Thursday, November 28, 2013

පළමු මෝරිය වංශය.




කි‍්‍ර:ව:406 දී රජවන පළමු ලම්බකණ්න වංශයේ අවසාන පුරුක වූ මහනාම රජුගේ විසි දෙවසරක පාලනය නිමා වන්නේ රට අස්ථාර කරමිනි. ඔහු, සිංහල රාජ්‍යයේ මතවාදි සමබර භාවය ථේරවාදී අන්තවාදයට රැගෙන යාමෙහි ප‍්‍රථිපළය වන්නේ කි‍්‍ර:ව:429 දී ”ෂඞ් ද්‍රවිඩ” නමින් නම් වූ කල්ලතෝනි මැරවර කල්ලියකට රට යටත් වීමය. එම යටත් පාලනය ආරම්භ වන්නේ කීර්තිමත් පළමු ලම්බකණ්න රාජ පෙළපත සහමුලින්ම අහෝසිව යෑමෙන්ය. පුරා විසි හතර වසරක් ෂඞ් ද්‍රවිඩ ද්‍රමරිකයන්ගෙන් නිදහස්වීමේ ජාතික පිපාසාව ශ‍්‍රාස්තී‍්‍රය කියවීමකින් පුනරුදය ලබන්නේ මහනාම මහ තෙරිදු තෙමේ ”මහ වංශය”රචනා කිරීමත් සමගය. ඒ අනුව ”මහ වංශය” ජාතික පුනරාගමනය පිණිස මතවාදයක් ඇති කරන්නේය. එහි ප‍්‍රථිඵලය වන්නේ සිංහලේ සිව්වන රාජ වංශය පෙර ගමන් ඇරඹීමය. ධාතුසේන කුමරු කි‍්‍ර:ව:455 දී රජ පද ප‍්‍රාප්ත වීමෙන් ඒ ඓතිහාසික රාජ වංශය ආරම්භ වන්නේය. ”ෂඞ් ද්‍රවිඩයන්” පරදා මෝරිය වංශ ධාතුසේන කුමරු ස්ථාපිත කරන පළමු මෝරිය වංශය එතැන් පටන් වසර අනූහතක් ලක් රාජධානියේ උරුම කිරුළ දරා ඉදියෝය.  ලක්දිව ආර්ථිකයේ නව හැරවුම වූ ධාතුසේන රජුගේ පුත‍්‍ර සීගිරි කාශ්‍යප මෝරිය රාජ වංශය ලෝක උරුම සිරිතට රැගෙන යන්නේ සිංහල සිරිතද, ලෝක පුදුමයක් බවට පත්  කරමිනි. ධාතුසේන රජු සිංහල රාජ්‍යය සම්ප‍්‍රදාය නැවත මහයාන බුදුදහමේ දාර්ශනික හරයයන් සමග ථේරවාදී මධ්‍යයට සමපාත කළේය. එහි තීරක ප‍්‍රථිඵලය වූයේ සරුසාර සැනසිලිදායක සමාජ වටපිටාවක උරුමය ජනතාවට හිමිවීමය. ධාතුසේන පුත‍්‍ර කාශ්‍යපයන් ලොව මුදුනට ඔසවා තැබුවේ ඒ පිය උරුමයේ උත්තර දර්ශනයය. කෙසේ නමුත් මෝරිය වංශය තුන්වන රාජ දරුවා බිහිකර ගැනීම පිණිස තම වංශය ස්ථාපිත කළ එක්සත් රාජ දාර්ශන මතවාදය බිද දමා ගත්තේය. ඒ සීගිරි කාශ්‍යපට එරෙහිව ථේරවාදී සගුන් වහන්සේලාගේ දේශපාලන කැරැල්ල නිසාය එහි ප‍්‍රතිඵලය වන්නේ සීගිරිය ද, සීගිරි කාශ්‍යප ද වනසා යළි ලක්දිව බල දැක්ම අන්තයකට ඇද වැටීමය. ඒත් ධාතුසේන රජු ද, කාශ්‍යප රජු ද තැනූ සරුසාර ආර්ථික සමාජ පුනරුදය නිසා රට ස්ථාවරව සියවසක් පමණ පෙරට ගලා ගියේය.

සිරිලක් දිව සිව්වන රාජ වංශය වූ පළමු මෝරිය වංශය විශේෂ රජුන් එකොළොස් දෙනෙක් බිහි කළ අතර, මෙකී වංශයහි ඉතිහාස මූලය අනුරාධපුර යුගය දක්වා දිව යන්නකි. දෙවනපෑතිස්ස රජ දවස සංඝමිත්තා කුමරිය සමග මෙහි සැපත් මෞර්ය කුමර පරපුරෙහි පුරුෂ බීජ මෙරට ලම්බකණ්න සහ දේශීය කුමරියන් සමග මුහු වීමෙන් මෝරිය වංශය බිහිව ඇත්තේය. විශේෂයෙන්ම දළදා වහන්සේ සිරිලක සැපත් වූ විට, ඒ සමග මෙහි සැපත් දන්ත, හේමමාලා දෙපළගේ ඥාති පරපුර නිසා මෝරිය පෙළපත බල මුදුණේ විශේෂ භූමිකාවට පණ දුන්නෝය. ඔවුහු රාජ තාන්ති‍්‍රක නිළධරන් ලෙස වැජ බී සිටි පරපුරකි. 

