Sunday, June 28, 2015

තුන්සියෙන් තුන්සියට



සිදුවීමක් සිදුවන්නේ සිදු වන ලෙසය. ඒත් විටෙක සිදුවන සිදුවීමක් තීරණාත්මක වන්නේය. එවිට ඒ සිදුවීම් සුවිශේෂි වේ. එ සුවිශේෂි බව නිසාම ඓතිහාසික සන්ධිස්ථානයක් බවටද පත් වේ. මෙහෙම පත් වූ තිරණාත්මක ඉතිහාස සන්ධිස්ථාන යනු සර්වකාලීන සිදුවිම්ය. සිදුවීම යහපත් වුවද අයපත් වූවද එය හැම කාලයටම බලපාන මූල සීදුවීමක් වන්නේ මෙහෙමය. බුදුන් වහන්සේගේ ලංකාගමනය විජයසිංහ කුමරුගේ ‘‘සිංහාගමනය’’ වගේම මිහිදු හිමිගේ මහින්දාගමනයයි මේ වගේ සිදුවිම්ය. එළාරගේ ලංකා අක‍්‍රමණය, කාළිංගමාඝගේ ආක‍්‍රමණය’ ආදියේ සිට මේ වගේ හොද නරක කුමක් වුවත් සිද්ධියත් සිද්ධිය තීරණාත්මකව ඒ  නිසාම ඉතිහාසගත වී ඇත. ලංකාවේ සිදුවීම් ඓතිහාසික වන විට හමුවන අමුතු තාලයක් වන්නේය. එනම් සිදුවීමක් සිදුවන තාලයක් රිද්මයක් ඇති වීමත් සිදුවීමෙන් සිදුවීමටම සමාන කාල රිද්මයක් ඇති විමත්ය. මේ නිසා ලක් ඉතිහාස වත හරි හැටියටම තේරුම් ගැනීමට වදන් අකුරු ජාන වගේම සිදුවිමෙන් සිදුවිමට ඇති අමුතු රිද්මයක් මුලික වේ. එ අනුව ඉතිහාසය වදනින් වදනට අකුරෙන් අකුරටද ජානයෙන් ජානයටද වගේම සිදුවීමෙන් සිදුවීමත් මත තැනි ඇති ‘‘රිද්මයත්’’ සෙල්ලිපි නටඹුන් වගේම ඉතිහාස සොයන්න ඇති සාධකයකි.

   මේ සිදුවීමෙන් සිදුවිමට සිදුවී ඇති සිදුවීම් වල රිද්මය මේ විදියට අමුතු සේයාවක් දිස් කරයි. බුදුන්ගේ ලංකා ගමනය සිදු වී හරියටම සියවස තුනක් ගෙවී යන තැන මහින්දාගමන සිදු වී හරියටම තුන්සිය වසරක් හෙවත් සියවස් තුනට පසු බුද්ධසේන සහ පාහියන් ආර්යපාදයන් වහන්සේලාගේ ලක් ගමනය වන්නේය. ඉන් හරියට සියවස් තුනක් ගෙවී ගිය තැන මෛති‍්‍ර භවන්ත ආර්යපායන්ගේ ලංකාගමනයද සිදු වන්නේය. මෙහම ගිහින් මේ ගමන ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිගේ ලංකාගමනය දක්වා සිදුවන්නේ තුන්සිය වසරකට වරක්ය. එතකොට බුදු හිමියන්ගේ ලංකාගමනය හි සිට ලක්දිවට ආගමනය වූ තිරණාත්මක පැවිද බෞද්ධ චරිත සියවස් තුනින් තුනටම වැඩම කර ඇත්තේ මන්ද?. එවිට තෙරෙන්නේ සිදුවීමෙන් සිද්ධවීමට රිද්මයක් ඇති බවයි. ඒ රිද්මයට එකම තාලයක් ඇති විට එය සිතිය යුතු ඓතිහාසික රහසකි. රහස් අනාවරණය කර ගැනීමම ඉතිහාසය අනාවරණය කර ගැනීමය. ඒත් ඉතිහාසය සෙවීමට ඇති මග ලෙස තවමත් සොයන්නේ සෙල් ලිපි පත පොත පූරාවිද්‍යා නටඹුන් සහ ප‍්‍රාග් මෙවලම්ය. එනමුත් ඒ කිසිවකින් වටහා ගත නොහැකි, ඉතිහාස රහස් ගබඩාවහි යතුර සිදුවීම් වල රිද්මයන් අතරින් සොයා ගත හැක. එවිට සිදුවීම හා රහස එකට පෑහෙන බව කිව යුතුය. 

