Sunday, November 2, 2014

රාජ- ගිරිය



    දඹදෙණිය ඇද වැටෙන්නේ වීරබාහු රජු රජ පුටුවෙන් ඇද වැටි මැරී වැටුණුදාය. කවුරුත් නොසිතු නොපැතු මොහොතක වීරබාහු රජුගේ මිය යාම සිහිනයක් හැබෑ කර ගැනීමේ මාවත වන්නේය. ජයසිරි බිසව්ගේ ජීවිතය අමුතුය. ඒ ඈ තොමෝ පුරුෂයන් තිදෙනෙකු සමග රාග සිරිතක් බැදගෙන උන් සිංහලේ අරුමැසි බිසව වූ නිසාය. මේ නිසා දඹදෙණි   රාජ යුගයේදීම විකසිත සරාග බැදීමක් නිසා ඇගේ පේ‍්‍රමණිය සැමියන් තිදෙනාට ලක් රාජ කිරුළට දොරටු විවර වන්නේය. ජයසරි බිසව් වල්ලභයන් තුන්දෙනා එකම පවුලේ අයියා-මලෝ වූ සැටිය හරි අපුරුය. මේ තුන්දෙනාම අලකේශවරලාය. මේ විදියට අලකේශවර ප‍්‍රභු කුමරු තිදෙනාගේ ජාන රජස් ජය සිරි බිසවගේ ඩිම්බානුවක් හා සහබැදි නිශ්ශංක අලකේශ්වරට උපත සදන්නේය. වීරබාහු රජ අසුන මත මැරී වැටෙන විට නිශ්ශංක අලකේශවර ප‍්‍රභු ප‍්‍රභා ඉසුරු සපිරි භද්‍ර යෞවන කුමරෙකි. එමෙන්ම එකළ සිරි ලක්දිව අගමැතිය. ජාතික ධනවාදය ලක් රාජ කතාවතේ ගමන බවත්, නිදහස්වාදය දිශාව බවත්, ඇදහු ඔහු, කැළණි මහ වෙහෙර වීභීෂණ පුජාවට පැමිණි දවසේ සහමුලින්ම වෙනස් චරිතයක් විය. ඒ කළ්‍යාණි නදිය ඔරුවක නැගී තරණය කර බත්තොටමුල්ලට සේන්දු වූ නිසාය. බත්තොටමුල්ල නම් අද බත්තරමුල්ලය. ඒත් ජයසිරි බිසවට ආසක්ව ඇගේ රාග පහසට ලොබ බැදි ප‍්‍රභූ පෙළපතක් තම හීනය බිද වැටී වෛර ගතව  උන්නේය. ඒ සේනාධිලංකාරලාය. මේ ගුප්තාභය සේනාධිලංකාරගේ වෑයම වන්නේ නිශ්ශංක අලකේශ්වර වටලා වට කොට පහරදි මරා දැමීමය. ඒ නිසා එ වන කොට කළල ගොඩ හෙවත් වත්මන් කළල්ගොඩ , උතුවන්කන්දේ උන් ගුප්තාභයට සැල වන්නේ අලකේශ්වර බත්තොටමුල්ලේ ඔරුවක නැගී දියවන්නා සිරි බලන වගය. තම පරපුරේ රාග ඊරිසියාව දළුලා වැඩුනේය. ළැමැනි කුළ මෙහෙනවර වංශ උරුමයෙන් තමාට කිරුල හිමි බව ඇදහු ගුප්තාභය සේනාධිලංකාර බත්තොටමුල්ල වට කලේය. ඒත් අලකේශ්වර ඒවන විට සිටියේ මී තොටමුල්ලේය.

   මේ වංශ ගැටුම දිග්ගැස්සෙන විට දියවන්නා දියත්ත මැද දුවේ අපුරු සිදුවීමක් වන්නේය. ඒ නයි මුගටි හටනකි. අලකේශ්වරත් සේනාධිලංකාරත් ගැටුමකට කුරුමානම අල්ලන විටම නයාත් මුගටියාත් සටන පටන් ගෙන තිබුණේ දියත්ත මැද දුපතේය. විශ්මයක් දන වන්නේ මුගටියා මැරී නයා දිනූ නිසාය. මේ පුවත දියවන්නා වන වාසයේ ගම් දනව් පුරා පැතිරයන්නේ ලැව් ගින්නක් සේය. මේ අතර නයි මුගටි සටන වූ තැන බලන්නට මාදිවෙළ කුමාරිහාමි ඇගේ පෙම්වතා වූ පතිරගොඩ කුමාරයා සමග එතෙනට ඔරුවෙන් එන විට එහි උන්නේ අලකේශ්වරය. ඉතිහාසය අලූතෙන් ලියවෙන්නට පටන් ගන්නේ එදාය. එදා එහෙම පටන් ගත් කතාව රස කථා ,ගම කථා , ආල කථා වගේම හින කථා විතරක්ම නොව රණකාමී අන්දරද බැදී සරාග කථා බහින්ද සාරසුබා වී ඇති කථා පොකුරකි.
 
