Thursday, September 24, 2015

බෙදුම්වාදය



ඉතිහාසය බෙදා ගත් විට ජනතාව බෙදාගත හැකිය. ජනතාව බෙදාගත් විට බෙදා ගැනීමේ මතය ඇත්තන්ට බලය ලබා ගන්නට පුඵවන. බෙදුම්වාදය උපදින සරළම සරළ ඇත්ත මෙයය. එවිට බෙදුම්වාදය යන්න ඇතිවේ. ලංකාවේ බෙදුම්වාදය ඉහළින්ම එසවි ඇත්තේ ඉතිහාසය තුළය. බෙදුම්වාදී ඉතිහාසය බෙදුම්වාදින් විසින්ම බිහි කර ඇත්තේය. ලංකාවේ නූතන ඉතිහාස කථනය පටන් ගත්තේ ඉංගී‍්‍රසි ජාතිකයන්ය. ඔහුනගේ ඉතිහාස ලිවීම තුළ තිබූ බැල්ම ආගන්තුකයකුගේ විමතිය ප‍්‍රහර්ෂය පුදුමය හා සැකයය. මේ සියල්ල කැටි කරගෙන ඉතිහාසය දෙස බැලූ සුදු ජාතික ඉතිහාසාඥයන් නිසා ස්වදේශීය ඉතිහාස කරණය යලි මතුවේ. එ වන විටත් ”සුද්දාට පස්සේ අපි”... යන ප‍්‍රාර්ථනාවේ සිටි දේශිය ප‍්‍රභූන්ට බලය සදහා ඉතිහාස උවමනාවේ. එ අනුව දෙමළ උගතුන් තම උරුමයට ලංකාව ගැට ගසා ගෙන ඉතිහාසය ලියන අතර , සිංහළ උගතුන්ද එයම කරන්නේය. ඒ අනුව දෙගොල්ලන්ම එකතු වී බෙදී වෙන්වීම සදහා ඉතිහාසය ගොඩ දාන්නේය. මෙහිදි සිංහල උගතුන් අතර තවත් බෙදීමක් ඇති වන්නේය. ඒ සිංහල ජන සමාජය අතර මුලිකයා වීමට කුල අරගලයන් මතු වීමය. ඒ අනුව වඩා උරුමය ඇති කුල වංශයට අනුව ඉතිහාසය ගොඩනැගීමටද සිංහල උගතුන් දරණ වෑයමක් ද මතුවේ. ඒ අනුව බෙදුම්වාදය පැතිමාන ගණනාවකට පැතිරේ.
මේ අනුව ඉතිහාසය සිංහල බෙදුම්වාදයටද දෙමළ බෙදුම්වාදයටද අනුව ලියවේ. ඒ අතරට ලක්දිව ඉතිහාසය යළි හෙළ ඉතිහාසය සහ සිංහළ ඉතිහාසය ලෙස බෙදුම්වාදිව ලියවේ. කුමාරතුංග මුනිදාසයන් විසින් ඇති කරන භාෂානුරාගික ව්‍යාපාරය හෙවත් ”හෙළ හවුල” නිසා හෙළ ඉතිහාසය මතුවන්නේ සිංහ ඉතිහාසයට එරෙහිව යමිනි. අවසානයේ එය ලංකා ඉතිහාසයේ දුරාතිතයේ සිට පැවතුණ බෙදුම්වාදයකට නූතන ජීවය රැගෙන එන්නේය. ඉන්පසු ඉතිහාසය තුල බෙදුම්වාදය පටන් ගන්නේ වඩා නූතනවාදින් සේ තමන්ව හදුනාගත් මාක්ස්වාදීන්ය. ඔවුහු ඉතිහාසය පන්ති වාදයකින් බෙදා බැලූවේය. එසේ පන්ති බෙදීමෙන් ඉතිහාසය බෙදුම්වාදයට ලක් කර තැබුවේය. මෙහෙම ඇදෙන ඉතිහාසය බෙදුම්වාදයට යට වීමේ කථාව දිගට ගලන්නේ ධනවාදින්ද ලිබරල්වාදීන් ද ඉතිහාසය තුල බෙදුම්වාදය සොයන්න ගත් වෑයම නිසාය. ඔහුනට අනුව ඉතිහාසය බලය අනුව ලියවෙන කියවෙන විෂයක් වන්නේය. එතකොට දැන් ප‍්‍රශ්ණය නූතන බෙදුම්වාදය මෙහෙම පටන් ගත්තද ඉතිහාසය තුළ බෙදුම්වාදය කොහම පටන් ගත්තාද යන්නය. එය හරිම ස්වභාවික කථාවකි. බෙදුම්වාදය ඉතිහාසය ආරම්භ වූ දා පටන් ගන්නට ඇත. එත් බෙදුම්වාදයට බෙදුම්වාදයම නොව බහුවාදයද එදාම ගොඩනැගෙන්නට ද ඇත. ප‍්‍රශ්ණය වන්නේ බෙදුම්වාදය නඩත්තු වෙමින් ගලා ඒමත් බහුවාදය එසේ ගලා නොයේමත්ය.

