකය. ජන රජු වෙන්නට පතන හැමෝම මියු ගුණ මහසෑය වැද භාරහාර වන්නේ ඒකය. බිම්බරක් සෙන`ග ගැවසුනු භූමිය ගැන සැලව ස්වකීය කරුණා සමාපත්තිය අග ගෞතම මුනිදු මිහි ගණය මියුගුණක් කර වැඩියේ සිංහලයන්ට ලෝක භූමියක් ඇති කරමිනි. මේ ලෝක භූමිය අසමසම පිහිටීමකින් හෙබි භූමියකි.  ඕනෑම රටක් ලොවේ ඇත්නම්... එ රටේ ස්වභාවිකම සැදුනු එ රටේ ප‍්‍රධන ගංගාව.. එ රටේ පිහිටි ස්වභාවිකම වරායට යා හැකි තැනක් වේ නම් එහෙම තැනක් ඇත්තේ සිරිලකය. එ සිරිලක තම පළමු සිරි පතුල බුදු මුනිදු තැබු මියුගුණයය. මහියංගනයය.

සුජිත් අක්කරවත්ත

Tuesday, April 7, 2015

බෞද්ධ කෙටි චිත්‍රපට උළෙල


බුද්ධ සාසන අමාත්‍යංශය සහ ජාතික විද්වත් මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව පවත්වනු ලබන තරගය සදහා ඔබේ නිර්මාණද DVD පට පහත ලිපිනයට ගෙවිත් හෝ තැපැල් මගින් එවන්න.


Monday, April 6, 2015

අමුතු මිනිසා


                


කිනෙකට වෙනස් තුරුලතා එකම භූමියක ඇති නිසා ලංකාව අමුතු රටකි. වෙන වෙනස් සත්තු එකම බිමේ එකට ජීවත් වන නිසාත් අමුතු රටකි. මේ අමුත්ත තවත් අමුත්තක් වන්නේ එක දිගට එකට ලියාගෙන එන ජාතික වංශ කතාවක් ඇති රටත් ලංකාව නිසාය. ඒ වගේම ලොවේ අමුතු ජාතින් තුනක් හමුවේ. ඒ ජපන්නු ඉංගී‍්‍රසින් හා සිංහලූන්ය. මේ තුන් ගොල්ලාම අමුතු වන්නේ තුන් ගොල්ලාටම දිගු රාජ පරපුරක් ඇති පුරාණම ජාතින් වී ඇති නිසාය. අනෙක් අමුත්ත රටවල් තුනම දුපත් තුනක් වීමය. සිංහලයන්ට ජපන්නු සමග ඇත්තේ හෘද මිත‍්‍ර හද බන්ධනයකි. අහසින් බෝම්බ දැමුවත් ජපනා හපනා ලෙස හද මිතුරෙකු බවට සිංහල පපුවට ඇත්තේ මතකයකි. මේ හද මිතුරු බැදීම ලෝකය හමුවේ ජාති දෙජාතියේ ආල කථාවක් වන්නේ ජයවර්ධන ජනපති නිසාය. කොහොම හරි දිගුම දිගු රාජ වංශ තුනක් රැකගෙන ආපු මේ තුන් ජාතිය මැද සිටින සිංහලයන්ව යටත් කළද ඉංගී‍්‍රසීන් සිංහලයන් කෙරෙහි විශේෂ සෙනහසකින් කි‍්‍රයා කළ ජාතියකි. යටත් විජිත රටවල් අරභයා ඉංගී‍්‍රසීන් දැක්වූ ආකල්පය ලංකාවේ දි වෙනස් විදියට මිතුරු හැඩයක් ගෙන ඇත්තේය. ඇත්තටම භාරතය පහකට කඩා නිදහස දුන් බි‍්‍රතාන්‍යය සිරිලක් දිව ගත් විදියට නොබිදා යලි ලබා දුන්නේ ඒ නිසාය. මේවා සිතිය යුතු විමසිය යුතු ඉතිහාසයේ රස පරි පරියේෂණය. එත් පරිය පරියේෂණ විහිදෙන්නේ දන්න දේම හොයා යන්නටය. මේ නොදකින පැති දකින ඇසක් ඇත්තෝ විරලය. ඒ ස්භාවික විද්වතුන් හිග වීමය. ශාස්ත‍්‍රාලීය විද්වතුන්ගේ හිගයක් නැත. එත් ස්වභාවිත විද්වතුන් හිගය. එ හිගය නිසා ශාස්ත‍්‍රාලීය විද්වතුන්ගේ හිසද අලූත් නොවේ. කොහමින් හරි ජපන්නුන් හා ඉංගී‍්‍රසීන්ට තවමත් රාජකීය පවුලක් තිබේ. එත් සිංහලයන්ට නැත. සිංහලයා අන්තිම රාජා ගස්බැද භාර දී රාජකීය බි‍්‍රතාන්‍යයන් ලව්වා රාජකීය වංශය නිමා කරගෙන ජනසම්මත යුගයට පා තැබුවේය. එතැන් සිට ජනසම්මත පාලකයා තුලින් රාජවංශ වගේ ජනසම්මත වංශ තනා ගන්නේය. සේනානායකලා, බණ්ඩාරනායකලා, කොතලාවලා, ජයවර්ධනලා, වික‍්‍රමසිංහලා කියන්නේ මේ රාජවංශ උරුමයෙහි ජනසම්මත වංශ කථාවය. ඒ අතින් සිරිලක තවත් අමුතු වන්නේ එක වගේ දුපත් ජාතීන් තුනක් මැදත් වෙනස් වෙමිනි. බි‍්‍රතාන්‍යයත් ජපානයත් රජ පවුල සමග ජනසම්මතයට පා තබන විට සිරිලක්වාසීන් රජ පවුල අතහැර ජනසම්මතට පා තබා අමුතු මගක ගොස් ඇත.  ජනසම්මතය මැද රජ පවුලක් වන්නට සිතු රාජපක්‍ෂ පවුලහි පරාජය පෙන්නා දුන්නේ සිංහලයන් 1815 රජ පවුල අතහැර දැමුවේ හේතුවක් ඇතිව බවයි. හරියටම 1815 සිට ඉන් දෙසිවසරක් ගිය තැනම එය සිදුවීමත් පුදුම අමුත්තකි.
       සිරිලකටම පොදු මේ අමුත්ත මොකද්ද. මේ සොබා දහමට වැදි බැලූවිට පෙනෙන ඇත්තකි. අමුත්ත පටන් ගෙන ඇත්තේ ඈත අතීතයේය. මිනිසා කවදා උපත ලැබුවාද යන්න විවාදයකි. මේ ගැන පොදු අදහසක් මිස පිළිගත් කථාවක් නැත. පොදු අදහස සනාථ වන්නේ ලොවේ නන් දෙසින් ලද ප‍්‍රාග් යුගයේ මිනිස් ජනාවාස ඇටකටු මෙවලම් නිසාය. ඒත් ඈත මිනිසා හෙවත් මුල්ම මානවයාගේ කථාවෙන්ද සිරිලක අමුතුවි ඇත. එ නිසා අමුතු මිනිසා හමු වි ඇත්තේද ලක්දිව තුළය. ලොව පුරා හමු වී ඇති ප‍්‍රාග් මිනිසා ජිවත් වී ඇත්තේ තැනිතලාවේය. බොහෝවිට ඒ එ රටවල වියළි කලාපයේය. එයට හේතුව ආහාර සුලභ වීම විය හැකිය. දඩයම පිණිස විශාල සතුන් හමුවන්නේ තැනිතලාවේදි හෝ වියළි වනාන්තර තුළය. ඒ නිසා අතිත මිනිසා තැනිතලා තැන්නේ වියළි වනාන්තර වල දිවි ගෙවීමට රුචි වී ඇත්තේය. එත් අමුතුම අමුතු තැන බවට ලක්දිව අතීත මිනිසා පත්ව ඇත්තේ ලොව පුරා මානව විද්‍යඥයන් පුරාවිද්‍යඥයන් වගේම ඉතිහාසඥයන් මවිත කරමින්ය. ඒ ලක්දිවින් හමුවී ඇති ප‍්‍රාග් මිනිසා තෙත් වනාන්තරවල දිව් ගෙවා ඇති නිසාය. බටදොඹ ලෙනේදි පාහියන් ලෙනේදි කූරගලදි හමුවන්නේත් බලංගොඩ මානවයා කියා දෙන්නේත් මේ අමුතු මිනිසා ගැන කථාවය. ලොව පුරා අතීත මානවයා එක විදියකටත් එම සමයේ ලක්දිව අතීත මානවයා වෙන විදියකටත් කටයුතු කිරීම පුදුමයක් මෙන්ම අමුත්තක් දක්වන කථාවකි. දැන් ලොව පුරා අතීත පරියේෂණ වල කතා නිමිත්ත වී ඇත්තේ මේ කථාවය.
         මේ කථාවට ඈදෙන ඊළග අමුත්ත මේ අතීත මානවයා පරිනාමය වි ගොවි යුගයට ආ විට ගත කළ ජිවිතයය. ලොව පුරා සියළු ශිෂ්ඨාචාර ඇරඹි ඇත්තේ ගංගා නදි ආසන්නවය. එත් ලක්දිව ශිෂ්ඨාචාරය ගංගා අසබඩින් දුරක වැවක් මත පදනම් වී ඇත්තේය. මේ විදිහට ආරම්භක ප‍්‍රාග් යුගයේ සිටම ලක්දිව මානවයා අමුතු මිනිසෙකි. මේ අමුතු මිනිසාගේ අමුත්ත වටහා ගත හැකි මිම්මක් හෝ නිර්නායකයක් අප සතුව නැත. වෙනත් අතීත මිනිසා මැන බැලූ පොදු මිම්මෙන් හෝ නිර්නායක වලින් ලක්දිව ”අමුතු මිනිසා” තේරුම් ගත නොහැක. එසේ පොදු මිම්මෙන් තේරුම් ගැනීමට දැරු වැරදි තැත නිසාම මේ තරම් අමුතු ශිෂ්ඨාචාරයකට ලොව ඉදිරියහි ”අමුතු අතීතයා” ලෙස මතු වි නැගි සිටින්නට බැරිව ඇත. ”අමුතු අතීතයා” අමුතු නූතනයෙකු නොවී ඇත්තේ ද ඒකය.
           කොහමින් හරි ලොවක නෙත ලකට හැරි ඇත. ඒ ”අතිත අමුත්තා” නිසාය. සමකාලීන හැම මිනිස් ප‍්‍රජාවකටම වඩා වෙනස් ප‍්‍රජාවක් සේ සිරිලක මිනිසා තම ජිවිත සිරිත තෙත් කලාපයට සීමා කළේ මන්ද. කුඩා සත්තු පමණක් දිවි ගෙව් වැසිවනාන්තරයට වි දිවි ගෙවමින් ශිෂ්ඨාචාරය සොයා ගියේ කිමද. ලක්දිව අතීත මිනිසා මෙසේ අමුතු වීමම ලංකාවේ මානව හැසිරවීම කෙරෙහි බලපා ඇත්තේද. සැබවින්ම ලංකාවේ තැන්න හැම කල්හි ජනාවස වී ඇත්තේ පෙර අපර දිගින් මෙහි පැමිණි ආගන්තුක අතීත මානවයන් නිසාය. එය එදා වගේම මෑතද එක වගේ සිදුවන දෙයකි. එසේ නම් ගම් වැසියා වන වැසියා ලෙස අමුතු මිනිසා ගෙවු දිවිය මෙරට පදනම වි ඇත්තේද. මේ සියල්ල මේ වන විට ලෝක මට්ටමේ දාර්ශනික ප‍්‍රශ්ණයක් වී ඇත. ඒ ලෝකයේ සියළු අතීත මානවයන්ගෙන් ලක්දිව මිනිසා ”අමුතු මිනිසා” වූයේ කොහොමද කියාය. මේ පැනයට උත්තර සොයන විට ලක්දිව නූතනයන්ට ගැඹුරු උත්තරයක් නිරායාසයෙන් ලැබේ. ඒ ලක්වැසියන් වෙනස් බවත් ජානමය වශයෙන් අමුතු බවත්ය. 