   මේ විදියට ගත් විට බුදු සසුනට අදාල සිදුවීම් සියවස් තුනෙන් තුනට සිදුවී එම සිදුවීම් තීරණාත්මක වී ඇත. ඒ වාගේම ලක් ජනසිරිතට අදාල ගිහි සිරිත් තීරණාත්මක සිදුවීම් සිදුකර ඇත්තේද එවන් රිද්ම පෑහීමක් අනූවය. කී‍්‍ර:පූ 6 වන සියවසේ විජය රජු ජාතික සිරිත ඇරඹූ විට ඉන් සියවස් තුනකට පසු කි‍්‍ර:පූ තුන්වන සියවසේ පණ්ඩුකාභය රජතුමා ජාතිය එක්සත් කරන්නේය. ඒ ජාතිය අක‍්‍රමණිකයකුට යටත් වූ විට දුටුගැමුණු රජු ඇවිත් ජාතිය ඒකීය කරන්නේ හරියටම ඉන් සියවස් තුනකට පසුවය. වඩාත් පුදුමය දනවන්නේ ඉන් හරියටම සියවස් තුනක් ගෙවී ගිය තැන මහසෙන් රජතුමා පැමිණ ලංකා රාජ්‍යයේ ඊළග ජාතික දේශපාලන විප්ලවය කරන සැටියය. මේ විදියට අවසන් ජාතික පුනුරුදය ලෙස බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කළ මහාමාන්‍ය සේනානායකයන් දක්වා මේ ජාතික දේශපාලන විප්ලවය තුන්සිය වසරකට වරක් සිදුව තිබේ. සිදු වීමෙන් සිදුවීමට සිදු වී ඇති අමුතු තාල කථාව මෙයය. මේ තාල රිද්මය සසුනට දේශපාලනයට පමණක් නොව ලක් කතා අන්දරයටම බැදී ගෙතී ඇත්තකි. සාහිත්‍ය කලාවේ සිට මේ රටේ ගෘහ නිර්මාණ වලද ජීවන විලාසිතා ආදී හැම අතකටම බැදී ඇති රිද්ම තාලයකි. ඒසේ නම් ලංකාව , ක‍්‍රමය සහමුලින්ම වෙනස් කරන ජාතික තීන්දුව සදහා ජාතික සිදුවීමක් සිදුකරන්නේ තුන්සිය වසරකට වරක්ය. තුන්සිය වසරකට වරක් සිදුවන සිදුවීම සිදුවීමෙන් සිදුවීමට සමාන ඒකම විෂය දහරාවකද සිදුවන්නේ ඇයිද?. මේ ප‍්‍රශ්ණයට උත්තරදීමට කාබන් නියැදි පරියේෂනයකට බැරිය. සෙල් ලිපියක් හෝ ගරාවැටුනු නටඹුන් හෝ ලෙන් චිත‍්‍ර ශෛල ගුහා දැකබලා ගැනීමෙන් බැරිය. ඒ සියල්ල තුලින් ලබන දැනුම තීරණාත්මකව අවශ්‍යමය. ඒත් මේ සිදුවීමත් සිදුවීමෙන් සිදුවීමට ඇති සමාන කාල රිද්මය තේරුම් ගැනීමට වෙනස් මානයක් අවශ්‍ය වේ. ඒ බැවින් සිරිලක අතීතය සොයන ඉතිහාඥයන් පුරාවිදඥායන් මානව විද්‍යාඥයන් සහ භාෂාඥයන් වගේම කාලරිද්ම වියතුන්ද අවශ්‍ය බව තේරුම් ගත යුතුය. සමහර විට මෙවැනි නව මාන සොයා බලන්න මේ රටේ ඉතිහාස පරියේෂණ අධිකාරින්ට වේලාවන් ඇත්තේම නැත. වෙලාවක් ඇතත් ඔවූන් දන්නේම දන්න දේ කර ජීවත් වී මියයාමටම පමණි. නමුත් නොදන්නා නොදකින පැතිමාන දන්නා දකින ශාත‍්‍රඥයන් මේ රටේ අපමණව ඇත්තේය. ඔහුන්ගේ දැනුම මියයන දැනුමක් නොව, ඒ වගේම විකුණන විකිණේන දැනුමක්ද නොවේ. ඒ දැනුම.... තම ශිෂ්‍ය පුත‍්‍රයාට ආදරයෙන් ගෞරවයෙන් සහ ආදර්ශයෙන් කියා දී පුහුණු කර දායාද කරන පූජනීය දැනුමකි. එවැනි දැනුම ඇත්තෝ තවමත් පරපුරක් තනමින් මේ රටේ ජීවත් වේ. ඒ පරපුර මේ තාල රිද්මය දන්නේය. දැනගෙන සිදුවීමෙන් සිදුවීමක් සිදුකරමින් රටේ දිශාවද වෙනසකට වෙනස් කරයි. දැනුම ඇත්තේ සටහන් වල හෝ කටපාඩම් කළ වාක්‍ය වල නොව පූර්ණ භාව නිදහස් සිතුවිලි වල බව ඔහුන් පසක් කර ඇත. ඒ සොබා වියතුන්ගේ ගුරුකුලය තවමත් නොසිදී ගලන්නේය. එයත් තුන්සීය වසරින් තුන්සීය වසරට සුභම සුභ සිදුවීමක් සිදුවීමෙන් සිදුවීම සිද්ධවනවා වගේම දෙයකි.

