Monday, April 6, 2015

අමුතු මිනිසා


                


කිනෙකට වෙනස් තුරුලතා එකම භූමියක ඇති නිසා ලංකාව අමුතු රටකි. වෙන වෙනස් සත්තු එකම බිමේ එකට ජීවත් වන නිසාත් අමුතු රටකි. මේ අමුත්ත තවත් අමුත්තක් වන්නේ එක දිගට එකට ලියාගෙන එන ජාතික වංශ කතාවක් ඇති රටත් ලංකාව නිසාය. ඒ වගේම ලොවේ අමුතු ජාතින් තුනක් හමුවේ. ඒ ජපන්නු ඉංගී‍්‍රසින් හා සිංහලූන්ය. මේ තුන් ගොල්ලාම අමුතු වන්නේ තුන් ගොල්ලාටම දිගු රාජ පරපුරක් ඇති පුරාණම ජාතින් වී ඇති නිසාය. අනෙක් අමුත්ත රටවල් තුනම දුපත් තුනක් වීමය. සිංහලයන්ට ජපන්නු සමග ඇත්තේ හෘද මිත‍්‍ර හද බන්ධනයකි. අහසින් බෝම්බ දැමුවත් ජපනා හපනා ලෙස හද මිතුරෙකු බවට සිංහල පපුවට ඇත්තේ මතකයකි. මේ හද මිතුරු බැදීම ලෝකය හමුවේ ජාති දෙජාතියේ ආල කථාවක් වන්නේ ජයවර්ධන ජනපති නිසාය. කොහොම හරි දිගුම දිගු රාජ වංශ තුනක් රැකගෙන ආපු මේ තුන් ජාතිය මැද සිටින සිංහලයන්ව යටත් කළද ඉංගී‍්‍රසීන් සිංහලයන් කෙරෙහි විශේෂ සෙනහසකින් කි‍්‍රයා කළ ජාතියකි. යටත් විජිත රටවල් අරභයා ඉංගී‍්‍රසීන් දැක්වූ ආකල්පය ලංකාවේ දි වෙනස් විදියට මිතුරු හැඩයක් ගෙන ඇත්තේය. ඇත්තටම භාරතය පහකට කඩා නිදහස දුන් බි‍්‍රතාන්‍යය සිරිලක් දිව ගත් විදියට නොබිදා යලි ලබා දුන්නේ ඒ නිසාය. මේවා සිතිය යුතු විමසිය යුතු ඉතිහාසයේ රස පරි පරියේෂණය. එත් පරිය පරියේෂණ විහිදෙන්නේ දන්න දේම හොයා යන්නටය. මේ නොදකින පැති දකින ඇසක් ඇත්තෝ විරලය. ඒ ස්භාවික විද්වතුන් හිග වීමය. ශාස්ත‍්‍රාලීය විද්වතුන්ගේ හිගයක් නැත. එත් ස්වභාවිත විද්වතුන් හිගය. එ හිගය නිසා ශාස්ත‍්‍රාලීය විද්වතුන්ගේ හිසද අලූත් නොවේ. කොහමින් හරි ජපන්නුන් හා ඉංගී‍්‍රසීන්ට තවමත් රාජකීය පවුලක් තිබේ. එත් සිංහලයන්ට නැත. සිංහලයා අන්තිම රාජා ගස්බැද භාර දී රාජකීය බි‍්‍රතාන්‍යයන් ලව්වා රාජකීය වංශය නිමා කරගෙන ජනසම්මත යුගයට පා තැබුවේය. එතැන් සිට ජනසම්මත පාලකයා තුලින් රාජවංශ වගේ ජනසම්මත වංශ තනා ගන්නේය. සේනානායකලා, බණ්ඩාරනායකලා, කොතලාවලා, ජයවර්ධනලා, වික‍්‍රමසිංහලා කියන්නේ මේ රාජවංශ උරුමයෙහි ජනසම්මත වංශ කථාවය. ඒ අතින් සිරිලක තවත් අමුතු වන්නේ එක වගේ දුපත් ජාතීන් තුනක් මැදත් වෙනස් වෙමිනි. බි‍්‍රතාන්‍යයත් ජපානයත් රජ පවුල සමග ජනසම්මතයට පා තබන විට සිරිලක්වාසීන් රජ පවුල අතහැර ජනසම්මතට පා තබා අමුතු මගක ගොස් ඇත.  ජනසම්මතය මැද රජ පවුලක් වන්නට සිතු රාජපක්‍ෂ පවුලහි පරාජය පෙන්නා දුන්නේ සිංහලයන් 1815 රජ පවුල අතහැර දැමුවේ හේතුවක් ඇතිව බවයි. හරියටම 1815 සිට ඉන් දෙසිවසරක් ගිය තැනම එය සිදුවීමත් පුදුම අමුත්තකි.