සුජිත් අක්කරවත්ත

Thursday, February 19, 2015

බුද්ධ මිත‍්‍ර කුමාරයා


      කි‍්‍ර:ව 1868 අවුරුද්දය. ඒ අවුරුද්දේ දුරුතු මහේ දවසකි. කෑගල්ල දිස්ති‍්‍රක්කය වෙන් වන්නේ එදාය. එදාම කෑගල්ලට අලූත් දිස්ති‍්‍රක් විනිශ්චයකාර පදවියක්ද ඇති වූයේය. ඒ අලූත් පදවිය හිමි වන්නේ ‘‘හැරී චාල්ස් පර්විස් බෙල්’’ මහතාටය. ඔහු තෙමේ පදවිය ගත් දාම වට්ටාරම පන්සලට ගොඩ වැදී එහි  ‘‘නදුන් මණ්ඩපය’’ දැක බලා ගත්තේය. ලක් කතාවත අලූත් ගමනක් අරඔන සුභ දැක්ම වන්නේ එදාය. වට්ටාරම රාජ මහා විහාරයේ නදුන් මණ්ඩපය හි තැන්පත් වී තිබුණු ඓතිහාසික ලියවිල්ල අතට ගත් විනිසුරුතුමා එහි අතීත පවත දැන ගත්විට මවිත වන්නේය. ඒ ඉතිහාස පවත නම් ‘‘වට්ටාරම අස්න’’ ය . වට්ටාරම අස්න දෝතට ගත් හැරී චාල්ස් පර්විස් බෙල් ලංකාවේ පුරාවිද්‍යාව කෑගල්ලෙන් පටන් ගත්තේ එදාය.
    වට්ටාරම අස්න සොයා ගන්නට වන වැදුණු බෙල් ශි‍්‍ර‍මතාණන්ට ‘‘බුද්ධ මිත‍්‍ර කුමරයා’’ හමුවන්නේ මල් වැස්සා වෙහරට ගිය මල් වැහි වහින හිරි පොද වැස්සේදීය. ඔහු ඒ අමුතු දසුනින් වශීකෘතව ඇලී ගැලී එහි දැහැන් ගතව බලා හිදියේය. සුද්දා මැණීකේ මළුව අමදින ආල ලාලිත වැසි පියවර බෙල් තුල ඇති කලේ සංයමය හා බැදුණු ලාලිත ලෝලිත ශාස්ත‍්‍ර හැගීමකි.  සුද්දා මැණිකේ ‘‘මල් වැස්සා රජ මහ වෙහෙර’’ට ශී‍්‍ර මහ බෝධියෙන් අංකුර අෂ්ඨ පැලය වැඩිය හැටි කියා දුන්නේය. හීන කථාවක් නොව ඒ සුරංගනා කතාවක්ද නොව පණ ගැසෙන අතීත පුරාවෘතය ජීවමාන ජාන ආත්මයක ගලා යාමකි. සුද්දා මැණීකේ හද පවත සනහා ගැයූ බෝධි පද කවිය හැරී චාල්ස් පර්විස් බෙල් තුල මනමත් පුරාවිද්‍යා ආලයත් ඇති කරන්නේය. ඇගේ පුරාවෘත කවි ගෙත්තමින් හමු වූ ‘‘බුද්ධ මිත‍්‍ර කුමරයා’’ සොයා ගන්නට  බෙල් යලිත් වට්ටාරම පන්සලේ ‘‘නදුන් මණ්ඩපය’’ පැදකුණු කරන්නේය. බරට බැදුණු පුස්කොල මිටි මැදින් ඔහුට ‘‘බෝධිවංශය’’ හමුවන්නේය. ඒ ග‍්‍රන්ථ රත්නය මැද තිබුණු දුර්වර්ණ පුස්කොළයකි. එය වට්ටාරම පන්සලේ නායක හිමියන් තබා වට්ටාරමෙ කෑගල්ලේ කවුරුත් මෙතුවක් නොදැක තිබූ පුස්කොළ ලියවිල්ලකි. ලියවිල්ල ලියා තිබුණේ දඹදෙණි සමයේය. ලියවිල්ලට පාදක වී තිබුණේ මැද අනුරාධපුර සමයේ කථාවකි. ඒ කථාව නිසා ගල්බොඩ කෝරළය ගම්වර වූ හැටි ලියැවිල්ලේ රාජ අණය. විනිසුරුකම විහිළුවක් බවත් පුරාවිද්‍යාව ජීවිතය බවටත් බෙල් ශී‍්‍රමතාණන් සිතා ගන්නේ එදාය. නීතියට වඩා ඉතිහාසය සොදුරු සුන්දර ජීවිත සුසුමක් කර ගන්නට මේ සුදු පුත‍්‍රයා සිතා ගත්තේය. ඉතින් ඔහු තෙමේ සියල්ල අත්හැර කෑගල්ලටම ජීවිතය දන් දුන්නේය. ඒ දන් දුන් ජීවිතය නිසා ලක්දිවට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවක් ඇති වූයේය. එතැනින් බිමට වැටි වල් වැදී තිබූ සිංහල සිරිත අබිමන, දිග පළල හා මවිතයෙන් පුදුමයෙන් යලි උදාන වන්නට පටන් ගත්තේය.
     තර්ක මිසක සංවේදනා නැති කුතර්ක නීති විශාරද බව මිනිසත්කම නසන වියළි ඉඩෝරයක් බැව් ඔහුට දැනේ. ඔහු මිනිසත්කමෙන් සොබා දහමෙන් මුසු විසිතුරුව දුටු සිංහලේ උදාන යුග සොයා යෑමේ අතීතා ගමනයට පා නගන්නේ මෙහෙමය. මහ බි‍්‍රතාන්‍යයේ උතුරු වෙල්සයෙන් ලක්දිව කෑගල්ලට තමා කැදවූ දෛවය කුමක් දැයි සිතුවේය. කළු කබායත් නීති පුස්තකත් පසෙක තැබූ ඔහුගේ පළමු වෑයම කෑගල්ලට උපත දුන් මිනිසා සොයා යාමය. එබැවින් ‘‘බුද්ධ මිත‍්‍ර කුමාරයා’’ සොයා ගැනීමට නම් පාලි බසත්, සිංහළ බසත්, සකු බසත් යන තුනම ඉගෙන ගත යුතු විය. ඉතින් ඉංගී‍්‍රසි,ගී‍්‍රක,ලතින් ප‍්‍රංශ හා ජර්මන් භාෂා විශාරද මේ මිනිසා සිංහලත්, පාලිත්, සකුවත් ජිවිත පොතේ ජිවිතය කර ගත්තේය. ඔහු පණ ලැබුවේය. කි‍්‍ර:පු 306 උදුවප් මහේ පුන් පොහොදා සිරි ලක සැපත් බුද්ධ මිත‍්‍ර කුමාරයා ඔහුට හමු වන්නේ සිංහළයන්ගේ අතීත පද වාර්තා මැදිනි. පෙලින් පෙළ පද කියවන ඔහු ඒ හා බැදී ඇති ගම් සොයා ගෙන කෑගළු  පූරාවෘතය අසමින් ගමින් ගමට ඇවිද ගියේය. ගම් මැද්දේ කදු මැද්දේ ගොවි ගෙවල් ,දිසා ගෙවල්, ආරච්චි ගෙවල් වගේම ආවාස ගෙවල්වල ජීවිතය ඉව කරමින් සොයා යන්නට විය. ඒසේ යමින් කෑගල්ලට උපත දුන් පණ දුන් ‘‘බුද්ධ මිත‍්‍ර කුමාරයා’’ සොයා ගත්තේය. ගැමි කථා රජ කථා වගේම උපමා උපමේය ගී ,ජන කවි, සැළලි ,අස්න, අතර මැද හැම තැනම සිටි බුද්්ධ මිත‍්‍ර කුමරු හමු වන්නේය. කි‍්‍ර:පූ 306 දී බුද්ධ මිත‍්‍ර කුමාරයා සිරි ලකට සැපත් වන්නේය. ඒ තම සොයුරු සමුද්‍ර ගුප්ත සමගය. සමුද්‍ර ගුප්ත , ගුප්ත රාජධාණියේ කිරුළ හිමි කුමාරුය. නමුත් රජ කම අතහැර මහ බෝධීය රකින සිංහළ ජාතිය සුරකින්න ඔහු සිරි ලකට එන්නේය. අයියා රජ කම අතහැර දැමූ ඒ අසිරිමත් රුක් රජාණන් වෙනුවෙන් මල්ලී බුද්ධ මිත‍්‍රද රජ කම අතහැර සිරි ලකට එන්නේ ඒ අනුවය. ගසක් නිසා රජ කම අතහැරු මිනිසෙක් ලොවේ ඇත්නම් ඒ මේ අයියා මළෝය. හැරී චාල්ස් පර්විස් බෙල්ගේ ජිවිතය වෙනස් වන්නේ මේ කථාව නිසාය. දිස්ති‍්‍රක් විනිශ්යකාර ධුරය අතහැර ඉතිහාසය ජිවිතය වූයේ මේ අදහා ගත නොහැකි ඉතිහාස කුමරා නිසාය. අධිරා්‍යවාදීන් ලෙස ඉංගි‍්‍රසීන් සිංහලයන්ගෙන් අපහස විදිද්දී, බෙල් උපහාර ලබන්ගේ ඒකය. එත් කථාව දුකක් වන්නේ බෙල් ගැන සිංහලයන් දන්නේ මොනවාදැයි සිතුණු විටය. තමන්ට හිමි වූ නිතීය එපා වී ඉතිහාසය ජිවිතය කළ මිනිසා සොයාගෙන යන්න ඔහු ඇරඹූ ගමන මුළු ලක් ඉතිහාසයම ගොඩ නැ`ගු ගමන වූයේය. ඒ ගමනින් ගමනක් හදා ගන්න ලක්දිවට යලිත් හැකි වන්නේ ඒකය. එත් ගමන අතර මැද දී ඇද වැටන්නේ හැරි චාල්ස් පර්විස් බෙල් වගේම ඔහුට සිරිලක් බිම මව්බිම තරම් උතුම් කළ බුද්ධ මිත‍්‍ර කුමරුත් අමතක කර ගත් ඉතිහාස බමුණන් නිසාය. බමුණෝ කවදත් ලාභ ලැබීමත් සත්‍ය යටපත් කිරීම ජිවිතය කර ගත් ඇත්තෝය. මෙකළ ලංකවේ ඉතිහාසය ද බමුණන් අතට ගත් ලාභ භණ්ඩයක් සේ විකිනේන්නේය. බුද්ධ මිත‍්‍ර කුමරුගෙත් ශි‍්‍රමත් බෙල් වෙතද සිතුවිළි උදානක් උවමනා එබැවිණි. මන්ද ‘‘බුද්ධ මිත‍්‍ර කුමරු’’ භාරතය අතහැර සිරිලක ජිවිත දුන්නේය. හැරි චාල්ස් පර්විස් බෙල් බි‍්‍රතාන්‍ය අතහැර සිරිලකට ජිවිත දුන්නේය. මෙවන් ජිවිත පුද දුන් මිනිස්කමට කමටහනක් සිංහළයන්ට නැත්තේ මන්ද?.

