Saturday, May 16, 2015

තැන්නෙන් - කන්දට


                          
   

                         ලක්දිව මුල්ම මිනිස් ජනාවාස ඇති වී ඇත්තේ සිසිල් සෞම්‍ය තෙත් කලාපීය වන පෙත් වලය. එසේ ජීවත් වීමට සිසිල් කදුකරය වනාන්තර තෝරාගත් ලොවේ එකම ප‍්‍රාග් මිනිසා වන්නේ සිරිලක ප‍්‍රාග් මිනිස් ප‍්‍රජාවය. මේ ගැන මවිතය මිසක නිශ්චිත හේතුවක් තවමත් නිසි ලෙස සොයා ගන්නට බැරිව ඇත. ඇරඹුමේදිම අමුතු මානවයෙකු වූ ලක් මිනිසා ශිෂ්ඨාචාරයට පිය මැන ඇත්තේ ද අමුතුම මිනිසෙකු විදියටය. තම රටේ සුව පහසු සෞම්‍ය කලාප තිබියදී වියළි කලාපයෙන් ශිෂ්ඨාචාරය පටන් ගෙන ඇත්තේය. සීතල කදු වලින් ජීවිතය අරඹා වියළි කටුක තැන්නෙන් ශිෂ්ඨාචාරය පටන් ගෙන ගලා ගිය ලක් මිනිස් ප‍්‍රජාවේ මේ වෙනස තවමත් හරි ලෙස විමසා බලා නැති ගැඹුරු කථාවකි. සැබවින්ම ”ප‍්‍රාග් ලක්වැසියා” කදුකරය පි‍්‍රය කරන ගමන් ”ජාතික ලක්වැසියා” තැනිතලාව තෝරා ගන්නට බලපෑමේ කවර හේතුවක්ද?. වියළි තැනි තලාවට පැමිණ සෞම්‍ය සිසිලනය සදහා ලොව සුවිශිෂ්ඨතම  ජල තාක්ෂණ කලාව බිහි කරගත් ලක්වැසියාගේ මේ බරපතල කලාව ලොවම මවිත වී සොයන කථාවයි. එත් ලොවක් මවිත වන කථාව පසක් කර ගන්නටත් ලක් වැසියාටම නොහැකි වී ඇති තැන කවර ලෙසින් මෙම විමසුම පූර්ණ කර ගත හැකිද?. ලොවක් බලා සිටින පුරාවිද්‍යා ප‍්‍රශ්නාර්ථයන් අතර මේ ප‍්‍රශ්ණය මුල් පෙලේම තිබෙන්නකි. දැන් ඇත්තටම මේ අමුතු මානව ශිෂ්ඨාචාරයහි අරුම දනවන හැසිරීම සොයා බැලිය යුතු රස කථාවකි. කථාව රසය දනවන්නේ මේ මානව හැසිරීම ගලාගෙන විත් ඇති සැටිය සොයා බලන කොටය. කන්දෙන් පටන් ගෙන තැන්නට ඇවිත් තම්මැන්නාවේ පළමු රාජධානිය තැනූ සිංහළ ශිෂ්ඨාචාරය අවසානයේ තැන්නේ තැනින් තැනට ගොස් කන්දේ මහනුවරට ඇවිත් නතර වූ සැටිය අරුම දනවන මවිත කථාවේ පූර්ව අපර ගැලිපිමේ අමුතු තැනය. සැබෑ විදියට අන්තිම රැකවරණය ඇත්තේ මැද කදු රටේ බව සිංහළ මිනිසාට වැටහුනේ කෙසේද?. එ තම මුල්ම ජාන බලපෑම නිසා වූ ආපසු ගමනයක්ද?. මේ ගැන සිතා බලන්න වේලාවක් නැත්තේ රාමුව මැදට ඉතිහාසයත් දමාගෙන සංකල්ප වලින් අතීතය ගැන උත්තර සොයන නිසාය. ලක් ඉතිහාස විත්ති කථාව මෙවන් අපුර්වත්වයෙන් ගලා විත් ඇත. සැබවින්ම තම්මැන්නා තැන්නේ පටන් අරන් මහනුවර කන්දෙන් අවසන් වන රාජකීය ලක් වැසියන්ගේ දේශපාලන ඉතිහාසය පුදුම දනවන්නේ ජන සම්මත ලක්වැසියාගේ යුගය සදහා කන්ද මහනුවරින් තැන්නේ කොළඹට ආ සැටියෙන්ය. රාජකීය රාජ්‍යත්වය පටන් ගන්නේ වෙරළ තැන්නේ මුහුද අයිනේ තම්මැන්නාවේය. පුදුමය කියන්නේ රාජකීය රාජ්‍යත්ව කන්දේ මහනුවරින් නිමා කර ජන සම්මත රාජ්‍යත්වය පටන් ගන්නේද වෙරළ තැන්නේ මුහුදු අයිනේ් කොළඹින්ය.