ඒ නිසා ඉතිහාසය කිව්ව ගමන් මතකයට එන්නේ යුද්ධයය. යුධ විරුවන්ය. සෙන්පතින්ය. යුද්ද බිමේ උන් අලි ඇත්තුය. යුධ විරුවන් රජ විරුවන් වූ හැටියය. එ යුධ රජුන් හැදු අරාම ප‍්‍රසාදය. කථාව පේ‍්‍රමය නම්, ඒ පේ‍්‍රමය යුද්ධ කරපු රජුගේ පේ‍්‍රම කථාවකි. කථාව ජන කථාවක් නම් ඒ කථාවත් යුධ විරුවෙකුට සින්න වු කථාවකි. කථාව ළමා කථාවක් නම් ඒකත් රණවිරු යුධවිරු චරිත වල ළමා වියේ කථාවන්ය. සංකේත සළකුණු ධජ පතාක සේසත් මුර ආයුධ වල පටන් සෙල් ලිපි පත පොත පත්ඉරු රන්පත් තඹපත් මේ හැම දේම විතරක් නොව බුදු පිළිමයත් දන්නේ ඒ  සියල්ල රණකාමි රජුන් හැදුවේ නම් පමණය. මෙහම වෙන්නේ මන්ද. එහෙම වෙන්නේ බෙදුම්වාදය නඩත්තු වන නිසාය. එය නඩත්තු කර හැකි ලොකුම තැන ඉතිහාසය නිසාය. එ නිසා කිසිවෙක් ඉතිහාසය බෙදුම්වාදින්ගෙන් බෙරා ගැනීමේ අරගලයට අත තබන්නේ නැත. බෙදුම්වාදයට විරුද්ධ අය හිතන්නේ ඉතිහාසය අමතක කර දැමූ විට මානවයා නවීන වන බවය. එසේ නවීන ඩිජිටල් මිනිසා බවට හැරෙන බවය. ඒ ”ඩිජිටල් මානවයා” වාද භේද බින්න නැති එක මිනිස් යායක් හදන බවය. මේ තවත් බෙදුම්වාදයකි. ඉතිහාසය එපා කියන්නේම බෙදුමකි. එසේ මිනිසා තම මුල් වලින් ගලවා අලූත් ඉතිහාසයක් ලියන්න යාමම බෙදුම්වාදයක් බව කියාපාන්නේ ඔහුහු මහත් උත්කර්ෂයෙන් තැනූ ඩිජිටල් මිනිසාමය. ඩිජිටල් මිනිසා විසින් තැනූ ඩිජිටල් ත‍්‍රස්තවාදය පෙන්වා දෙන්නේ මුල කැපූ මානවයා කෙතරම් සැහැසි වී බෙදුම්වාදය ජිවිතය කරගෙන ඇත්තේද කියාය. එ නිසා මූල පාදන විෂය අතහැර මානවයා මානුෂිකව පූර්ණ කිරීම කල හැක්කක් නොවේ. මේ ගැටුම් ගැන ලංකාව ගැඹුරට හිතන්නට  ඕනෑය. එ ඉතිහාස ජාතියක් මෙහි වෙසෙන බැවිණි. මේ සදහා ඇති හොදම සිතුවිල්ල බෙදුම්වාදීව ඉතිහාසය ලියා ගැනීම අතහැර ගැනීමය. ඉතිහාසය යනු සිදුවීම්ය. එ සිදුවීම් අතර වටිනාකම නොවටිනාකම තීරණය කිරීම සිදුවන්නේ රචකයන් අතිනි. රචකයන් බෙදුම්වාදීන් වන්නේ නම් බෙදීම බෙදීම  සේ පවති. ඇත්තට ම දුටු ගැමුණුගේ ආදර කථාව ලියන්න කැමති වුවත් මහසෙන්ගේ බුද්දදාසගේ සීගිරි කාෂ්‍යපගේ ආදර කථාව ලියන්නේම නැත. එ මන්ද, වාරිපොල සුමංගල හාමුදුරුවොත් කුඩාපොල රාහුල හාමුදුරුවොත් ථෙරපුත්තාභය හාමුදුරුවොත් ගංගොඩවිල සෝම හාමුදුරුවොත් මිගෙට්ටුවත් ගුණානන්ද හාමුදුරුවෝත් වෙනුවෙන් ප‍්‍රතිමා ඉදි කලාට විදාගම මෛතී‍්‍රය මහනාම තෙර පරපුරට මේ රටේ ප‍්‍රතිමා නැත. ධර්මපාලතුමා සැමරුවද ආනන්ද කුමාරස්වාමී සමරන්න සමරු උත්සව නැත. මේ පෙන්න්නේ බෙදුම්වාදී ඉතිහාසය නිසා අප වෙතින් ගිලිහි යමින් ඇති ඉතිහාසයය. එහෙම නැත්තම් මානවීය ගුණ කදය. එසේනම් ඉතිහාසය ඉතිහාසය ලෙසම තබා පවත්වා පෝෂණය කර ගන්න බැරි කුමන හේතුව නිසාද. එ හේතුව නම් ඉතිහාසය තුළ වගේම සමාජය තුලත් බෙදුම්වාදය පරාජීය කර ගන්නට බැරි වීමය බෙදුම පරාජය කරනවා කියන්නේ බෙදුම්වාදීන්ට තුඩුදෙන දේවල් මකා දැමි ද නැත. එසේ කලොත් ඉතිහාසය විකෘති වේ. කළ යුතු වන්නේ ඉතිහාස සියළු සිදුවීම් එක සමානව පවත්වා ගැනීමය.