සූජිත් අක්කරවත්ත

Sunday, February 15, 2015

වහලතන්ත‍්‍රි



   සිහිනයක් තරම් ජිවිතය තීරණය කරන වෙනත් හැගීමක් ගැන කිව නොහැකිය. කි‍්‍ර:ව 1527 දී කෝට්ටේ රාජ නුවර වැසි අන්තිම සිංහලයාන් අතලොස්ස හමුවේ වූයේ සිහිනයකි. ඒ කවදා හෝ යලි නිදහස් වී රජ නුවර සිරි පුරන හැටියය. ඒ සිහිනය හිතේ දරා ගෙන කෝට්ටේ අතහැර ගාල්ලට සෙන්දු වන වහලතන්ත‍්‍රි පරපුර නවාතැන් ගන්නේ උණවටුනේය. බරන්තෝ වහලතන්ත‍්‍රි උණවටුනට පලා එන්නේ යලි කෝට්ටේ රජ නුවර ගොඩ නැගෙන බව කියමිණි. වහලතන්ති‍්‍රවරු ශී‍්‍ර ජයවර්ධනපුරය ගොඩනැගූ විට එහි ගෘහ නිර්මාපකයන්ය. වෙසෙසින්ම අලකේශවර ප‍්‍රභු රාජයාද වීදාගම මෛතී‍්‍ර මහතෙරිදු අතර මැද සිටිමින් ජයවර්ධනපුර රාජ විභුතිමත් කිරීමට උරදුන්නේය. ඔහුහු රාජ උරුමයට නෑකමක් පෙන්වන්නේ ‘‘විසිදා කුමරිහාමි’’ නිසාය. ඈ තෙමේ ඒ දණ්ඩුවේ වහලතන්තී‍්‍ර සමග හද ගන්න අනිමයම් පේ‍්‍රමය නිසා වහලතන්ත‍්‍රිවරුන්ට  රාජ නෑ කමක් බැන්දෙන්ය. පිසිදා කුමාරිහාමි වූ කලී වීදිය බණඩාරගේ දෙවන බිසෝ වූ ටිකිරි බිසෝගේ දුවනියය. කොහොම උනත් විසිදා කුමාරිහාමි ඒදණ්ඩුවේ වහලතන්ත‍්‍රිරි දාව බිහි කරන බරන්තෝ වහලතන්ති‍්‍ර පරපුරේ ඊලග පුරුක වන්නේ මේ විලසින්ය. බරන්තෝ බුදු දහම අතහැර කිතුනු සමයට බැදෙන්නේ ගැති බවට නොව තම සිහිනයට බව පෙනෙන්නේ  බරන්තෝ පෘතුගි‍්‍රසී අතහැර උණවටුනට ආ හැටියටය.

 
උණවටුනට පැමිනි බරන්තෝ තම කිතුණුකම භාවිතා කර බටහිර ආධ්‍යාපනට එක් වන්නේය.  මේ පරපුර සියවස් තුනක් මෙහෙම ගමන් කර ගමන යළි මුදුනට ගෙනාවේය. ඒ කි‍්‍ර:ව 1875 දෙසැම්බර් 12 දාය. මේ අන් කිසිවෙක් නොව ‘කෝට්ටේ සිංහයා’ යැයි විරුදාවළි ලත් ඊ.ඩබ්.පෙරේරා හෙවක් ඇලියන් වහලතන්ති‍්‍ර පෙරේරා උපන් දවසය. සියවස් තුනක් තම මී මුත්තනු දැල්වූ සිහිනය සිතට ගෙන ඔහු යළි කෝට්ටේට පා තබන්නේ 1896 දෙසැම්බර් 12 වන දාය. ඒ ඔහුගේ 21 වන උපන් දිනය දාය. එහි පැමිණ තම පුරාතන පිය උරුම භුමිය සොයාගත් ඔහු නිතිඥයකු ලෙස පදිංචි වන්නේය. ඔහුගේ කෝට්ටේ ආගමනය එය අතහැර ගිය බොහෝ සිංහලයන්ට කෝට්ටේ කරා නැවත එමේ ප‍්‍රර්ථනාව වූයේය. කෝට්ටේ කරා පැමිණ ඒ අතීත නුවර උරුම පරපුර අතරින් ප‍්‍රතාපවන්තයා වන්නේ ‘ඊ.ඩබ්. පෙරේරා සූරින්ට’ය. ඔහු තෙමේ ලක්දිව ඉතිහාසකරණයට බට ප‍්‍රමුඛ පෙලේ නූතන ජාතික දේශපාලන නායකයා සේ කැපී පෙනේ. විශේෂයෙන්ම අතීත කෝට්ටේ ගැන ලෝක අවධානය ඇති කළ එතුමාගේ කෘතිය කෝට්ටේට ආලෝකය ගෙනා පොතය. ඒ ඔහු විසින් රචිත THE AGE OF PARAKRAMABAHU (1412-1467) කෘතියය. එම පොත විසින් වහලතන්ති‍්‍ර පරපුරහි සිහිනය තවත් බොහෝ අයගේ සිහිනය බවට පත වන්නේය. 1910 දී ඊ.ඩබ්.පෙරේරා විරචිත කෘතිය නෙත ගැටෙන්නේ ලක් රාජ්‍යත්වයට සිහිනයක් ළමා වියේම දුටු ‘ජූනියස් රිචඞ් ජයවර්ධන’ය. මේ පොත ඔහුගේ 12 වන උපන් දිනයට ඔහු කතුවරයා වෙතින් තෑගි ලබන්නකි. ඒ තෑග්ග නව ගැටවර ජේ.ආර්  තුල කෙතරම් ගැඹුරු සිහිනයක් දැල් වූවේදයත් කෝට්ටේ යලි අගනුවර කර ගැනීමත් සිරිලක් රාජ්‍ය නායක පදවි දෑරිමත් ඔහුට එකම පැතුම වූයේය. 