      ලෝකය අලූත් වී තිබුණේය. භාරතය දක්වා ඉස්ලාම් ආක‍්‍රමණය දිග්ගැස්සෙමින්  තිබුණි. එහි ප‍්‍රතිපලය වන්නේ දකුණු භාරතයේ රණකාමී දෙමළ නැගිටීමය. මේ රණවාදී දෙමළ නැගිටීම ආර්ථිකවාදී ජීවය බවට පෙරළා ගෙන ‘‘ආර්ය චක‍්‍රවර්ති’’ ලක්දිව උතුරු අර්ධය උදුරා ගත්තේය. සිංහළයන් රට නැති විපතේ වැටී අනාථව උන්නෝය. හැම හදවතකම හීනය යලිත් රජෙක් නගා සේසත් නැගීමය. පුතෙක් තබා නෑයෙක් වත් ඉතුරු නොවී තිබූ දඹදෙණි රජ පෙළපත ගම්පොළින් වද වී ගියේය. මේ සරු පස මැද නිශ්ශංක අලකේශ්වර සුජ්ජලිත නව නුවරකට සුභාවිත මන්දිරයක් තනන්නට සිතුවේය. ඒ සදහා ඔහු නැග්ගේ ගිරියටය. ඒ ගිරිය රාජගිරියය. රාජගෘහයක් බැදගෙන ශී‍්‍ර ජයවර්ධනපුරය නිර්මාණයට යුහුසුළුවන්නේය. ඒ රාජ සිහිනයට ඔහු නැගි ගිරිය රාජගිරිය වූයේ ඔහොමය.

    ඉන් හරියටම වසර පන්සීය හැත්තෑවකට පසු යලිත් ඒ රාජගිරියෙන් දියවන්නා දියත්තට රජ මාවත බැදෙන්නේය. ඒ කොළඹින් අගනුවර දියවන්නා දියතේ දුපතට ගෙන යමින්ය. මේ ඓතිහාසික හැරවුමට හැරවුම වන්නේ ‘‘ජුනියස් රිචඞ් ජයවර්ධන’’ හෙවත් ‘‘ජේ.අර්. ජයවර්ධන’’ උත්තමාණන්ය. ඔහු තෙමේ ඒ සදහා පලමු පියවර තබන්නේ රාජගිරියෙනි. එරියාව සන්නස සහ පතිරගොඩ සන්නස ගෙන ජයවර්ධනයන්ට තම මීමුත්තනුවන් වූ නිශ්ශංක අලකේශ්වරයන්ගේ තතු සොයා දෙන්නේය. ඒ වරලත් විදු ඉන්ජිනේරු ඊලියන්ද සිල්වා සූරීන් හා ඊ.පී.මිගහකුඹුරේ සූරින්ය. මේ සමගම අසහාය ගෘහ නිර්මාණවේදී ජෙෆ්රි භාවා ශ‍්‍රීමතුන්  නව කෝට්ටේ සිත්තම් කරන්නේය. එදා අලකේශ්වර රජ මැදුර වට බැදි කොටුව සතර කොන තිබූ සතර භූ සුත‍්‍රය කියවා ගැනීම ඊළග කථාවය. ඒ අනුව ශී‍්‍ර ජයවර්ධන පාර්ලිමේනතුව වටා ජයවර්ධනපුර රෝහලද ජයවර්ධනපුර සරසවියද ජයවර්ධනපුර ශ‍්‍රී ලංකා මහ බැංකුවද තම දේශපාලන සරසවිය වූ සිරිකොත මන්දිරයද බැද තබන්ණේය. කවූරු ආවා ගියත් අදත් හෙටත් ලංකාවේ රාජ සමාජ බලය ඇත්තේ මෙම සිිව් මහා භූ සුත‍්‍රය ඇතුලේය. ඉන් පිටත සිට කිසිවක් කළ නොහැක්කේමය. මෙය තේරුම් ගත් ජනතා විමුක්ති පෙරමුණද දියවන්නා දියත්ත තරණය කරන්නේ බත්තොටමුල්ලේ  පැලවත්තට තම දේශපාලන පීඨය රැගෙන එමින්ය .ජේ. ආර්ට එරෙහිව අවි එසවූ දෙමළ විමුක්ති කොටි අවසන් වී, ජනතා විමුක්තියට අවි එසවූ ජනතා විමුක්ති පෙරමුණ ඉතුරු වන්නේ ඒකය. මෙවා රහස් නොව ඓතිහාසික ඉවය. ඒ වගේම තවමත් මේ රටේ ජීවමානව ඇති ඓතිහාසික ලේඛනය. එරියාව සන්නස හා පතිරගොඩ සන්නස වඩාත් අරුත් බරව වටහා ගන්නට ජයවර්ධන උතුමාණන් 1981 මැයි 22දා තම මැදුරට සුවිශේෂි භික්‍ෂුවක් වඩමවා ගන්නේය. ඒ මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මහා තෙරිදුය. උන්වහන්සේ පද අරුත පහදා දෙන්නේය. ජයවර්ධනයන් ලක්දිව වෙනස් කලේ ඔහොමය. ලංකා සමාජය තම පුරාතන අගනුවරකට යලිත් තම නූතන අගනුවර රැගෙන ගිය ප‍්‍රථම හා එකම අවස්ථාව මෙය පමණක් වන්නේය. මේ අනුව ජේ.අර්.ජයවර්ධනයන් ශී‍්‍ර ලංකා මහ බැංකු ශ්‍රවණාගාර මන්දිරය රාජගිරිය පාර්ලිමේන්තු පාරේ තනවා එහි සුවිශේෂ ශෛල ටැඹක් පිහිටුවන්නේය. ඒ ඓතිහාසික සිව් මහා භූ සුත‍්‍රයෙහි උතුරු සුත‍්‍රය තිබූ තැනමය. එයට ‘‘ශී‍්‍ර ලංකා මහ බැංකු විදු පියස’’ නම තැබුවේ හෙළ බස් ඉසුරු අරිසෙන් අහුබුදුවන්ය.