ලක් ඉතිහාස අන්දරය එවන් පෝසත් කටයුතුව ඇරඹු ව්‍යායමයකි. ඒත් මහාවංශයට එරෙහිව චූල වංශය ලියවීමත් සමග බෙදීම මතුවන්නේය. එයත් සමග බෙදීම් සහගත රචනාවත් ඉතිහාසයෙන් මතු කර ගැනීමට මහත් වෑයමක්ද සිදු කරන්නේය. ඒත් ප‍්‍රශ්නය වන්නේ පාර්ශව සියල්ල පසුව පෙන්වන්නේය බෙදුම්වාදයට බර තබන ඉතිහාසය වීමය. මේ ගැටුම උත්සන්න වන්නේ ලංකාව යටත් වූ සමයේය. එ හැමෝම සුදු අධිරාජ්‍යය ආයුධ ඔසවා පරාජය කළ හැකියැයි සිතු නිසාය. ඒ නිසා ඉතිහාසයෙන් යුධ රජුන් සොයා සොයා මතු කලේය. සුද්දා දිනුවා මිස සිංහලයා දිනුවේ නැත. කාලය අවසන් වූ විට සුද්දා යන්න ගියේය. ඊට පසුව ‘බෙදුම්වාදය’ සිංහලයා දෙමළාටත් දෙමළා සිංහලයාට භාවිතා කළ ඉතිහාස සංකල්පයන් වූයේය. බෙදුම්වාදයට භාවිතා කිරීමට උවමනා නොවූ මහසෙන්ලා පණ්ඩුකාභයලා සීගිරි කාශ්‍යපලා මානවම්මලා මහා වීරයන් සේ සිංහලයන් දෙමලූන් නොදකින්නේ මේකය. ඇත්තටම අප දෙගොල්ලාටම ජිවත් වී ජිවත්වන්න ජිවිතය සොයා දුන් ඉතිහාස පරිච්ෙඡ්ද අපමණව ඇතත් එවාට නුතන ජීව ඥාණය ලබා දෙන්නට අප තවමත් අපෝසත්ව ඇත්තේ ඒකය. යුධ විරුවන් අවශ්‍ය නොවන කාලයක් ඇවිත් මේ අපිට සොබා දහම කියන්නේ එ කථාවය. වහ වහා බහු විද විරුවන් සොයා යන්නට දී ඇති කාලයයි මේ.