  
1910 ලියවුන පොත දැල් වූ රාජකීය ප‍්‍රාර්ථනාවද 1523 සිට දරාගෙන පැමිණ පරපුර ප‍්‍රාර්ථනාවද හැබෑ විමට පටන් ගත්තේ 1982 දීය. ඒ ශී‍්‍ර ජයවර්ධනපුරය යලි සිරිලක අගනුවර බවට පත් වෙමිනි. කෝට්ටේ යලි අගනුවර බවට පත් කිරීමේ සටනට ඊ.ඩබ්.කෘතිය දැල් වූ සිහිනය මුදලිදු අබේසිංහසූරින් මුදල්දු ෆොන්සේකා සේම ජෝන්ද සිල්වා සූරීන් සම පෙලේ සිට ගත් සිහිනයකි. ඒ සිහිනය සැබෑ වන්නට මත්තෙන් මේ සිවු දෙනාට නෙත් පියා ගත්තද ජයවර්ධන ශී‍්‍රමතාණන් තනිවම සිහින සැබෑ කර ගත්තේය. එත් කථාව පුදුමය දනවන්නේය. ඒ පළමු වරට ජයවර්ධනපුරය අගනුවර වනවිට ඒ තැනූ අලකේශවර කුමරුට රජකමිත් නුවරත් අහිමි වන සැටිත්, ඔහුගේ මීමුනුපුරු ජේ.අර් ජයවර්ධනයන් දෙවන වරට ඒ නුවර රාජ පාලක පදවියත් අගනුවර කොට හිමි කරගත් සැටිය ය. කථාව තවත් පුදුමය දනවන ශෝකාන්තයක් වන්නේ ඒ කෝට්ටේ අගනුවර සිහිනයට යලි සිහින දැල් වූ ඊ.ඩබ්.පෙරේරා සූරීන් පරදවා ජේ. ආර් ජයවර්ධනට ලක් රාජ මන්ත‍්‍රන සභාවට එන්නට සිදු වූ දෙවෝපාගත කථාවය. කොහම උනත් ගැටවර ජයවර්ධනයන් අතින් පැරදී පරිනත ඊ.ඩබ්.පේරේරා ජාතික දේශපාලනය අතහැර තනිකඩව සිට ජාතිය අතහැර ගියේය. එත් රටක් ලෙසත් ජාතියක් ලෙසත් නව අගනුවරට පැමිණ ඊ.ඩබ්.පෙරේරා සූරින්ට අප කළ යුතුකම කුමක්දැයි සිතිය යුතුය. එහි පළමු වැරදිකාරයා විටක ජනපති ජයවර්ධනයන් බව කිව හැකේය. ඔහු වාහලතන්ත‍්‍රිවරුන්ගේ දිගු කාලීන සිහිනය සැබෑකර තැබුවේය. එත් ඒ සිහිනය සැබෑකර තමන් කර ගත්තේය. එත් එය එසේමයි කිව නොහැක්කේ ඔහු සැලසුම් කළ ශි‍්‍ර ජයවර්ධනපුර නුවර තනා නිම කිරීමට පෙර ඔහුට ගැටුමකට මුහුන දීමට සිදු වූ නිසාය. නමුත් නායකයන් පළමු යුතුකම් ඉටු නොකලහොත් ඔහුනට යුතුකම් ඉටු කිරීමට යලි වෙලාවක් හෝ අවස්ථාවක් නම් නොලැබේ. ලක් දිව පාලනය කළ බොහෝ පාලකයන් මේ කරන සිත දරාගත් බවක් නම් නොපෙනේ කෝට්ටේ නැවත පුනර්ජිවනය කළ ඊ.ඩබ්.පෙරේරා සිරිත සිරිතක් සේ ජනගත වන්නට නොහැකි වන්නේ මේ නිසාය. සියවස් තුනක් එකම සිහිනයක් පැතූ වහලතන්ති‍්‍රවරු නිමා වන්නේ එතැණිනි. මෙසේ ඊ.ඩබ්.පෙරේරා තනිකඩව සිට පරපුරට උරුම දරුවකු දායාද නොකර ජිවිත කය හැර ගිය නිසාය. පුදුමය දැන් අප රට පැමිණ ඇත්තේ කෝට්ටේ අගනුවර ලෙස තබාගෙන ජයවර්ධන ජනපතිදු  බිහිකළ විධායක ජනපති ක‍්‍රමය අතහැර දමන තැනටය. විධායක අවුල ජයවර්ධනයන්ව අවුලක් කර දැම්මේය. ජයවර්ධන අමතක යුතුකමට යලිත් අවස්ථාවක් ඔහුට ලැබුනේම නැත. ඒ අවස්ථාව  ලැබුනු තැන යුතුකම් ඉටු කරන්න පමා වන නොහොබිනාකම නිසාය. සිරිලක ඉතිහාස නුවරකට අනාගතය කැන්දු ජයවර්ධනයන්ට අපවාද මැදින් දෙදරයන්නට සිදු වූයේය. එත් කෝට්ටේ අපට ඇති අගනුවරය. එය තැනු වැඩු සොයා ගත් හැමෝම සමග යුතුකමේ කතාවතක් අවැසිය. එය දිගු කාලීන රාජ්‍යකට අවශ්‍ය ධර්මතාවය ය. දෙවන කෝට්ටේ යුගය රාජපක්‍ෂ පරාජය කොට නව පාලකයකු ගෙන ආවේ පළමුව යුතු කම ඉටු කරන ධර්මතාවයටය. ධර්මතාවය අමතක කරන්නේ නම් හැමෝටම සිදු වූ ධර්මතාවය ඔහුටද පොදුය. ධර්මතාවයෙන් ගෙතී බැදුනු ‘මහාවංශය’ ලක්වැසි රජුන්ටත් ලක් වැස්සන්ටත් ලියා තබා ඇති ඇත්ත එයය.

සුජිත් අක්කරවත්ත

Friday, February 6, 2015

කපිතාන් හොග්



   භාරතය තේරුම්  ගැනීමට පුරා විද්‍යාවේ සරණ යන්නට ඉංගී‍්‍රසී අධිරාජ්‍යවාදය තීරණය කරන්නේ කි‍්‍ර:ව 1842 දීය. එත් ඒ සදහා නිල මෙහෙයුම ඇරඹෙන්නේ කි‍්‍ර:ව 1861 දීය. ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒ සමග පිහිටු වන්නේය. ඒත් වැඩි දුර යන්නට මත්තෙන් භාරතය සොයා යාම අසරණ වේ. ඒ භාරතය සොයා යන්නට නම් සිංහලය සොයා ගත යුතුව තිබූ බැවිණි. මේ ගැන කදීම සිතුවිලි සරණයක් ශි‍්‍රමත් කනිංහැම් හා ලක්දිව ආණ්ඩුකාර හර්කියුලස් රොබින්සන් අතර සිදු වී තිබුනි. ඉතිහාසය ගැන ලියන ඇත්තන් කියවිය යුතු මේ හෘද පේ‍්‍රමයේ මිතුරු ලිපි වැල පෙරට ගත යුත්තේ ඒකය. ඒත් සුද්දා පරයා.... ඌ අපිව කෑවා..... අපේ උරුමයට ගිනි තිබ්බා.... වගේ මෝඩ සිතුවිළි තාම හිතේ දවටාගෙන ඉතිහාසය ගැන ලියන කියන උදවිය මෙවා හංගාගෙන ඇත්තේය. නැත්තම් දන්නේම නැත්තේය. නොදන්න උන්ට ඉතිහාසය භාරදීම ලක් රජයට පුරුදු වී ඇති ලෙඩකි. මේ ලෙඩඬේ හොදවන පාටක්ද නොපෙනේ  කොහොම උනත් රටක උරුම සිරිතට පණ දීම රජයක වගේම එහි පුරවැසියාගේ ද වගකීමකි. මේ ගැන හිතා ගෙන ඉතිහාස විෂයට සිතුවිළි පතුල යා කර ගත විට බොහෝ දේ දැනේ පෙනේ.
     