සුජිත් අක්කරවත්ත.    

Wednesday, June 10, 2015

මායා රටේ යක්කු

                             


               ගමින් ගමටත් රටින් රටටත් ගලා යන රිද්මය ලක් ඉතිහාසය තේරුම් ගන්නට බලපාන තවත් පැත්තකි. ලංකාව ඇතුලේ ගම් වගේම ගම් ගොඩවල් ද වේ. ගම් ගොඩවල් කීවේ ගම් ගනනාවක් එකට එකතු වූ ගම් සමූහයකි.  එ ”අනුව අපි ගමේ ගොඬේ මිනිස්සු නේ”.... යැයි සමහරු තමන් හදුන්වා ගන්නේ මේ භූ ලකුණු මතය. එතකොට ගම් ගොඩවල් වගේම රටවල් ද වේ. ලංකාව ඇතුලේ රටවල් කීවේ ගම් ගොඩවල් ගොඩක් එකතු කර තැනූ පළාත් වලටය. ඒවා රටවල් වූයේ කලක ස්වාධීනව පැවති එත් අන් රටටවල් වලට අභියෝගයක් නොවූ අමුතු පාලනයක තිබු නිසාය. ලංකාවේ රටවල් ගනන කලින් කලට වෙනස් වී ඇත. එත් හැම දාමත් ප‍්‍රධාන රටවල් තුනක් තිබුණේය. ඒ රුහුණු රටත්, පිහිටි රටත් මයා රටත්ය. මේ තුන් රටේ ඇත්තෝ රජ කම ගන්න තම රට, රජ රට කර ගන්න දරණ වෑයම මේ රටේ රාජ දේශපාලනය වේ. වඩාත් සරලව කීවොත් ළගම උදාහරණ ගෙන පැහැදිලි කළ හැකිය. එනම් රුහුණු රටේ මහින්ද මැතිතුමාගේ අව පාලනය නිමා කරන්න මායා රටේ වික‍්‍රමසිංහ මැතිතුමා ද පිහිටි රටේ මෛතී‍්‍රපාල මැතිතුමාද එක් වන්නේ මේ ගම් ගොඩවල් ගම් හා රටවල් කථාවේ ඉතිහාස රිද්මය අනුවය. ලංකාවේ කවදත් සිදු වූ හැම ජන අරගලයම බලකම අරගලයක ඇතුල් පැත්තේ මේ භූ කථාව ඇත්තේය.
                   