සුජිත් අක්කරවත්ත

Wednesday, September 9, 2015

රෑ රජ්ජුරුවෝ

                           

   වෙනසක් වෙනුවෙන් එකතුවක් හැදෙන්නේ වඩාත්ම පොදු හැගීමක් ඇති වෙන විටය. ඒ විදියට හැගීමක් ඇවිත් මිනිස්සු එක් තැන් වේ. මේ එක් තැන් වීම ගැන කථාව අතීත තතු අතරේ ඇවිද ඇවිද සොයන විට හමුවන වෙනස සදහා වූ කථාව හැබෑවන්නේ ලෝක වර්තාවක් ලක් රාජ සම්ප‍්‍රදාය තුලින් බිහි වීමෙනි. යක්කු යක්කු විදියටත්, නාගයන් නාගයන් විදියටත්, රකුසන් රකුසන් විදියටත්, සිංහයන් සිංහයන් විදියටත්, දේවයන් දේවයන් විදියටත් වඩා බලවත් වීම රාජ්‍ය පාලනයයි සිතා සිටීම වෙනස් විය යුතු යැයි අදහසක් මතු වේ. ඒ අදහස මතු වන්නේම සම්බුදු ඔවදන නිසාය. තුන් රටේ ඇත්තෝ එක රටක් හදාගන්න දරන වෑයමට මල් පිපෙන්නේ ඔහොමය. ඒත් තුන් සිංහළය ‘සිංහලය’ කර ගැනීමට ගෙතූ නව වෙනස හැබෑ කර ගැනීමට සිතූ තරම් පහසු වූයේ නැත. මේ අසීරු වෑයම අතට ගන්නට පණ්ඩුකාභය ශාක්‍යසිංහ මතුවන්නේය. ඔහු අභය විජයසිංහ සමග බැදගත් සම්මුතිය ඒ වෙනස හැබෑ කර වන්නේය. පණ්ඩුකාභය රාජ්‍ය බලය පතා සටන් කරමින් සිටි අතර, අභය යුවරජ පදවිය දරමින් රාජ්‍ය මතවාදය වෙනස් කිරීමේ අරගලයට උරදෙමින් උන්නේය. ඒත් අභයට ලංකාවේ ඉතිහාස කතාවේ ඉඩක් නැත. එහෙම වෙන්නේ ගැඔුර පාදන මග වෙනුවට නොගැඹුර සොයන ඉතිහාස කේවට්ටයන් නිසාය. කොහොමින් නමුත් අභය සහ පණ්ඩුකාභය දෙපළ ලක් දේශපාලනයට දායාද කළ සම්මුති සහිත රාජ පාලනය නිසාම ‘යහ පාලනය’ බිහි වන්නේය. ඒ කි‍්‍ර:පූ පස්වන සියවස තරම් ඈත දවසකය. සම්මුති හා යහපාලනය යන්න නූතන වෙනසකටද හැගීමක්  දෙන්නේ මේ ඉතිහාස පූර්වේ නිමිත්ත මතය.