                            සැගවි සිටින යුගයේ කන්දත් එළිපිට සිටින කාලයට තැන්නත් සොයා ගත් ලක් මිනිසාගේ මේ හැසිරීම භූගෝලීය හැසිරීමක්ද?. එසේ නැත්නම් ජීව ජාන හැසිරීමද?. මේ සෙවිය යුතු එත් සොයන්නේම නැති අපේ කමේ ඇත්ත කථාවය. අපේ කම කියන්නේ දෙමළාටත් මුස්ලිමානුවාටත් උඩින් සිටින්නටත් බටහිරට පහර දීමත් යැයි සිතන පටු ජාති පේ‍්‍රමයක හිර ගත සිරගේ බිද ගත නොහැකිව ඇති තැන මේ ඇත්තට ගැඹුරක් සොයන පරියේෂණ අපට නැත. ශාස්තී‍්‍රය ව්‍යාපර බුද්ධිමය චරිත නැත. හිස් වාග්ලංකාර හා පරපුටු පංචස්කන්ද වලට හැම දේම වැසි ඇත.  පටු ජාති පේ‍්‍රමය අතහැර ඇති අයට ඇත්තේ ජාති මාමකත්වයක් නොව බටහිර ලෝලයකි. එ ලෝලයෙන් ඉතිහාසය බලන මේ අයට බටහිරට පෙනෙන තර්ක දත්ත හා දර්ශන නැතිව මොකුත් කළ නොහැකිව ඇත්තේය. ඉතින් ”ලක් මිනිසා” හරියටම අසු නොවේ. එ නිසා හරියටම සොයා ගත නොහැකි ජාන ජාතියක් ජාතික වශයෙන් එකතු කොට ලෝක ශිෂ්ඨාචාරයහි මුදුනට රැගෙන යන්නට බැරිව සිටින්නේය.
                             
මේ හන්දා තැන්නේන් කන්දට ගිය කි‍්‍ර.පූ. 547 සිට කි‍්‍ර.ව. 1815 දක්වා ලිඛිත ඉතිහාසය හරියට වටහාගත නොහැකිව ඇත. ලියා තැබූ තතු කථාව තේරුම් ගන්නව බැරි නම් එ කියන්නේ තැන්නේන් කන්දට ආ කථාව වටහා ගන්නට බැරිනම් ලියා තබා නැති කන්දෙන් තැන්නට ආ ප‍්‍රාග් කථාව කෙසේ වටහා ගන්නටද?. මේ නිසා කදුයායෙන් තැනිතලාවටත් යලි තැනිතලාවෙන් කදු යායටත් ගමන් කර ඇති සිරිලක මිනිස් කථාව හරියටම වටහා ගත හැකි පරියේෂණ ඇරඹිය යුතුය. එය ජීවිතය ජාතියට කැප කොට සෙවිය යුතු පුරාවිද්‍යාවට බැදුනු ඓතිහාසික පරියේෂණයකි. නිමිති පහල වූ තැන ලියා තැබිය යුතුය. යුගය පැමිණි විටක හෝ චරිතය පැමිණි විට ඉටු කළ යුතු හරිම දේ ඉටු කිරීමට මොහත එළඹෙනු ඇත. එහෙම මොහත කන්දෙන් තැන්නටත් තැන්නේන් කන්දටත් අතර දෝලනය වූ සංසරණය වූ ලක්වැසි මිනිසාගේ ජීවමානය හරියට සෙවීම ප‍්‍රතිපත්තිය කර ගන්නා වෙලාව එනු ඇත. වෙලාව එන විට කවරෙකු කොහේ හෝ සිට මොහතට එනු ඇත. ලක් පොළොවේ වැඩ කෙරෙන තාලය එකය. කන්දෙන් නැගිටින ශිෂ්ඨාචාරයත් ඔනෑ වූ තැන රාවණා ලත්, විභීෂණලාත්, සුමන සමන්ලාත්, මහසෙන්ලාත් මතු වූයේය. එ කන්දේ විජීත යුගය අවසන් වී තැන්නේ යුගය පැමිණ ඇතිවිට විජය කුමරු සිංහ ලකුණින් ඇවිත් තැන්නේ යුගය ඇරඹිය. සතුරන් ඇවිත් තැන්න වට කරන විට යළි කන්දට නගින්ට විමලධර්මසූරිය ආවේය. යළිත් තැන්නට ගොස් නිදහස් යුගයට මොහොත ආවිට සේනානායකයන් ආවේය. මේ විදියටම ඉතිහාස කරුවන්ද බිහි වන්නේය. අනුරපුරට අභියෝගය එනතුරු කවුරුත් ඉතිහාස පොත ලියන්නට නොසිතුවේය. එත් මොහත ආවිට මහානාම හිමි වෙලාවට වැඩියේය. ඉතින් තැන්නෙන් - කන්දටත් , කන්දෙන් - තැන්නටත් කථාව හරියට මැද අග මුල තේරෙන මිනිසා ඇවිත් මොහත උදා කර දිය හැකිය. මේ නිමිත්ත එ නිමිති මොහතට නිමිත්තක් පමණි.

සුජිත් අක්කරවත්ත

No comments:

Post a Comment