පැති මාන බහුවිධය. මේ භූ මානයෙන්ම විතරක්ම තේරුම් ගත හැකි ඉතිහාස කරුණු ද ඇත්තේය. එ කියන්නේ භූමියට අනුව ගලායන රිද්මය අනුව සිදුවීමක් වටහා ගත හැකි ක‍්‍රමයක් පවතින බවය. දැන් මේ භූ රිද්මය ලංකා රිද්මය තනන රිද්මයක් වග දන්නා ඇත්තෝ විරළය. ඒ නිසා භූ රිද්මය ගැන තැකීමක් ඇතුව ඉතිහාස නිරීක්‍ෂණයක් නැත. නවීන ලෝකය ”භූගෝලීය දේශපාලනය” නමින් විෂයක් ස්ථාපිත කර ඇත. ඒත් එය ඔස්සේ ලක් රටේ ඉතිහාස වටහා ගන්නා මානය තවමත් තනා ගන්නට බැරිව තිබේ. කොහමින් හරි බුදු රජාණන් වහන්සේ මුලින් වඩින්නේ රුහුණු රටේ මහියංගනටය. ඉන් ඉක්බිතිව පිහිටි රටේ නාගදීපයටය. තෙවනුව මායා රටේ කැළණියටය. දැන් පුදුමය කියන්නේ රටේ අගනුවර පිහිටි රටෙත් මායා රටෙත් තැනී ඇතත් කිසිකලෙක රුහුණින් අග නුවරක් බිහිව නැත්තේය. එහෙම නුවරක් බැදුනේ රට දෙකට බෙදුනු එළාර යුගයේ මාගම සිංහලේ අගනුවර බවට තාවකාලිකව පත් කර ගත් නිසාය. එතකොට සිතිය යුත්තේ රුහුණු රටට අගනුවරක් බිහි නොවුනේ මන්ද කියාය. රුහුණේ මිනිසුන්ගේ වේගය පසු පස්සේ මේ අසහනය විටෙක තිබෙන්නටත් පුඵවන. රුහුණින් රජ පදවිය ගත් හැමෝම පිහිටි රටේත් මායා රටේත් අගනුවරම තැනුවා මිසක රුහුණට අගනුවර ගෙන යාමට අපෝසත් වූයේය. එය රුහුණෙ දුටුගැමුණුගේ සිට අවසන් රුහුණු පාලකයා වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දක්වා තහවුරු වූ ඇත්තය. දැන් එතකොට ලංකා දීපයේ රටවල් තුනටම බුදුන් වහන්සේ වැඩ සිටියදීත් රුහුණුරටට විතරක් රජ නුවරක් නැති වූයේ මන්ද. මේ සිතිය යුතු කරුණකි. කරුණ සිතිය යුත්තේ රුහුණේ රාජධානියක් හෝ අගනුවරක් තනා ගැනිමේ ව්‍යාපාරයක් තැනිමට නම් නොවේ. ලංකා ඉතිහාසය තෝරා බේරා ගැනීමේ භූ රිද්මය සොයා ගන්නට අරුම දනවන රිද්මයක් එහි ඇති නිසාය.
                                