මෙහෙම පෙනෙන දැනෙන දෑ හිතේ දවටාගෙන ගැඹුරි හැගුමින් පරියෙෂණයට පිවිසිය යුතුය. මෙහෙම පිවිසි විට ඉංගී‍්‍රසි යුගය ඉතිහාසය ආලෝකමත් කළ රාජ ප‍්‍රතිපදාව හැදිනිය හැකිය. හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරවරයා තම මිතුරාගෙන් ලද ලිපි වලට උත්තර යවන්නේ සිරිලක හැම තැන ඇති කථාව ගැන කියමිණි. ඒ ඉතිහාස කථාව ඇත්තම ඇත්තදැයි බලන්නට ඔහු රහසිගත මිනිසෙකු සොයා ගත්තේය.‘කපිතාන් හොග්’ සිරලක ඇවිත් ලක්දිව උරුම සිරිතට පණ දුන් මිනිසෙකු වන්නේ ඔය විදියටය. කපිතාන් හොග්ගේ සේවය ඉංගී‍්‍රසින්ට වෙනස් වන්නට මග පෙන්නූ කැඩපතය. ඒ වගේම සිංහලයන්ට අතීතාඩම්බරයකින් නැගී හිදින්නට මග කියන පාර හදා දුන් තැනය. මුල මතක ඇත්නම් දිගු ගමනක් යා හැකිය. ඒත් ජාතියේ මුල හොයන්නට මුල හොයා දුන් ‘කපිතාන් හොග්’ අමතක කර දමා ඇති විට මුල අග හෝ මැදවත් නොදන්නා ලාබ බාල කේවට්ටයන් ඉතිහාස මහගෙදර අල්ලාගෙන ඇත්තේය. මේ නිසා පරියේෂණ නැති කට වාචාල පොතේ ගුරාලාගේ ගජබින්න බලා ගන්න සිදුව ඇත්තේය.

    උතුර  වෙල්සයේ සිට ලක්දිව වෙල්ලස්සට ‘හොග්’ පැමිණෙන කථාව මන බදින චිත‍්‍රණයක් වැනිය. හොග්ගේ තාත්තා මහා බි‍්‍රතාන්‍ය රාජකීය යුධ හමුදාවේ නිළ ලේඛකයාය. හොග්ට අම්මෙක් නොවූනේය. ඒ අම්මා පුතුව අතහැර ගොස් සිටි නිසාය. මේ තරුණයා හර්කියුලිස්ට හමුවන්නේ උතුරු වෙල්සයේ කෑලෑ ගමකදීය. දෙදෙනා මිතුරන් ගුරු ගෝලයන්ද වන්නේය. ඒත් හර්කියුලස් රොබින්සන්ට ටික කාලයකින් රටත් මිතුරාත් අතහැර ලක්දිවට පා තබන්නට සිදුවූවාය. ඔහු ලක්දිව ආණ්ඩුකාර පදවියට පත් විට හොග් බි‍්‍රතාන්‍යය රාජකීය හමුදාවේ කපිතාන්වරයකුව සිටියේය. මහා භාරතය සොයන පුරා විද්‍යා වෑයම නතරව ඇති වග හර්කියුලස් වෙත තම මිතුරෙකු වූ කනිංහැම් ගෙන් දැන ගන්නට ලැබෙන්නේය. කනිංහැම්ට ‘මහාවංශය’ ගැන ලියා යවන්නේ හර්කියුලස්ය. කනිංහැම් වහා වහා ලක්දිවට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවක් උවමනා බැව් කියන්නේය. මහා අධිරාජනියගෙන් ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට ලංකා පොලොවේ ඇති පුරාවිද්‍යා උරුමස්ථාන ගැන ජිවමාන වර්තාවක් වහා සැපයිය යුතු වූයේය. ලංකාදීපය ගැඹුරට සොයා නොගෙන භාරතය සොයා ගත නොහැකි බවට වර්තා පලවන්නේ මේ අතර තුරය.
   කපිතාන් හොග් හෙවත් ‘කපිතාන් අර්.එෆ්.හොග්’ බින්තැන්නට ඇවිත් මහියංගණ මහාසෑය තිබූ තැනින් පටන්ගෙන අනුරාධපුරයට පිවිසෙන්නේ ඒ සදහාය. සිහින කථාවක් විතරක් නොව යටගිය දවසක් සොයා ගෙන කපිතාන් හොග් ජිවිතයම අතහැර සොයා යෑමම ජිවිතය කර ගත්තේය. ඔහුගේ ගුරු මිතුරා වූ ‘හර්කියුලස් රොබින්සන්’ තම සගයාගෙන් ලැබෙන තතු විත්ති එකට අමුණා ගොතා බදින්නේය. විටක සිංහල මිහි ගැබ හා එහි ඇති අතීත කෞතුකයන් සොයා ගෙන වන වැදුනු තම සගයා ගැන මාස ගණනාවකින් ආරංචි නැත. අතරමංව සිටි හොග් මංමුලාවෙන් මිදි ආ විගස හර්කියුලිස්ට තතු දත්ත යවන්නේය.  විටක දෙදෙනාම එක් වී වන වදුලූ මැදින් විරාජමානව නැගී ඇති සිංහළයන්ගේ වන්දනීය භුමි සොයා යන්නේය. ලක්දිව උරුමාතිතයට එබෙන විට මෙවන් කෞතුක කථාන්දරයන් ලියවී ඇත්තේය. ඒ ආත්මාන්දරයකිනි. මෙම ආත්මන්දරය වූ කලී මිත‍්‍රාන්දරයකි. ඒ මිත‍්‍රාන්දරය ලෝක උරුම මිතුරු සිරිතක් වන්නේ නූපන් රටක නූපන් ජාතියක උපන් සිරිතට පණදීමදට රුකුල් දුන් මිතුරු අන්දරයක් නිසාය.
   කපිතාන් ආර්.එෆ්.හොග් විසින් මහියංගන මහාසෑය, රුවන්වැලි මහාසෑය, ජේතවණාරාම අභයහිරි මහා සෑ සේම අටමස්ථානයද ඒ හා බැදි ලොව්තුරු නිර්මාණයන්ද ගණනය කලේය. වන වදුලක් මැද ගහකොළ සතා සිව්පාවා විසින් සුරකින වන ගැමියන් නමදින මේ පුදුම උරුමයන් ඔහු හරියටම ගණනය කලේය.  හොග් මැන බලන්නේ බිදවැටී තිබූ මහාසෑයය. පුදුමය වන්නේ ඔහු එයට දුන් වට ප‍්‍රමාණය හා උස ගනණය මහාවංශය ථුපවංශය හා මහාවංශ ටීකාව විසින් සුත‍්‍රගත කොට තිබූ ගණනයන් හා හරියටම සමාන වීමය. එය අභයගිරියට ජේතවණාරාමයටද මහියංගන මහා සෑයටද එසේම වූයේය. වඩාත් ආදරණිය ලක්වැසි මිතුරෙකු සේ කපිතාන් හොග් සදාදරණිය වන්නේය. ඒ ඔහු තම පරියේෂණ සමයේදි සෙල්ලිපි ගණනය කොට ඇති බැවිනි. පුරාතන සිංහළ අකුරු වැල කියවන්න ඔහු නොදත් අතර එය දත් අයෙකු හරියටම නොවූ සමයකි. ඒත් ඔහු හැම සේල්ළිපියකම දිග පළල වගේම එහි ඇති වදන් ගණනත් අකුරු ගණනත් මැන ගණනය කර ලියා තැබූවේය. එපමණක් නොව අකුරු නොවන සංකේත සලකුණු ද තව විටක වන ගැමියන් ඒ ගැන කියවූ අතීතාඩම්බර කථා පොකුරුද ලියා ඇත්තේය. ඉතින් කපිතාන් හොග් ගේ ලියවිල්ල නිසා මහා අධීරාජණීය සිරිලකට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව තම රජයේ වියදමින් පිහිටුවන්නේය.
   ඒත් හර්කියුලස්ට වගේම හොග්ටත් අපේ ඉතිහාසයෙන් දී ඇත්තේ මොනවගේ ඉඩක් ද?. මේ වගේ වී ඇත්තේ ඇයිද?. උත්කර්ෂයෙන් උත්කර්ෂයට මෙකල අප නංවන අපේ අතීත ආඩම්බරය සොයායන මාවත සොයා දුන්නේ ඔහුනය. කි‍්‍ර:ව 1882 දී මේ දෙන්නා නැව් නැග ස්කොට්ලන්තය බලා යන්නේය. ඒත් කරුමය පූරාවිද්‍යාව යන්නෙන් අදහස් වන්නේ ගල් පිළීම සෙල්ලිපි වෙහෙර විහාර රජ ගෙවල් රන් රීදී තඹ භාණ්ඩ විතරක්ය. නැත. පූරාවිද්‍යාව යනු පුරාවිද්‍යාත්මක මිනිසුන් ගැනද සොයන විෂය ය. නූතන ලක් පුරාවිද්‍යාවට නැත්තේම පූරාවිද්‍යාත්මක මිනිසා සොයන පරියේෂනයය. ඒ නිසා මුල අග මැද පැටලී යයි. ලොවක් හමුවේ පවතින්නට වෙනත් ධනයක් නොවමනා ජාතියක් ණය බරින් මිරිකී අපිළිවලින් අප්පිරියාවට ගොස් ඇත්තේ ඒකය.
   පුරාවිද්‍යාත්මක සුමිතුරන් වූ හර්කියුලිස් රොබින්සන්ද , කපිතාන් හොග්ද සොයා යන්න සිතුවේ ඒකය. ලක් පුරාවිද්‍යාවට ‘ පුරාවිද්‍යා මිනිසා’ ගැන චින්තාවක් අවැසිය. එය මාධ්‍යට කලාවට සිනමාවට විලසින්ම අධ්‍යාපනයට පිවිසිය යුතුය. එහෙම නොවූනු නිසා අපට හොග් වන් මිනිසුන් නැත. එවැනි ව්‍යායාම සහිත මිනිසුන් ඇතද නොපෙනේ. කඹුරුපිටියේ මහතෙරි`දුලාට, පරණවිතාරණලාට සහ දැරණියගලලාට පසු අප ඇවිත් නතරවී ඇත්තේ එතනය. හදකම්පා කරන මේ තැන ගැන සිතන්න සිතුවිලි හැගීම් ජනනය වේවා. සුදු සගයන් සිංහළ උදානයට ඇවිද ගිය මගම ඇවිදමින් මම දැන් සිතන්නේ ඒ ගැනය.