   මාළිගාව බැන්ද මාළිගාකන්දෙන් බැස මළිගාවත්තට පියමන් කොට එතැනින් අජානීය අසුපිට නැගීී අලකේශ්වර රාජගිරියට පිවිසේ. ඒ දියවන්නා රජ මැදුරට කිරුළ ගෙන එන මොහොතටය. එත් දෛවය පුදුමය. රටක් තනන්නට නුවරක් තැනූ නිශ්ශංක අලකේශ්වරට කිරුළ අහිමි විය. දෙමළ රැල්ල පෙන්නා සේනාධිලංකාර පරපුරේ මලයාලම් කුමරු පරාක‍්‍රම කිරුළ උරුම කර ගත්තේය. එත් ඉන් වසර පන්සිය හැත්තෑවක් කල් යල් බලමින් සිට අලකේශ්වර ජාන රජස සිය උරුමයට ලක් භූපතියෙකු බිහි කර ගන්නේය.ඒ ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේටම විත් ලක්දිව ප‍්‍රථම ජන සම්මත රජු හෙවත් විධායක ජනපති පදවිය අලකේශ්වරගේ මීමුනුපුරානෝ වන ජයවර්ධනයන් දිනා ගැනීමෙන්ය. රාජගිරියෙන් දියවන්නා දියත්තේ පාර්ලිමේන්තුවට පිවිසි ජයවර්ධනයන් සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ රෝහණ සංඝ සභාවේ මහනායකව වැඩ විසූ මහාචාර්ය කඹුරුපිටියේ වනරතන තෙරිදු ‘‘පුරාවිද්‍යා චක‍්‍රවර්ති’’ පදවියෙන් බහු මානයට පත් කරන්නේය. ඒ කි‍්‍ර:ව 1982 අවුරුද්දේ නොවැම්බර් 4 වෙනිදාය.

    ඉතින් ‘‘රජස්’’ සමග බැදී ගෙති සිව් වසරකුත් තුන් මසක් මම සමග සිටි පාඨක සාදු ජනයෙනි. ඔබට ඇරයුම් කරමි. මේ අවුරුද්දේ නොවැම්බර් 4 වෙනිදා සවස 3.30 රාජගිරිය ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පාරේ ශී‍්‍ර ලංකා මහ බැංකු විදු පියස ශ‍්‍රවණාගාරයේදී ‘‘රජස්’’ ජනගත වේ. මට නිමිත්තක් වන්න ඔබත් එන්න.

සුජිත් අකකරවත්ත.   

No comments:

Post a Comment