     ඉතිහාසීය සිදුවීමක් වදනක් දැක්මක් සහ වටපිටාවක් ආයිත් ඒ විදියටම පෑහී එසේම වෙන හැටි ලංකාවේ සිදුවන පොදු ඇත්තකි. සරලව කියන්නේ නම් එළාර ආවිට සම්මුතියට සද්ධාතිස්ස ආවේය. ඒත් සම්මුතියේ සද්ධාතිස්ස ද්‍රෝහියා බව කියමින් දුටුගැමුණු දකුනේ රජ සේ ඔටුනු පළදින්නේය. ඒ දුටුගැමුණු එළාර අහවර කර දැමු පසු ද්‍රෝහියා යැයි ජනතාවම ඉවත දැමූ සද්ධාතිස්සට යලි ඔටුනු පළදන්නේය. එය කි‍්‍ර:ව පළමුවන සියවසේ සිදුවන්නේය. ඒ වගේම වට පිටාවක් ඇවිත් ප‍්‍රභාකරන් ආවිට වික‍්‍රමසිංහ සම්මුතියට ආවේය. ඒත් සම්මුතියේ වික‍්‍රමසිංහ ද්‍රෝහියා වී දකුණ රාජපක්ෂව ඔසවා රට භාර දුන්නේය. රාජපක්‍ෂ ප‍්‍රභාකරන් නැසූ පසු ජනතාවම ද්‍රෝහියා යැයි පැවසූ වික‍්‍රමසිංහට යළි ජයග‍්‍රහනය ලබා දෙන්නේය. මේ සිරිළක හැටියය. ඒ නිසා අතීත සංඥාව නිබදවම ගලා යන්නේය. ඒ නිසා සිරිලක බලය කවුරුන් ගත් නමුත් ‘ජාතික රචකයා’ තැනූ ජාතික ආනුභාවයේම එය ගමන් කරන්නකි. මේ උදාහරණයෙන් යලිත් රෑ රජ්ජුරුවන්ගේ කථාවට යායුතුය.

 එක්සත් ජාතික වාදය සහ යහපාලනය උදාකර ගැනීම සදහා වූ පණ්ඩුකාභය සහ අභයගේ සම්මුතිය ජය ලබන්නේය. මේ ජයග‍්‍රහණයෙන් අනතුරුව රජ පදවිය අමුතු විය. රජතුමා ලෙස එක විට දෙදෙනෙකුට ඔටුනු පැළද විය. දෙදෙනාම නොබිදී පවතින තුරු එක්සත් බවත් යහපත් පාලනයත් පවතින සම්මුතිය සදහා මූලික විය. ඉතින් ලොවේ කවර දේශයකවත් කවර ජාතියක්වත් බිහි නොකල පූර්ණ මහා සම්මුතියක් ඇතිවන්නේ එසේය. ඒ අනුව පණ්ඩුකාභය සිරිලක දහවල් රජ්ජුරුවෝ වූ විට අභය රෑ රජ්ජුරුවෝ වූවේය. රජුන් දෙදෙනෙක් එකම රටක් එකම පාලනයක් එකම කිරුළක් එකම සේසතක් නගා පාලනය කළ ලොව මුල්ම හා එකම අවස්ථාව මෙය වන්නේය. ඒ අතින් ලොවට දිය හැකි මහා දේශපාලන පෞර්ෂයක් සපිරි ජාතිකාඩම්බරයක් හා විභූතිමත් දර්ශණයක් අප සතුව ඇත්තේය. දැන් කළ යුතුව ඇත්තේ මේ ගැඹුර ඇතුළටම කිමිද බලා කියවා ගැනීමය. කෙළෙස් සහිත මිනිසුන් දෙදෙනෙකු මෙසේ සම්මුතියෙන් සමපාත වීම  විශ්මයකි. පණ්ඩුකාභයත් අභයත් සමවැසිව දැරූ රජ පදවිය කිසි කළේක අනෙකා අභිබවා නොගිය පුදුම බැදීමකි. ශ‍්‍රී ලංකා රාජ්‍ය ඓතිහාසික වූද ප්‍රෞඩ වූද බිද වැටුනද යලිත් ගොඩ නැගිය හැකි  ඕනෑම අවිචාර යුගයක විචාර සම්පන්නව නැගිටිය හැකි ගුණය ලබා ගන්නේ මේ මහගු ඇරඹුම නිසාය. ඒ නිසා මේ පුරුෂයන් දෙදෙනාගේ භාව ගැඹුරු පේ‍්‍රමණිය දේශපාලන සම්මුතිය ගැන කථා බහක් ගැඹුරින්ම පටන් ගත යුතුය. යහපාලනය හා සම්මුතිය යලිත් වෙනසෙහි තේමාවී ඇත්තේය. පෙර සිදුවීමට යුක්තිය ඉටු කළ හැක්කේ නව සිදුවීම පෙර සිදුවීම තරමට ගැඹුරෙහි තබා ගෙනය. වික‍්‍රමසිංහ ලෝක වාර්තාවක් සම කරමින් සිරිසේනයන් සමග මේ ගෙනයන දේශපාලන සම්මුතියද ඒ තරම් ගැඹුරට යායුතුය. කොහොම උනත් රෑ රජ්ජුරුවෝ ගැන ලිවිය යුතුයි යැයි සිතුවේ ඒකය. අභය විජේසිංහ කියන්නේ පඩුවස්දෙව් විජේසිංහ රජුගේත් භද්දකච්චායනා ශාක්‍යසිංහ දේවියගේත් දෙටු පුතුය. තවත් සරළව කියන්නේ නම් සිරිලක පලමු රජු විජයසිංහගේ සොයුරු සුමිත්තය. සුමිත්තගේ පුත‍්‍රයා පඩුවස්දෙව්ය. ඔහුගේ පුත‍්‍රයා අභයය.