සුජිත් අක්කරවත්ත
  

Friday, December 26, 2014

නිලූපුල් විල


අලූත් රාජධානියක් සොයන්න සිදුවන්නේ තිබෙන තැන කිළිටු වූ විටය. තැනක් කිලූටු වන්නේ ක‍්‍රමයේ වරද හෝ පාලකයන්ගේ වරද නිසා හෝ සතුරු ආක‍්‍රමණයක් නිසා හෝ සොබාදහම විසින් ඇති කරන අවුල් නිසාය. ඒත් සිරිලක් රාජධානිය බොහෝ විට අගනුවර මාරු කර ඇත්තේ සතුරු වියවුල් නිසාය. ක‍්‍රමය වෙනස් කිරීමට වෙනස් කළ රාජධානිය වන්නේ අනුරාධපුරය සහ කෝට්ටේ පමණි. අනුර නුවර සොයා ගත්තේ අනුරය. පුදුමය කෝට්ටේ සොයාගත්තේද අයන්නේ අකුරින් නමක් තිබූ අලකේෂ්වරය. රටට අගනුවරක් සොයන ”සතර මහ භූ සූත‍්‍ර” භුමී ශ‍්‍රාස්ත‍්‍රය අනුව විමසන සතර විමසුමට අදාළ එක් භූ භාග්‍ය ලකුණ නම් ”පුෂ්ප විලය” ඒ කියන්නේ සොබාදහම විසින්ම බිහි කොට තිබූ ස්වභාවික විලක් මැද මල් පිපි තිබීම  ඒ භූ භාග්‍යයහි ලකුණය. මේ විදිහට ගත් විට ”කකුධ විල” අනුර නුවර තිබූ පුෂ්ප විලය. මේ විල් දිය මැද පිපි තිබූ පුෂ්ප නෙලා ජය වැවට පුදා කිරුළ දැරූ පණ්ඩුකාභය නිරිදු මේ විල රැකගත්තේ ජාතික වස්තුවක් ලෙසය. පසුව ජය ශී‍්‍ර මහ බෝධිය රෝපණය කළේ මේ කකුධ විල අසබඩය. ඒ කියන්නේ ජය ශී‍්‍ර මහ බෝධින් වහන්සේට ජල පෝෂකය වූයේ මේ විල් දියය.
වීදාගම මෛතී‍්‍ර මහ තෙරිදු කෝට්ටේ ශී‍්‍ර ජයවර්ධනපුර විමසන විට හමුවන්නේ නිලූපුල් විලකි. මේ නිලූපුල් විල වසර හයසීයයක් ගෙවී ඒ තිබූ තැනම අදත් තිබෙන්නේය. කෝට්ටේ ජයවර්ධනපුරයට අගනුවර නැවත රැුගෙන ජයවර්ධන ශී‍්‍රමතාණන් රාජ්‍ය නායක පදවි ලැබීය. එතුමාණන් මේ විල ගැන රහසිගත පුවත සනාථ කරගත්තේ කෝට්ටේ අතීත පුවත ගැන පූර්ණ පර්යේෂකයෙකු වූ ඉතිහාසඥ ඞී.ඩබ්.වික‍්‍රමආරච්චිගෙනි. විල ගැන පුවත් තැනින් තැන ලියවී තිබූ තතු විත්ති වලින් ද සනාථ වන්නේය. පසුව ඔබේසේකර වෙද මුදලිතුමා මෑත කාලීන පර්යේෂකයා වන්නේය. පසුව මේ විලහි මතු පැවැත්ම රැුක ගැනීමට කෝට්ටේ නිලූපුල් විල ඇති භූමී භාග්‍යම තමන් සතු කරගන්නේ ඉංගී‍්‍රසි ආණ්ඩුවට මුදල් ගෙවා දමමිනි.  මේ නිල්මල් විල ගැන අතරින් පතර තතු කෝට්ටේ යුගයේ ලියවී ඇති බොහෝ තතු අතර වේ. ඒ වගේම දියවන්නා දියත්ත සමග ද යමින් බැ`දී ඇති මේ විල රැකගැනීම සෑම රජ දරුවෙකුගේම රාජ රහසක්ද වුයේය. මෑත කාලීනව ඒ සදහා කැප වූයේ ජයවර්ධන ජනාධිපතිවරයාය. සැබැවින්ම ලක්දිව නූතන රාජ දේශපාලනය ප‍්‍රධාන දහරා දෙකට බෙදී පවති. ඒ ස
දහා මතවාද වංශ සේම පාටද වේ. මේ අනුව නිල් හා කොළ පාට දෙක මේ පාට අතර ප‍්‍රධානය. කොළ පාටින් රාජ්‍ය බලය ලැබූ ජයවර්ධනයන්ට නිල්මල් විල නිල් මානෙල් විල ක‍්‍රමයේ වෙනසට මුල් වීම අරුම දනවන කතාවකි. කොහොම උනත් නිල් වර්ණය ෂඞ් වර්ණ බුද්ධ රශ්මීයේ පළමු පාට වන බැවින්, නීල වර්ණය උපුල්වන් දෙවි`දු නිසාද, විෂ්ණු දෙවි`දු නිසාද, නිල් මානෙල් මල නිසාද ලක් ජන සිරිත ඔප කරන වර්ණයකි. මේ නීල කථාව ලක් ඉතිහාස කථාවේ මතුපිට කථාව යටින් දිවයන පදනම් කථාව වී ඇති වාර බොහෝය. ඒත් මෙවන් ඉතිහාසගත නිල්මල් විලක් ජන අවධානයෙන් තොරව පැවතීම දුකක් දනවන කථාවකි. ඒත් ඉතිහාස දෑ කිළිටි කර සතුටක් සැපක් හෝ මිලක් ලබා ගැනීම ගැනම සිතන සමාජයක් මැද එසේ වී තිබීම විටක යහපතකි. මේ ඉතිහාස විල සම`ග බැ`දී ඇති අතුරු මුල කතා පොකුරු රස දනවන ජන අන්දර වැලකි. මාදිවෙල කුමාරීහාමි හා සුනේත‍්‍රා දේවීයගේ ද තම්මිට කුමරිය හා සමුද්‍ර දේවියගේ ද ජීවිත තතු අන්දර මැද නිලූපුල් විල බැ`දුනු කථාවකි. මේ විල නොසි`දි පවතින සැටි නම් අපූරුවකි. අපූරුව වඩාත් අපූරුව වන්නේ ක‍්‍රමයෙහි වෙනසකට බැ`දුණු කෝට්ටේ රාජධානියට යළිත් රාජ නගරය එන්නේ ක‍්‍රමයෙහි වෙනසකටය. ඒත් ලක්රාජ කතාව හිතුමතේට වෙනස් කළ හැකි කතාවක් නොවේ. ඒ නිසාම මොහොත වෙනස් කළ හැක්කේද මොහොත උදා කළ හැක්කේද ඓතිහාසික ඉව අනුවමය.
ඉතින් නිලූපුල් විල ගැන ගෙතී ඇති කතා සියල්ල එකට ගොතා කියවා බැලූ විට බොහෝ දේ දැකිය හැකිය. ඒ දැක්ම ඉතිහාසය ගැන මෙලෝ හසරක් නොදන්නා හැමටම වටහා ගත හැක්කේ මේ මොහොතේ සිදු වී ඇති දේ අනුවය. නිලූපුල් විලේ නිල් නෙළුම භූමි භාග්‍යයක් සේ සලකා ගෙන පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමය වෙනස් කර පාර්ලිමේන්තුව කෝට්ටේට ගෙන ආවේය. එදා පටන් යලිත් බලය පාර්ලිමේන්තුවට උවමනා බවට පැතිරුණ මතයට ජය ගෙන එන්නට පැවරුනේ නූතන ලංකාවේ නිල්පුල් පාට දේශපාලන දහරාවට ය. පුදුමය බැරිම තැනදී කොළපාට දේශපාලනය ඇරඹු ක‍්‍රමයේම වෙනසට, ඔවුන්ම නිල්පාට දහරාවේම

 නායකයෙකු ගෙනවිත් ඇති සැටිය.  මේ කෝට්ටේ නිලූපුල් විලට බැදී ඇති භූ භාග්‍යයහි ඓතිහාසික ඇත්තය. ඉතිහාසය, විසිතුරු පුදුමයන්, මවිතයන් හා නොපෙනෙන සත්‍යයන් ඓතිහාසිකව ගලාගෙන එන සැටියය. ඒ සැටිය මේ මොහොතේද පෙනේ. පිලකට ගොස් බලය ලබා ගත යුතුය. ඒත් ඉතිහාසය වටහා ගන්න පිලක් නොව  ඕනෑ පලල් හිතකි. මේ නිල් මල් විල ගැන ලියුවේ ඒකය.

