Thursday, October 9, 2014

කහ පිච්ච වැල

                                          

        
            පිචිච මල සුවදින් අග පත් බෞද්ධ හින්දු දෙජාතියේ හෘද බන්ධන මලය. ‘‘සමන් මල’’ ලෙසද සිංහල අරුතින් පිච්ච මලට අරුතකි. එත් පිච්ච මලත් සමන් මලත් දෙජාතියක් විදියට කියවෙන කථාවක් ඇත්තේය. ගෞරවය ආදරය සහ ළබැදියාව එකට බැදුනු මේ අසිරිමත් මල ලක් ඉතිහාසයෙහි තීරක කථා ගණනාවකම පැළපදියම් වී තිබේ. ලෞකික ලොව්තුරු සුවද හමන හැම තැනම ‘‘පිච්ච මල’’ මලක් සේ භාවිතා වන පුදුම මලකි. දෙවියන් බුදුන් පුදට ලෞව්තුරු මලක් වන පිච්ච මලම, ස්ත‍්‍රීත්වයේ සැරසිල්ල සේද රජුන්ගේ ‘‘සිරියහනේ පුෂ්පය’’ ලෙසද භාවිතා වන්නේය. මේ විදියට ලොව්තුරු වන්දනාවටත් ලෞකික වන්දනාවටත් පත් වන මලක් ඇත්තේ නම් ඇත්තේ ‘‘පිච්ච මල’’ හෙවත් සමන් මලය. දෙමලූන් සහ සිංහලූන් හිතන්න  ඕනෑ අලූත් තැන මෙතනය. මේ විදියට පුදුමයක් දනවන බැදීමක් ඇති පිච්ච මල ගැන ඉතිහාස වන්දනාවක සැරිසරන්න සිදු වූයේ ‘‘කහ පිච්ච වැල’’ දුටු දාය.ඒ මා දුටුව සහ අසා ඇති, දන්න හැමොගෙන්ම දැන ගත් සිරිලක ජීවමානව පවතින එකම එක කහ පිච්ච වැලය. දෑසමන්, සමන්, පොකුරු සමන්, ගැට පිච්ච, පිච්ච, පච්ච පිච්ච, රෝ්ස පිච්ච, නීල පිච්ච විදියට ඇති හැම පිච්ච මලක්ම සුදු පැහැය මුල් වූ පිච්ච මල්ය. ඒත් තනිකරම කහ පැහැති පිච්ච මල් වැලක් දුටුවෙමි. එය දුටු දාත්, එහි ඉතිහාසය ලිඛිතව ඇති නිසාත්, මේ කහ පිච්ච වැලින් අලූත් නිමිත්තක් උපන්නේය.