මෙහෙම සොයන විට ලක් කතාවතේ තැන් තැන් වලදී හමුවන සාක්‍ෂි අතර ප‍්‍රබල සාක්‍ෂියකි. එනම් ‘මායා රටේ යක්කු’ය. සිංහල ජාතිය බිහි වීමට පාදක වන අවසන් ජන ගෝත‍්‍ර වංශය, යක්කු හෙවත් යක්‍ෂ වංශයය. බුදු රජුන්ටත් විජය ප‍්‍රමුඛ සිංහ වංශයටත් මාරක විරෝධයක් පෑ, එම විරෝධය අඛණ්ඩව රැගෙන පැමිණි හෙළ වංශ ගෝත‍්‍රය යකුන්ය. තවමත් විජය රජුගේ සිංහ වංශයට එරෙහිව නොනවතින මතවාදී යුද්ධයකට පාදම වී ඇත්තේ යක්‍ෂ වංශයයි. යක් වංශය තමන් හෙළ බිම භූමි පුත‍්‍රයන් සේ දකින්නේය. ඒ නිසාම උත්තර භාරතීය ජාන මූල නෑකමට බැදුනු ලක් ඉතිහාසයට එරෙහිව යක් සනුහරයට ඔවුහු පණ දේ. මෙසේ පණ දීමට යන කථාව ලිය වී ඇති තැන් අතරේ හමුවන වටිනා ඉතිහාස සාක්‍ෂිය වදනකි. ඒ වදන නම් ‘මායා රටේ යක්කු’ය.
                   
එවිට ප‍්‍රශ්ණය මේ ‘මායා රටේ යක්කු’ කවුද යන්නය. සාමාන්‍යයෙන් රුහුණු රටේ යක්කු යන්න ප‍්‍රචලිත වදනකි. එ යක්කුන්ගේ හදබිම රුහුණ වූ නිසාය. එත් ඉතිහාසයහි ගැඹුරු තැන් සොයන්න බලන්න කවුරුත් වෙහෙස නොවේ. අනෙක වදනක් කැණ බැලීමෙන් ඉතිහාසය වටහාගත හැකි යැයි නොසිතයි. පොළොව කැණ බැලීමත් දන්න, දේ කියවීමත් හැරුනාම වදනක් කැණ බැලීමත් ඉතිහාසය සොයා යාමේ පරීක්‍ෂණයකි. ඉතින් මේ මායා රටේ උන්නු යක්කු කවුද?. මායා රටේ යක්කු වැඩියෙන් උන්නු පැත්ත සේ ලියා ඇත්තේ සියනෑව හෙවත් ගම්පහය. මේ ඉතිහාස සාක්‍ෂිය ජීවමාන වන්නේ අදත් ගම්පහ පළාතේ ඇති යක්කල යක්විල යකේවත්ත සහ යක්හඩුව ඇදි ග‍්‍රාම නාමය. එසේ නම් මේ මායා රටේ යක්කු රුහුණු රටේ යක්කුන්ගෙන් වෙන් වු තැන කොතනද?. මේ දෙගොල්ලෝ පස මිතුරුව සිටිය වග ඉතිහාස වාර්ථාව නිරීක්‍ෂණය කරන විට පෙනේ. මේ ගැන අපූරු නූතන කථාවක් ඇත්තේ කැළණි මහා විහාර බිතු සිතුවම්හි නූතන යුගය සමගය. ඒ අසහය චිත‍්‍ර ශිල්පී සෝලියස් මෙන්දිස් කැළණිය බිති සිත්තමට මහියංගන යකුන් ගත් විට සියනෑ යක්කු ගැන ඇති වී ඇති කථාවය. මේ නම් දිගට ගැඹුරට සොයන්න වටින රසයක් කුතුහලක් පිරිණු කථාවකි. මන්ද මායා රට දැන් ලංකාවේ පාලකයන් හදන බිමය. කි‍්‍ර:ව: 1412 සිට බිහි වූ පාලකයන් අතරින් අති බහුතරය මායා රටේ මායා පුත‍්‍රයන්ය. මේ තත්වය මතු මත්තටද ගලා යන බව දැන් පෙනෙන ඇත්තකි. එ ඇත්ත කලාවේ සාහිත්‍යයේ සසුනේ සිට හැම විෂයකට බැදී ඇත. මායා රටේ මායාවරු ගැන පැහැදිලි කතිකාවන් තිබුනද ‘මායා රටේ යක්කු’ ගැන පැහැදිලි සෙවීමක් නැත. නැති තැන සොයා යා යුතුය.