    අභය විජේසිංහ රජු ගෝත‍්‍රවාදය හා අශිශ්ඨ මුග්ධ රණකාමය ලක්රාජ දේශපාලනයෙන් ඉවත හෙලා දැමීමට ප‍්‍රමුඛ වූ නායකයාය. යුද විරුවන්ම සොයන්න ඉතිහාසය කාල් ගාන ගෝත‍්‍රක ඉතිහාසවේදීන්ට මේ මිනිස්කමේ විරුවා පෙනෙන්නේම නැත. උතුරාලන මනුෂ්‍ය පේ‍්‍රමයේ හා ජාතියේ සදාතනික පැවැත්ම ස්වකීය හදවතේ පළමු යුතුකම කරගත් අභය ගැන පටුනක් ජේදයක් පොතක් ලියන්න කවුරුවත් මෙතුවක් ඇවිත් නැත්තේ ඒකය. අභයගේ නැගෙනිය උන්මාද චිත‍්‍රාය. උන්මාද චිත‍්‍රාගේ පුත‍්‍රයා පණ්ඩුකාභයය. අභය මාමා වන විට පණ්ඩුකාභය බෑණා විය. රාජ සම්මත යුගයේ ජාන බන්දනය රාජ පාලනයට වැදගත්මය. එය නොසිතන ජනසම්මත යුගයේත් ඒසා වැදගත්ය. මන්ද ජේ.ආර්. ජයවර්ධන මාමාගේ ක‍්‍රමයේ වෙනසට වික‍්‍රමසිංහ බෑණාම  ඕනෑ වූයේය. රෑ රජ්ජුරුවොත් දවල් රජ්ජුරුවොත් වගේමය. බල තල ඇති ජනපති හා බල තල ඇති අගමැතිය. ඉතින් පීරා ගොසින් අතීතය විද නේක දුක් ගැහැට මැද කළහැකි බව හොද යමක් පසක් කරගත් යුගයකි මේ ඒ වගේම ගැඹුරටම සොයන්න පද ඇත්තේ ඉතිහාසයේ බව මේ සියල්ල කියා දෙයි. ඒ වගේම පළමු රෑ රජ්ජුරුවෝ වගේම පළමු දවල් රජ්ජුරුවෝ වගේම මේ උදාවෙන් හොද බිහිවෙතැයි සිහින දකිමින්ම සිට පලක් නැත. හොද පවතින්නේ ‘ජාතික රචකයා’ බලවත් වූ පමණින්මය. ඉතින් මහාවංශය එක්ක ජාතික රචනාව තවත් පෙළ ගැස්විය යුත්තේය.

සුජිත් අක්කරවත්ත