     සමන් රජිදු බුදු පුදට පිවිසි කථාවේ පිච්ච හෙවත් සමන් ගැන ලියා තබා තිබේ. පසුව සමන් දෙවිදු බවට පත්වන සමන් රජිදු තම මිනිස් නාමයම, දිව්‍යය නාමය බවට පත්කරගෙන සමන් දෙවිදු ලෙස විරාජමානව වැඩ වසති. සමන් දෙවිදුට මේ තිරණය ගන්නට සිදුවූයේ තම නමට උපත දුන් සමන් මල තව්තිසා දිව්‍ය විමානයේද ලෞව්තුරු ලෞකික මලක් සේ පුද ලබන නිසාය. බුදු පා කමල මත සමන් මල් දොතක් අතුරා සමනල සිරසට බුදු මැණියෝ වඩම්වා ගත් සමන් රජුද ශී‍්‍ර පාදය පුදන්නේ සමන් මලට සපුමලක් ගෙතූ මල් දමින්ය. මේ පිච්ච මල් කථාව ගැන ඊළග කථා ලතාව ලියා ඇත්තේ උන්මාද චිත‍්‍රා කුමරියගේ සිරියහන අද්දරය. දීඝගාමිණි ශාක්‍යසිංහ කුමරු එක් ටැඹ තරණය කර සරාගයේ සිහින අරන් එන රෑ, උන්මාදා කුමරිය සිරියහන සරසා තිබුණේ සමන් මලෙන්ය. පිච්ච කථාවේ ඊළග කථා නිමිත්ත හමුවන්නේ වජ‍්‍රබෝධි භික්‍ෂූව සිරිලකට වැඩම කළ කි‍්‍ර:ව 732 දීය. චින දේශයේ මහායාන වජ‍්‍රයාන සිතුවිළි රැගෙන පැමිණි වජ‍්‍ර බෝධි භික්‍ෂුව මහ රහතන් වහන්සේ නමක් බව කියවේ. ඒත් ඒ ගැන ථෙරවාදි අටුවාවේ ඇත්තේ නුරුස්සන සුළු හැගීමකි. කොහොම උනත් මොණරාගල දඹේගොඩින් සිරිලකට මෛත‍්‍රීය බෝසත් පුජාව හදුන්වා දෙන්නේ වජ‍්‍ර බෝධි ථෙරිදුයය. පසුව එය අභේගිරිය හා මහාවිහාරය අතර මතවාදි සංකථනය වී ඉතිහාසය සූපෝෂිත කර ඇත්තේය. බෝසත් වන්දනාව ඇරඹෙන්නේ පිච්ච මලින් බෝසත් රුව වන්දනා කරමින්ය. ඒ හින්දා ඒ කාලේ ලක් දිව පුරා පිච්ච රැල්ලක් හමා ගොස් ඇති සැටි පෙනේ. මේ පිච්ච මලේ කථාව සිගිරිගිරි සිරසට නැග ඇත්තේ පිච්ච මල නිමිත්ත කර ගෙනය. ඒ සීගිරි කවි පොකුරේ ඇති කවි ගී නිසාය. කථාව තවත් ඈතට යන්නේ ශී‍්‍ර මහ බෝධීන් වහන්සේ සහ දළදා වහන්සේට බැදුනු පිච්ච මලේ කථා නිසාය. ඒ එම කථා මල් පුජාවලින් ඔබ්බට ගිය ඉතිහාසයේ තීරක කථා වී ඇත්තේ පුදුම විදියටය. බෙලිගලින් දඹදෙණිගලට දළදා වහන්සේ වඩින්නේ පුලතිසි නුවර දළදාවත්තේ පිච්ච මල් දෝතින් පුද විටය. සිරි වන්නියේ මහ වන්නියා විසින් තුන්වන විජයබාහුට දළදාවත්තේ සමන් මල් දෝත ගෙන නාවේනම් තුන්වෙනි විජයබාහුද දඔදෙණි රාජධාණියද සිහිනයක් වන්නට තිබුනි. ඒ වගේම දඹදෙණිය ඇද වැටී නුවරක් සොයන සිංහළයන්ට නව නුවරකට සිහිනය පෑදෙන්නේ වීදාගම මෛතී‍්‍රය මහ තෙරිදු නිසාය. කෝට්ටේ රජ නුවර බැදෙන තුරු දළදා වහන්සේ වැඩ සිටියේ මහතෙරිදු වීදාගම ස්වාමිද්‍රයාණන් වහන්සේගේ සමන් මලින් සුපිපි සුරත් තලයේය. මේ කථාවට බැදුණු වීදාගම සන්නස කියවන විට පිච්ච මලෙහි බල සුවද මහිමය විදගත හැකිය. මේ බලගතු ඓතිහාසික බන්දනය නිසාම හැම ගෙදරකම හැම උයනකම හැම අරමකම සහ හැම දෙවොලකම පිච්ච මල, බහුමානයෙන් වැජඹෙන මල් ගොමුවේ අග‍්‍ර මල් වැලය.