සුජිත් අක්කරවත්ත   

Sunday, June 7, 2015

වෑත්තෑ බෙරය


   බෙර හඩ  ජනහඩ  තරම් ප‍්‍රබලය. විටෙක ජනහඩ බෙර හඩින් අවදි වන අතර, තවත් විටෙක බෙරහඩ ජන හඩින් අවදි වේ. මේ නිසා කෙතරම් තාල, වාද්‍ය, නාද භාණ්ඩ තිබුනද ‘‘බෙරය’’ තරම් බහු භාණ්ඩික නාද තාල වාද භාණ්ඩයක් නැත. ඒ වගේම කෙතරම් නාද මාලා තිබුණද බෙර නාද මාලාව තරම් තිව්ර ගැඹුරු නාද මාලාවක් තවත් නැත. මේ නිසාම බෙරය උප නාද දනවන ප‍්‍රභේද සහිත තාල නාද වාද්‍ය භාණ්ඩයක් වුවකි. කොටින්ම මගුල් බෙරයත් මළ බෙරයත් කියා පාන්නේ උපතේ සිට මරණය දක්වා බෙරය, ලක් ජන ජීවිත හා බැදි පවතින ජීවන නාද තාල වාද්‍ය භාණ්ඩය බවය. ලක් ඉතිහාස අන්දරය ලියන විට මුලින්ම පද බැදි ඇති නාදය වන්නේ බෙර නාදයය. ඒ විජය කුමරු ප‍්‍රමුඛ සත්සීයයක් සිංහයන්ට තම්මැන්නා වෙරළට ඇසුන බෙර නාදය ගැනය. එසේ නම් බෙරයත් ඇවිත් සිරිලක ඇරඹුම සොයන ගමනට ඇති හොදම භාණ්ඩයකි. ලක් ජන හදවතේ සංඥා තරංගයන් හැමවිටම ඇවිළි ගියේ බෙරය නද දුන් විටය. ගැට බෙර, යක් බෙර, මගුල් බෙර, මළ බෙර, අණ බෙර, වදක බෙර, වල සිටන් ‘වෑත්තෑ බෙරය’ දක්වා ගලා ගෙන ඇවිත් ඇත්තේ ජාතියේ ඒ නාද කතන්දරයය.

    බෙරය මෙතරම් ප‍්‍රබල වන්නේ මන්ද. බෙරනදට උපත දෙන බෙරයහි නාද කම්පන අවයවය තැනෙන්නේ ගව සම්වලිනි. හරක් හමින් තනා ගත් බෙරය ලක් ඇත්තෝ පපුවේ හඩ බවට පත් කර ගන්නේ කොහොමද?. දුකටද සතුටටද විමතියටද පලි ගැසීමට ද.... මරණයටද..... යුද්ධයටද භක්තියටද උත්කර්ෂයටද බෙරය මූල නාද භාණ්ඩය වන්නේ කේසේද?. ඒ වගේම ඒ සදහා ශිල්ප කුලයක්ද තැනි ජාන පෙළපතකින් බෙරය වංශ පෙළපත් කථාවක් වන්නේ කෙසේද?. යුග යුග ගනනක් පුවත්පතද ගුවන් විදුලියද රූපවාහිනියද වූයේ බෙර හඩය. මේ බෙරය නවීන ඩිජිටල් යුග යුග ගණන් පසුකර දමා නොනවෙති වයන වාද භාණ්ඩයක් වී ඇත්තේ කෙසේද?. කවුරුත් නොසිතන ඒත් සිතුය යුතු බොහෝ දේ මැද ඇති නාද තාල වාද්‍ය නිමිත්තකි මෙය.