මෝරිය රාජ වංශවතුන් ද බොහෝ සෙයින් දේශීය බිසවක් අග තනතුරට පත් කර ගැනීම පි‍්‍රය කළ හැටි ඔහුනගේ ඉතිහාසය දෙස බලන කළ පෙනේ. මේ අතර මෙම වංශවත් පරපුර දෙකට බෙදෙන සිදුවිම වන්නේ මේ අගබිසව පිළිබද ප‍්‍රශ්නයය. වෙසසින්ම ධාතුසේන රජ කුමරුගේ අගබිසව වූයේ උත්තර භාරතීය සතිසාදේවී කුමරියය. දෙවන බිසව වන්නේ දේශීය වංශවතිය වූ උත්තරාය. භාරතීය අගබිසව පුත‍්‍ර ”මුගලන්”ථේරවාදී දේශපාලනික සගුන් සමග තම අයියා වූ කාශ්‍යපට අභියෝග කරන්නේ ඔහු දෙවන බිසවගේ පුත‍්‍රයා බවත්, මහායානියෙකු බවත් හඩ නගා පවසමිනි. මේ බිසව් ගැටුම ඉන් පසු මෝරිය පෙළපත හා බැදී ගලා යන මහා ගැටුම බවටද පත් වන්නේය. 

සිරි විසිතුරු රාජ සිරිත් එකොළහක් ජාතියට දායාද කල මෝරිය පෙළපත අතර බැදී මේ බිසවගේ ප‍්‍රශ්නය කෙතරම් දිගු දුරකට ගලා ගියාදයත් එය ඒ සීගිරි කාශ්‍යප රජු ඉදිරියේ ද මතු විය. ඒ ඔහු භාරතීය බිසව අගබිසව නොකට දේශීය බිසව අගබිසව කර ගැනීමෙන්ය. සීගිරි කාශ්‍යප දුව උපුලි කුමරියට ඇගේ පියාගෙන් පසුව රජ කිරුළ උරුම වුයද, එය ඇගෙන් උදුරා ගැනීමට ඇගේ මව්ගේ සිදුවීම බලපෑවේය. සැබැවින්ම මෙලෙස වංශ දෙදරීමක් නිසා මෝරියවංශවතුන් අහෝසිව සිටි ලම්බකණ්න වංශයේ නෑ බැදීම් සහිත කුමරෙක් හෝ කුමරියක් තම වංශයට විවහා තුලින් බැද තබා ගත්තේය. ධාතුසේන රජුගෙන් කි‍්‍ර:ව.455 දී ආරම්භ වී කිත්සිරිමේඝ රජුගෙන් කි‍්‍ර:ව.551 දී පළමු මෝරිය රාජ වංශය නිමා වන්නේය. මේ වංශයෙහි රාජ දැක්ම අන් සියළු රාජ වංශ වලට වඩා ඉසුරුමත් ආර්ථික සුව සාදනය සහිත වූවකි. ඒ සමයහි ලොව ප‍්‍රමුඛතම ඉසුරු රාජධානිය බවට සිංහලය පත් කරන්න තරම් මෝරියන් සුවශේෂින්  වූයේ එබැවිනි. මෝරියන් අතර පුරාජේරුකරුවන්, ප‍්‍රචාරකරුවන් හා යුදකාමීන් දක්නට නැති තරම්ය. ”ෂඞ් ද්‍රවිඩයන්” පළවා හැරීම පිණිස ධාතුසේන රජතුමා සිදු කළේ මිනිස් ඝාතන වෙනුවට මතවාදී නැගිටීමකි. එබැවින් මෝරිය වංශය යුද්ධය, රණකාමය වෙනුවට හතුරන් නැසීම උදෙසා දාර්ශනික අත්හදා බැලීම සිරිලකට දායාද කළ සදාර්ශනික වංශය ලෙස සම්භාවනාවට පාත‍්‍රව ඇත්තේය. 

පුරා වසර අනූහතක් පුරා දිව ගිය මෝරිය රාජ වංශයේ පාලනය ශේෂ කර තබා ගිය මහා කලා නිර්මාණය අදටත් කියා දෙන්නේ ඒ සදාතනික රාජ්‍ය තාන්ති‍්‍රකත්‍වයේ බල මහිමයය. ඒ අනුව සිංහලේ මතවාදී මහා ග‍්‍රන්ථය වූ ”මහ වංශය” ද, සිංහලයේ ලෞකික පුදුමය වූ සීගිරිය ද ලොවට දායාද කළේ ලක්දිව සිවු වන රාජ පරපුර වූ පළමු මෝරිය වංශයය. 

සුජිත් අක්කරවත්ත

No comments:

Post a Comment