Saturday, November 15, 2014

ඉත්තෑපානේ මහ තෙරිඳු



ක‍්‍රි.ව. 1412 දි කෝට්ටේ රාජධානිය බිහි වන්නේ විද්වත් පාණ්ඩිත්‍යයෙන් අනූන මහ තෙර පරපුරක ආසිරි බල මහිමයද සමගිනි. එතැන් පටන් කෝට්ටේ ඔස්සේ විහිද පැතිර ගිය ලක් සසුන් කතාවත දිගුය. ප‍්‍රභාෂ්වරය. දෑ අභිමන් මැවූ සීල සුගන්ධයෙන් පිරිපුන් ප‍්‍රඥා ප‍්‍රභා පැවිදි දිවි සිරිතෙන් සුසැදි ජාතික අන්දරයක්ම බඳුමය. සතුරු අතවර මැද සසුන බිඳ වැටී යළි උදා වූ පසු මහා විහාරවංශයෙන් උදාන වන කෝට්ටේ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාව මෙරට යති සසුන දිදුළවන්නේ විද්වත් පාණ්ඩිත්‍යයෙන් සරු මහ තෙර පරපුරක්ම ජාතියට දායාද කරමිනි. ඒ නිසා සියම් මහ නිකායේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාව වූ කලී මහාසාර පැවිදි පඩිවර සිරිත්වලින් ශෝභමාන මහා සඟ ගණය සේ විරාජමානය. ඒ අතීත සංඥා අරුත යළිත් පසක් කරමින් එකී සංඝ සභාවේ අභිනව මහ නායක ධූරිණ වී පරම පූජනීය ආචාර්ය ඉත්තෑපානේ ධර්මාලංකාරාභිධාන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහ නායක පදවි ප‍්‍රාප්තව ඇත්තේය. 

මතක පොත දිග හැරේ. මගේ සිත අදින් විසි හත් වසරක් ඈතට දුවයි. සුහුඹුල් යෞවනය එළිපත්ත මුලදී මේ මහ තෙර සිරිත හමු වන්නේය. ඒ එකල දුටු සැණින් මම වශීකෘත වීමි. එය උන් වහන්සේගේ පසඟ පෞරුෂයටය. පුරුෂ උදාරත්වයට කා වැදී තිබූ පරම නිහතමානී මුදිතාව දැක මම දැහැන්ගත වීමි. සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ රෝහණයේ මහ තෙරව වැඩ විසූ පුරාවිදු සක්විති මහාචාර්ය පූජනීය කඹුරුපිටියේ වනරතන මහ නායක මහ තෙරිඳු සමීපයෙහි මට ඉත්තෑපානේ මහ තෙරිඳු මුලින්ම හමු විය. ඒ දවස මතක පොතින් මෙනෙහි කළ විට මේ සඟ සිරිත එතැන් පටන් ගෙවුනු හැම කාලයකම හමු වූ බව සිහි වේ. විටක ජාතික සටන් බිමේදීය. තව විටෙක සාර සුභා ශාස්ත‍්‍ර හැන්දෑ යාමයන් අතර මැදදීය. නොවේ නම් එළඹ නොගත් අහඹු මුණ ගැසීම්ය.  තවත් විටෙක ශාසනික වත් පිළිවෙත් අතරය. රට විපතේ හෙළුණු අනූව දශකයේ මැද භාගයේදී ‘‘ජාතික සංඝ සභාව’’ සෙවණේදී මට යළිත් පූජනීය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ තෙරිඳු හමු වේ. ඒ සමයේ මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘‘පැවිදි මිණි පහන් ’’ නමින් විරචිත කෘතිය ගැටවර සිත සසුන් සිරිත යා කර තිබුණි. මහ තෙරිඳු ධම්මාලංකාර සමිඳු විප්ලවීය සුගන්ධයක් වන්නේ ‘‘මල් පැලේ උපන් පන්සලේ පියතුමා’’  රචනා කොට එළි දැක්වූ විටය. සිත අළුත් හැඟුමන් පිරවූ ඒ පොත ශාස්ත‍්‍ර ලෝලීත්වයට කදිම රස උපදවන ගද්‍ය අපදානයක් වූයේය. ජයකොඩි පිය සමිඳු ගැන අප සිත් තුළ ඉපදී තිබූ ගෞරවනීය පේ‍්‍රමයට මහ තෙරිඳු ධම්මාලංකාර සමිඳු නව ඇසක් පෑදුවේ මේ පොතිනි. පන්සලටත් පල්ලියටත් ගමනක් ඇතැයි දැනුනු අතර, සැබවින්ම පසුව සිංහල කිතු සසුනේ ජාතික රිද්මය වූ ‘‘කිතු දන පුබුදුව’’ හි මතවාදී අවේෂය බවට ද මේ පොත පත්වූ බව දනිමි. එය ජාතික ව්‍යාපාරයේ ගැටවර සටන්කාමීත්වය ඔද වැඩූ බව කිව යුතුය. 

පරම පූජනීය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනායක හිමිපාණන් වහන්සේ චිරන්තන ශාස්ත‍්‍ර සම්ප‍්‍රදායේද චිරාතගත පඩිවර ආරෙන්ද නවීකාරක අධ්‍යාපනයේද කදිම මුසුවකි. අනෙක උන් වහන්සේගේ පූර්වගාමී මහ තෙර පරපුරම ලක් සසුන පොබ කළ චිරාගත මහ පඬිවරුන් වහන්සේලා වේ. අන් අතකින් ඉත්තෑපානේ මහ තෙරිඳු කෝට්ටේ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක ධූරන්ධර වූ පළමු මහජනවාදී භික්‍ෂුව යැයි මම සිතමි. ඒ වගේම ජාතික සටන් භූමියෙන් මහ තෙර පදවි ප‍්‍රාප්ත මම දන්නා නූනත ලක් සසුනේ තෙවන භික්‍ෂූන් වහන්සේ ලෙසද උන් වහන්සේ කැපී පෙනේ. කෝට්ටේ සඟ ගණය හෙබ වූ අන් සියලූ මහ නායක තෙරවරුන්ට වඩා මහ තෙරිඳු ඉත්තෑපානේ මහජනවාදී තෙර නමක් වන්නේ උන් වහන්සේ මහජනවාදීව පොදු ජන කරණයට ලක්ව දිවි සිරිත ගෙවූ සහ ගෙවන නිසාය. එමෙන්ම මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුවිශේෂීය. ඒ මෙරට බහුජන සමාජයෙහි සෑම මං පෙතකම වැඩ වසමින් හොඳින්ම පරිණතව අසූවියට එළඹි සැනින් මහනායක පදවි ප‍්‍රාප්ත වී ඇති බැවිනි. ඒ වගේම ජාතික සටන් බිමට නායකත්වය දී වැඩ සිට මහනායක පදවි ලැබූ ප‍්‍රථමයා වන්නේ මඩිහේ මහ තෙරි`දුය. දෙවනුව බලංගොඩ මහ තෙරි`දුය. මඩිහේ මහ තෙරි`දු මෙම පදවි ධූරන්දර වන්නේ සතලිස් වියැති යෞවනයේය. බලංගොඩ තෙරිඳු සැට දෙවෙනි මැදි වියේදීය. ඒත් ඉත්තෑපානේ් මහ තෙරිඳු අසූ වියැති ජීවිත දිවි මග මහ ගිරි සිරසේදීය. වෙනස සහ බලාපොරොත්තුව රැුඳී ඇත්තේ මෙතැනය. ලක් සසුනම ශීල, ඥාන, තපෝවෘද මහ තෙර පහසක් පතන සමයක ඒ ගුණ මාවතට ප‍්‍රාර්ථනාවක් වැඩම කර ඇත්තේය. අසූ වියට එළඹ මහ නායක පදවි ධූරිණව ඇත්තේ තවමත් පසඟ පෞරුෂයෙන් පනස් වියවත් නොපෙනෙන කඩිසර අබල දුබල නොවූ මනා නුවණින් හා සිහියෙන්ද, පරිකල්පනයෙන්ද උජ්ලිත වූ සමාජමානී සමාජගාමී සජීවී සිරිතකි. ඉතින් අපේ මහනායක හාමුදුරුවන් වහන්සේ මත සමාජ ප‍්‍රාර්ථනා ගොඩකි. සබුද්ධික මහ සඟුන් වහන්සේලා සමුදායක් සපිරි විනීත සංවර සඟ ගණයට සසුන් භාර ධාරීන් වහන්සේ වූ උන් වහන්සේගෙන් ජාතිය පින්සාර ප‍්‍රාර්ථනා පුරමින් සිටින්නේය. සසරේ පිරූ පිං මහිමයක් නිසාදෝ සුහුඹුල් යෞවනයේ සිට මේ භද්‍ර යෞවනය දක්වා ඉත්තෑපානේ මහ තෙරිඳු සමග සමීප බැඳීමක් හා ඇසුරක් ලබන්න වාසනා මහිම ලදිමි. සටන් අත් හැර පසන් සිතින් ප‍්‍රඥා දැක්මෙන් ජාතික සාසනික මෙහෙවරකට ගොමු ගත විය හැකි සසුන් භාරධාරීන් වහන්සේ නමක පත්වීමේ ධර්මානන්දය වින්දනය කරමි. එමෙන්ම මහ තෙර නමකසේ ජාතියද සසුන ද මෙහෙයවීමට නම් මෙරට ඉතිහාසය, සසුන, සමාජය හා දේශපාලනයද මනා කොට වටහා ගත් එහි ඇලී ගැලී රැුවටී කිළුටු නොවන මහ සිරිතක් විය යුතුය. අපේ මහ නායක හිමි පාණන් මේ සියලූ සුදුසුකම් මැනවින් සපුරා ඇති විට දුර්දාන්ත සමයක සහන් එළියක් දක්නෙමි. ජාතිකවාදය, ධනවාදය, මාක්ස්වාදය, ලිබරල්වාදය සහ සමාජවාදය යන මේ කොයි අරුතත් මැනවින් දැනගත් භික්‍ෂූන් වහන්සේ නමක සේ අපේ මහ නායක හාමුදුරුවන් වැදගත් වේ. එමෙන්ම සිරිලක් පොදු ජන සම්ප‍්‍රදායද අපරදිග ජන සම්ප‍්‍රදායද දිවි ගෙවා තුමුම අවබෝධ කර ගත් ඥාන අවබෝධයක් අත්දැකීමෙන් උන් වහන්සේ සතුය. මේ සියල්ල මැද අපූරුව සුමට මුදු ගුණ වෑහෙන ව්‍යක්ත නිර්මාණශීලි භාෂාවකින්ද ශාස්තී‍්‍රය ගැඹුරින් පේ කර ගත් භාෂාවකින්ද හෙබි පන්හි`දක් අපේ මහනායක හිමිපාණන්ට තිබීමය. සැබවින්ම ‘‘බුදු බව පතන බලංගොඩ ආනන්ද මෛත‍්‍රී හාමුදුරුවෝ’’ නමින් උන් වහන්සේ ලියා පළ කළ පොත තරම් සඟ සිරිත ජන සිරිතක් කළ පොතක් මේ ලක ඇත්තේම නැත. පොත හුදියාගේ සිට උගතා දක්වා අත් පොතක් වී නැවත සඟ අපදාන රචනයට මාවත විවර කර තැබූ කෘතිය වී ඇත්තේ ඒකය. 
මේ සියල්ල මැද කතාවක් විය යුතු ගැඹුරු කරුණකි. ඒ කෝට්ටේ කල්‍යාණ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායකව වැඩ විසූ නොබෝදා අපවත් වූ පරම පූජනීය අග්ග මහා පණ්ඩිත බෙල්ලන ශ‍්‍රී ඥාන විමල මහනායක හිමිපාණන් දිවිමන්ව වැඩ සිටියදී කළ කාර්යය. එනම් ඉත්තෑපානේ මහ තෙරිඳු වැඩ බලන මහ නායක සේ පූජිත කොට උන් වහන්සේ මතු සසුන් භාරධාරීන් වහන්සේ සේ අභිිධාන කිරීමය. මේ ගැඹුරු අරුත පෑ¥ සසුන් චාරිත‍්‍රයකි. එය ගුරු දේව මහ තෙර සිරිතක දුර දැක්මද සියල්ල අත් හල  හැකි පරම නිවනෙහි අරුත් මාවත පෙන්වූ දුර්ලභ චරිත සිරිතකි. මේ සියල්ල පෙන්වා දී ඇත්තේ කෝට්ටේ කල්‍යාණ සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහ නායක පරම පූජනීය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාරභිධාන යති සිරිතේ තීරක සම්ප‍්‍රාප්තියෙහි ජාතික අරුතය. 