          බෙර පදයට පා තැබූ කුමරුන් රජ විය. බෙර පදයට පා තැබූ ශිල්පීන් කලාකරුවන් විය. බෙර නදට පාද තැබූ හස්තීන් මංගල හස්තීන් වූයේය. කොටින්ම බෙර පදයට කසාද බැන්ද වුන් මනාළ මනාළියන්ද වන්නේය. පුදුමය වන්නේ මුලින්ම බෙර වයා යුද්ධයට ගිය සෙබළා විරුවෙක් වූ සැටියය. තවත් මවිතය බෙර වයා ගෙට වඩමවන භික්‍ෂුව ජාතියේ මුර දෙවියන් වන තැනය. යලිත් සිතිය යුත්තේ බෙරය මෙතරමට ප‍්‍රබල වන්නේ මොකද කියාය. ඒ භාණ්ඩයේ නිෂ්පාදන සූරත්වයද?. නොවේ නම් නාදයේ ප‍්‍රබලත්වයද?. නොවේ නම් එයට භාවිත වන ගව හම නිසාද?. එසේ නැත්තම් සිංහලයන්ට හෙළයන්ගෙන් ලැබුනු හෙළයන්ට යකුන්ගෙන් ලැබුණු යකුන්ට විශ්ව කර්මයාගෙන් ලැබුණු නාද, වාද, තාල සම්මතය නිසාද?. එසේ නොවේ නම් යකුන් හෙළයන් වී හෙළයන් සිංහලයන් වී සිංහලයන් ලාංකිකයන් වී සිටියදීත් තවමත් පවතින නැකති කුල වංශ අනන්‍යතාවේ ප‍්‍රබලත්වයද?. මේ විදියට නිනව්වක් හරියට නැති මේ බෙරය රස සපිරි ඉතිහාස පරියේෂණයක් වන්නේ  මේ නිසාය. ඒ රස සපිරි කථාව රස වෑහෙන කථාවක් වන්නේ ‘වෑත්තෑ බෙරය’ නිසාය.

   බෙරය ගැන තේරුම් ගන්න මොන බෙරේ තිබුණත් ඇතිය. ‘නටපු නැටුමුකුත් නැත-බෙරේ පලූවකුත් නැත’ යැයි උපහැරණය කියන්නේ ලොකු කථාවකි. හරි පදය වයන්න බැරි නම් මොකුත් බැරිය. ඒ නිසා බෙරෙන් බෙරයට පද නාද වෙනස් වන නිසා බෙර ජාති බොහෝය. ඒ බෙර ජාති අතර නොදන්නා බෙර ජාතිය වෑත්තෑ බෙරයය. වෑත්තෑ බෙරය කියන්නේ අණ බෙරයම දැයි අනුමානයකුත් තිබේ. ඒ පද අරුතට අරුතක් දී තෝරන ඉතිහාස තේරුමකි. වෑත්තෑ කියන්නේ පුවත්, තොරතුරු, ප‍්‍රවෘත්ති තතු විත්ති යන අරුත ඇති වදනකි. එතකොට ‘‘වෑත්තෑ බෙරය’’ වයන්නේ ප‍්‍රවෘත්ති කියන්නටය. එතකොට අණ බෙර කරු කීවෙත් ප‍්‍රවෘත්තිය. ඒ නිසා අණ බෙරයට තැබූ වදනක් සේ ‘‘ වෑත්තෑ බෙරය ගැන අදහසක් පළවේ. එසේ නම් මගුල් බෙරයට මළ බෙරයට ගැට බෙරයට යක් බෙරයට වදක බෙරයට ආදී අනික් හැම බෙරයටම නම් දෙකක් නැතුව මේ බෙරයටම නම් දෙකක් බැදුනේ මන්දැයි සිතේ. ඒ සිතුම නිසා අතීත තතු අතරේ අග මුල මැද හැම තැනම බෙර පදයට බැදුණු කතා තතු විත්ති සොයන්න සිතුනේය.