       සිරිලකටම පොදු මේ අමුත්ත මොකද්ද. මේ සොබා දහමට වැදි බැලූවිට පෙනෙන ඇත්තකි. අමුත්ත පටන් ගෙන ඇත්තේ ඈත අතීතයේය. මිනිසා කවදා උපත ලැබුවාද යන්න විවාදයකි. මේ ගැන පොදු අදහසක් මිස පිළිගත් කථාවක් නැත. පොදු අදහස සනාථ වන්නේ ලොවේ නන් දෙසින් ලද ප‍්‍රාග් යුගයේ මිනිස් ජනාවාස ඇටකටු මෙවලම් නිසාය. ඒත් ඈත මිනිසා හෙවත් මුල්ම මානවයාගේ කථාවෙන්ද සිරිලක අමුතුවි ඇත. එ නිසා අමුතු මිනිසා හමු වි ඇත්තේද ලක්දිව තුළය. ලොව පුරා හමු වී ඇති ප‍්‍රාග් මිනිසා ජිවත් වී ඇත්තේ තැනිතලාවේය. බොහෝවිට ඒ එ රටවල වියළි කලාපයේය. එයට හේතුව ආහාර සුලභ වීම විය හැකිය. දඩයම පිණිස විශාල සතුන් හමුවන්නේ තැනිතලාවේදි හෝ වියළි වනාන්තර තුළය. ඒ නිසා අතිත මිනිසා තැනිතලා තැන්නේ වියළි වනාන්තර වල දිවි ගෙවීමට රුචි වී ඇත්තේය. එත් අමුතුම අමුතු තැන බවට ලක්දිව අතීත මිනිසා පත්ව ඇත්තේ ලොව පුරා මානව විද්‍යඥයන් පුරාවිද්‍යඥයන් වගේම ඉතිහාසඥයන් මවිත කරමින්ය. ඒ ලක්දිවින් හමුවී ඇති ප‍්‍රාග් මිනිසා තෙත් වනාන්තරවල දිව් ගෙවා ඇති නිසාය. බටදොඹ ලෙනේදි පාහියන් ලෙනේදි කූරගලදි හමුවන්නේත් බලංගොඩ මානවයා කියා දෙන්නේත් මේ අමුතු මිනිසා ගැන කථාවය. ලොව පුරා අතීත මානවයා එක විදියකටත් එම සමයේ ලක්දිව අතීත මානවයා වෙන විදියකටත් කටයුතු කිරීම පුදුමයක් මෙන්ම අමුත්තක් දක්වන කථාවකි. දැන් ලොව පුරා අතීත පරියේෂණ වල කතා නිමිත්ත වී ඇත්තේ මේ කථාවය.
         මේ කථාවට ඈදෙන ඊළග අමුත්ත මේ අතීත මානවයා පරිනාමය වි ගොවි යුගයට ආ විට ගත කළ ජිවිතයය. ලොව පුරා සියළු ශිෂ්ඨාචාර ඇරඹි ඇත්තේ ගංගා නදි ආසන්නවය. එත් ලක්දිව ශිෂ්ඨාචාරය ගංගා අසබඩින් දුරක වැවක් මත පදනම් වී ඇත්තේය. මේ විදිහට ආරම්භක ප‍්‍රාග් යුගයේ සිටම ලක්දිව මානවයා අමුතු මිනිසෙකි. මේ අමුතු මිනිසාගේ අමුත්ත වටහා ගත හැකි මිම්මක් හෝ නිර්නායකයක් අප සතුව නැත. වෙනත් අතීත මිනිසා මැන බැලූ පොදු මිම්මෙන් හෝ නිර්නායක වලින් ලක්දිව ”අමුතු මිනිසා” තේරුම් ගත නොහැක. එසේ පොදු මිම්මෙන් තේරුම් ගැනීමට දැරු වැරදි තැත නිසාම මේ තරම් අමුතු ශිෂ්ඨාචාරයකට ලොව ඉදිරියහි ”අමුතු අතීතයා” ලෙස මතු වි නැගි සිටින්නට බැරිව ඇත. ”අමුතු අතීතයා” අමුතු නූතනයෙකු නොවී ඇත්තේ ද ඒකය.
           කොහමින් හරි ලොවක නෙත ලකට හැරි ඇත. ඒ ”අතිත අමුත්තා” නිසාය. සමකාලීන හැම මිනිස් ප‍්‍රජාවකටම වඩා වෙනස් ප‍්‍රජාවක් සේ සිරිලක මිනිසා තම ජිවිත සිරිත තෙත් කලාපයට සීමා කළේ මන්ද. කුඩා සත්තු පමණක් දිවි ගෙව් වැසිවනාන්තරයට වි දිවි ගෙවමින් ශිෂ්ඨාචාරය සොයා ගියේ කිමද. ලක්දිව අතීත මිනිසා මෙසේ අමුතු වීමම ලංකාවේ මානව හැසිරවීම කෙරෙහි බලපා ඇත්තේද. සැබවින්ම ලංකාවේ තැන්න හැම කල්හි ජනාවස වී ඇත්තේ පෙර අපර දිගින් මෙහි පැමිණි ආගන්තුක අතීත මානවයන් නිසාය. එය එදා වගේම මෑතද එක වගේ සිදුවන දෙයකි. එසේ නම් ගම් වැසියා වන වැසියා ලෙස අමුතු මිනිසා ගෙවු දිවිය මෙරට පදනම වි ඇත්තේද. මේ සියල්ල මේ වන විට ලෝක මට්ටමේ දාර්ශනික ප‍්‍රශ්ණයක් වී ඇත. ඒ ලෝකයේ සියළු අතීත මානවයන්ගෙන් ලක්දිව මිනිසා ”අමුතු මිනිසා” වූයේ කොහොමද කියාය. මේ පැනයට උත්තර සොයන විට ලක්දිව නූතනයන්ට ගැඹුරු උත්තරයක් නිරායාසයෙන් ලැබේ. ඒ ලක්වැසියන් වෙනස් බවත් ජානමය වශයෙන් අමුතු බවත්ය. 

සුජිත් අක්කරවත්ත

No comments:

Post a Comment