චරිතයක් සිිරිතක් වන්නේ පදවිය නිසා නම් නොවේ. පදවිය පවා බැබලවිය හැකි සිරිතක් පදවියකට පත්වීම සිරිතත් පදවියත් රටත් දැයත් සමයත් ලබන විපුලත්වයය. එබැවින් ඉත්තෑපානේ යති සිරිත වූ කලි  සිරිතක් වී පදවි ප‍්‍රාප්ත පදවියකි. සුපේක්‍ෂලශීලීත්වය හා විනීත සටන් කාමීත්වය ද සංවර දුර දක්නා බවද කැටි වූ නායක හිමිපාණන් වහන්සේ විප්ලවීයද වූ චරිත සිරිතකි. ගෙවී ගිය දශක ගණනාවකදී උන් වහන්සේ මෙරට බුද්ධිමය ශාස්ත‍්‍ර වාද විවාද පොහොසත්් කරනුයේ ඒ බව විද්‍යාමාන කරමිනි. එමෙන්ම ජාතික විපත් අභිමුව පෑ විනීත විචක්‍ෂණ නායකත්වය පෙළහැර පෑ පරමාදර්ශයක්ම බඳුය. එමෙන්ම සියලූ ආගමික නායකයන් සමග සමීපවද ගෞරවනීවද සහෝදරත්වයෙන් බැඳී සිටින්නට ඉත්තෑපානේ මහ තෙරිඳු පා ඇති සමත්කම ජාතික අරමුණ, ජාතික රාජ්‍යයට අවශ්‍යම අධ්‍යාත්මික නායකත්වයක සඵලතාවය. වියතෙකු වූ මහ තෙර නමකට ජනතා රුචිය වඩන ලෙස හා ජන හද මනස බැඳෙන ලෙස ධර්ම දේශනා පැවැත්විය හැකි නම් ඒ හුදී දනන් ලබන පිනකි. මහ නායක හිමිපාණන් ඒ අරුතින්ද වටින්නේය. 

රට තීරණාත්මක අර්බුද මොහොතකට වැටී ඇති අගාධය අභියස මහනායක හිමිපාණන් මහනායක ධූරන්දර වී ඇත. සසුන විලෝපනයකට ගොදුරුව ප‍්‍රඥා ධර්ම පූර්ණ භික්‍ෂූ පතිරූප ඇවැසි මොහොතක  උන් වහන්සේ සිරිලක නාගරික සඟ ගණයෙහි අධීක්‍ෂවරයාණන් වී තිබේ. මේ සියල්ල එක් ඓතිහාසික ගලායෑමකි. තම අසූ වන ජන්ම දිනය එළඹි විටම ස්වකීය පැවිදි දිවි මග ඇරඹි නිකායෙහි මහ නායක ධූරයට වරම් ලැබී ඇත්තේ උන් වහන්සේගේ අවබෝධගාමී සංසාරික කාල සටහනකට අනුව යැයි මම සිතමි. ස්වකීය සඟ පරපුරේ පූර්ව ගාමීන්ට යුක්තිය හා ගරුත්වය ඉටු කළ හැකි තරම් පැණසර මහ තෙර නමක් සේ  ඉත්තෑපානේ මහ තෙරිඳු පදවි උදානය අප වෙත ප‍්‍රහර්ෂය ළඟා කර ඇත්තේ එබැවිනි. ඒ වගේම ඉත්තෑපානේ මහ තෙරිඳුට මහ නායකව වැඩ වසන්නට සිදුව ඇත්තේ උන් වහන්සේගේ  පූර්වගාමී ගුරු දේව පරපුරට වෙනස් සමාජ වටපිටාවකය. නමුත් වෙනස්වීමත් වෙනස් වන අයුරු හා වෙනස්වීම ධර්මතාවය බවත් පුරුදු පුහුණු කළ ධර්ම දැක්මෙන් පේ කළ, එය ජීවිත අභ්‍යාසයෙන් වටහා ගත් භික්‍ෂුවක් වූ මහ තෙර නමට මේ වෙනස් වටපිටාවට සුගති ධර්ම මාවත පෙන්විය හැකි යැයි සිතමි. අතෝරක් නැති විලම්බීත හා ආටෝප සාටෝප හා හිස් පුස් ව්‍යාජ රැුළි මාලාවකින් ගැවසී ගත් ලක් බුදු සසුන ධර්ම ප‍්‍රඥාවෙන් ශෝධනය කරන මග මාවතක් ඉත්තෑපානේ ධම්මාලංකාර තෙරිඳු ආගමනයෙන් සිදු වෙතැයි සිතමි. එම ප‍්‍රාර්ථනය පැතුමක් තරමට මහා සාරවී ඇත්තේ පරිනත පළපුරුද්දකින් මතු වූ උන් වහන්සේගේ ආගමනය සමගය. මේ සමග එක් ඓතිහාසික ආඥාවක් හැබෑ වී නූතනය තුළ යළිත් රෝපනය වී ඇත. ඒ කෝට්ටේ රාජධානිය බිහි වූ දා පටන් ඒ රාජධානියට මතය හා දිරිය සැපයූ රයිගම් පුත‍්‍රයන් අභිධාන වන සැටිය. පළමු කෝට්ටේ යුගයේ සිදුවූ ඒ දේ මේ දෙවන කෝට්ටේ යුගයේද සිදු වී ඇත්තේය. රයිගම් පුත‍්‍රයෙක්ම අභිෂේක ලබා යළිත් කෝට්ටේ සග සසුනේ භාරධාරීන් වහන්සේ වී ඇත. රයිගම් පුත‍්‍ර ඉත්තෑපානේ මහ තෙරිඳු කෝට්ටේ සංඝ සභාවේ නායකත්වයට වැඩම කර ඇත්තේ ඒ ඉතිහාසාගමනින් බව කිව යුතුය. එබැවින් පෙර රයිගම් පුත‍්‍ර සඟ පරම්පරාව සේම සුජ්ජලිත ඉතිහාස පරිච්ෙඡ්දයක් 
අපේ මහනායක හාමුදුරුවන් වහන්සේ ජාතියට උදා කරන බව නම් නිසැකය.