    අණ බෙරය, රාජ්‍ය මාධ්‍ය බෙරය බවත් වෑත්තෑ බෙරය නිදහස් මාධ්‍ය බෙරය බවත් තේරෙන්නේ එවිටය. එතකොට රාජ සම්මත යුගයේ පුද්ගලික මාධ්‍ය කෙසේ තිබුණා දැයි ප‍්‍රශ්ණයක් නගනු ඇත. එවිට කිවයුතු වන්නේ සිංහල ආණ්ඩුව රාජ ආණඩුවක් වන්නේ දඹදෙණි යුගයේ බවය. ඊට පෙර සිංහල ආණ්ඩුව මහා සම්මුතික ආණ්ඩුවකි. එහෙම වූ නිසා ජනතාවට අවශ්‍ය වුහහොත් රජතුමාව පලවා හැරීමට තරම් නිදහසක් සිංහළ ආණ්ඩුව තුල තිබුණි. මේ ඉඩ ජනතාව වැඩියෙන් භාවිතා කළ යුග වල වෑත්තෑ බෙරය වැඩියෙන් වැයෙන්න පටන් ගෙන ඇති සැටිත් පෙනේ. මේ පෙනීම දිගේ බලන විට ජනතාවගේ පොදු ජන රස ජීවිතයට බැදුණු මාධ්‍යක් සේ වෑත්තෑ බෙරය පටන් ගත් ගමන වෑත්තෑ පතේ උපතට මූල බිජුවටය වෙන්නටත් ඇති වග සිතිය හැකිය. ‘වෑත්තෑ පත’ කීවේ පුවත් පතටය. එතකොට අහවි පත්තර ඒ කාලේ කොහෙද කියා. පත්තරය මුද්‍රණ යන්ත‍්‍රයට  පසු ඇරඹි බව දන්නා ඇත්තය. ඒත් නොදන්නා ඇත්ත නම් වෑත්තෑ පත නමින් පත්තරය මුද්‍රණ යන්ත‍්‍රයට පෙර බිහිව තිබූ බවය. වෑත්තෑ පත් අලෙවිකරුවන් ගැන කතා නිමිති ති‍්‍රපිටකය පුරා ඇත. වෑත්තෑ පත්තර වලින් තොරතුරු ගලා ගිය වග ඉතිහාසයේ ලියවී තිබේ. ඒත් වෙනස මුද්‍රණ යන්ත‍්‍රයේ පත්තරය කඩදාසි කොලේ යන්ත‍්‍රයෙන් ලියවුනකි. වෑත්තේ පත්තරය තල්කොලේ, පන්කොලේ, වැටකේකොලේ දියෙන් හුමලාය තනා ඉන් තම්බා ඉර එළියේ වෙලා අතින් අකුරු කර තැනූ ගෙත්තම් පත්තරයකි. එතකොට වෑත්තෑ බෙරය වයා වෑත්තෑ පත්තර ජනතාව අතර ගියේ ඔහොමය. වෑත්තෑ බෙරයෙන් රට සිව්කොන එකම මිටකට එකතු කළේ පණ්ඩුකාභය කුමරුය. ඔහුගේ වෑත්තෑ බෙරය, ලක් ඉතිහාසයේ ලියවුණු ප‍්‍රථම වෑත්තෑ බෙරයය. වෑත්තෑවේ නමින් ගමක්කුත් ඒ වෑත්තෑවේ නමින් ගුත්තිලය ලියූ වෑත්තෑවේ මහ තෙරි`දු බිහිව ඇත්තේ එසේය. ලක් ඉතිහාසය සාධක නැති තතු ඉතුරු කර ඇත්තේ ජීවමාන සාක්‍ෂියකිනි. වෑත්තෑ බෙරයත් එවන් සාක්‍ෂියකි.

සුජිත් අක්කරවත්ත.