   මේ පිච්ච මල දිව්‍ය ඔසුවක් කර තබන්නේ හෙළ වෙද රජ බුද්දදාසය. ඔහු ලියා තැබූ සාරාර්ථ සංග‍්‍රයෙහි පිච්ච මලේ පද වරුණා අපමණය. පණ්ඩිත පරාක‍්‍රමබාහු සුරචිත කුසදාවත හෙවත් කව්සිළුමිණහි පිච්ච මලේ ලෞකික සුගන්ධය ඉහවහා ගොස් තිබේ. එය සැලළිහිණි සංදේශයෙන් සුගන්ධවත් වී හංස සංදේශයෙන් යලිත් ලොව්තුරු සුව`දට මුසු වී ඇත්තේය. මේ සුව`ද ඉතිහාසය ඒ සුව`දින් ඉව කළ ජයසේන ජයකොඩි සූරින් ‘‘පිච්ච මල’’ නව කථාව ලියන්නේ ඒ රහසිනි. නුතන සිංහල ප‍්‍රබන්ධකරණයේ නව මානය බවට ‘‘පිච්ච මල’’ නවකථාව පත්වන්නේ මේ විදියටය.
   මෙහෙම දිගට ඇදෙන පිච්ච කථාවට මට උපත වුනේ කහ පිච්ච මල් වැලය. කහ පිච්ච මල් වැල රෝපණය කර ඇත්තේ ලොව ප‍්‍රථම ජන සම්මත අගමැතිණි සිංහලේ ජන සම්මත රැුජින සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක ශි‍්‍රමතාවියය. ඈ තොමෝ බලගතු රහසක් මේ සමගම නිදන් කර ඇත්තේය. ඒ කහ පිච්ච වැල රෝපණ නැකතේ මහතෙරිදු බලංගොඩ ආනන්ද මෛතී‍්‍රය , මහ තෙරිදු වල්පොල රාහුල , මහතෙරිදු කඹුරුපිටියේ වනරතන යන සග රජුන් තිදෙනා සෙත් පිරිත් සජ්ජායනා කර වග ලිය වී ඇත්තේය. කහ පිච්ච පැලය සිරිමා රත්වත්තේ කුමරිය තෑගි ලබන්නේ භාරත රජ් පුත් රාජ වංශයේ සිංග් හමිර් ඨකුරක සිංග් කුමරුගෙනි. මල් වැල තවමත් සජීවිය. කහ පිච්ච මලින් සොබමානය. මෙය බණ්ඩාරනායක,රත්වත්තේ,ඔබේසේකර ප‍්‍රභූ වංශ පෙළපත මෙන්ම එයට බැදුනු කුමාරතුංග ජන පෙළපතටද හිමි කෞතුක රුක් වැලක් වේ. ඒත් මේ රුක් වැල ඇත්තේ කොතනදැයි කීම මහත් ව්‍යාකුල අනතුරු කථාවකි. කෞතුක හොරුන් අරක් ගත් රටක මේ පූජනීය රුක් වැල තණ්හාධික ඔහුනගේ කෙළි බඩුවක් විය හැකිය. ඒ නිසා තැන නොලියා තතු ලියමි. කහ පිච්ච වැල භාරතය හා සිරි ලක දිග ඇදුණු දිගු මිතු බැ`දුමේ නුතන සාක්ෂියය. මහ රජ ධර්මාශෝකයන් තමන්ගේ වටිනාම වස්තුන් දෙක වූ කිරුළ හිමි මිහ`ිදු කුමරුද මිත්තා කුමරියද සිරිලක වඩමවන්නේ හේතුවක් ඇතිවය. ඒ වගේම උත්තර භාරතීය කාශ්මිර රාජ වංශයේ කහ පිච්ච මල් වැල සිරිමා කුමරියට තෑගි දුන්නේ රාජතාන්ත‍්‍රක හේතුවක් නිසා විය හැකිය. ඒ වගේම මේ රාජ ත්‍යාගය රෝපිත නැකතට වැඩම කොට වල්පොළ ,කඹුරුපිටියේ,බලංගොඩ ස`ග රජුන් තිදෙනා එය බලගතු රාජතාන්ත‍්‍රික කථාව සනාථ කරයි. මෑත යුගයේ සිරිලක් සසුන පොඹ කළ මෙම සංඝ නේත‍්‍රෘන් තිදෙනාගේ අනු දැනුම රැුකවරණය මත සිදු වුනු මේ රුක් රෝපණය ලක් සංස්කෘතික ඉතිහාසයේ නිදන් ගත රාජ දේශපාලන සිදු වීමකි. එබෙවින් මේ ගැන ඇති ඉතිහාස සාක්‍ෂිය වහ වහා ලක් රාජ ලේඛනාගාරයෙන් සුරක්ෂිත කළ යුතු බව කිව යුතුය. 

   එමෙන්ම මේ ඓතිහාසික සිදුවීම් ආඥා අනුසාරයෙන් මෑත යුගයේදී සජිවි විය. ඒ පූජ්‍ය කොටපොළ අමරකීර්තිි ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ‘‘පිච්ච මල් පුජාව’’ නම් බෞද්ධ මහා වන්දනාව ඔස්සේය. ඒ පිච්ච මල් පුජාවේ ආඥා ධර්ම ධාතු බලයද එක් වී කොටි උවදුර සිරිලකින් සහ මුලින්ම උපුටා දැමුවේය. ඒ සදහා පිච්ච මල් පුජාවේ නිර්මාතෘ පුජ්‍ය කොටපොල අමරකීර්ති හිමියන්ට ධර්මාසනය මදකට අතහැර රාජ සභාවේ අසුන් ගන්නට සිදු වූයේ එබැවිනි. යුතුකම ඉටු කොට රාජාසනය අතහැර පිච්ච මල් පුජාව යලිත් ජිවමාන කොට නැවත ධර්මාසනේ වැඩ වසන්නේ ඒ ඉතිහාස ආනුභාවයෙන්ය. මේ කථාවේ ඇත්ත නැත්ත හරි මැද සජිවීව දිවිගෙවමින් තතු පවත් සහිතව දැන සිටින බැවින් නිර්භයවම ලියා තැබුවෙමි.

සුජිත් අක්කරවත්ත.   

1 comment:

  1. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete