Wednesday, September 9, 2015

රෑ රජ්ජුරුවෝ

                           

   වෙනසක් වෙනුවෙන් එකතුවක් හැදෙන්නේ වඩාත්ම පොදු හැගීමක් ඇති වෙන විටය. ඒ විදියට හැගීමක් ඇවිත් මිනිස්සු එක් තැන් වේ. මේ එක් තැන් වීම ගැන කථාව අතීත තතු අතරේ ඇවිද ඇවිද සොයන විට හමුවන වෙනස සදහා වූ කථාව හැබෑවන්නේ ලෝක වර්තාවක් ලක් රාජ සම්ප‍්‍රදාය තුලින් බිහි වීමෙනි. යක්කු යක්කු විදියටත්, නාගයන් නාගයන් විදියටත්, රකුසන් රකුසන් විදියටත්, සිංහයන් සිංහයන් විදියටත්, දේවයන් දේවයන් විදියටත් වඩා බලවත් වීම රාජ්‍ය පාලනයයි සිතා සිටීම වෙනස් විය යුතු යැයි අදහසක් මතු වේ. ඒ අදහස මතු වන්නේම සම්බුදු ඔවදන නිසාය. තුන් රටේ ඇත්තෝ එක රටක් හදාගන්න දරන වෑයමට මල් පිපෙන්නේ ඔහොමය. ඒත් තුන් සිංහළය ‘සිංහලය’ කර ගැනීමට ගෙතූ නව වෙනස හැබෑ කර ගැනීමට සිතූ තරම් පහසු වූයේ නැත. මේ අසීරු වෑයම අතට ගන්නට පණ්ඩුකාභය ශාක්‍යසිංහ මතුවන්නේය. ඔහු අභය විජයසිංහ සමග බැදගත් සම්මුතිය ඒ වෙනස හැබෑ කර වන්නේය. පණ්ඩුකාභය රාජ්‍ය බලය පතා සටන් කරමින් සිටි අතර, අභය යුවරජ පදවිය දරමින් රාජ්‍ය මතවාදය වෙනස් කිරීමේ අරගලයට උරදෙමින් උන්නේය. ඒත් අභයට ලංකාවේ ඉතිහාස කතාවේ ඉඩක් නැත. එහෙම වෙන්නේ ගැඔුර පාදන මග වෙනුවට නොගැඹුර සොයන ඉතිහාස කේවට්ටයන් නිසාය. කොහොමින් නමුත් අභය සහ පණ්ඩුකාභය දෙපළ ලක් දේශපාලනයට දායාද කළ සම්මුති සහිත රාජ පාලනය නිසාම ‘යහ පාලනය’ බිහි වන්නේය. ඒ කි‍්‍ර:පූ පස්වන සියවස තරම් ඈත දවසකය. සම්මුති හා යහපාලනය යන්න නූතන වෙනසකටද හැගීමක්  දෙන්නේ මේ ඉතිහාස පූර්වේ නිමිත්ත මතය.

     ඉතිහාසීය සිදුවීමක් වදනක් දැක්මක් සහ වටපිටාවක් ආයිත් ඒ විදියටම පෑහී එසේම වෙන හැටි ලංකාවේ සිදුවන පොදු ඇත්තකි. සරලව කියන්නේ නම් එළාර ආවිට සම්මුතියට සද්ධාතිස්ස ආවේය. ඒත් සම්මුතියේ සද්ධාතිස්ස ද්‍රෝහියා බව කියමින් දුටුගැමුණු දකුනේ රජ සේ ඔටුනු පළදින්නේය. ඒ දුටුගැමුණු එළාර අහවර කර දැමු පසු ද්‍රෝහියා යැයි ජනතාවම ඉවත දැමූ සද්ධාතිස්සට යලි ඔටුනු පළදන්නේය. එය කි‍්‍ර:ව පළමුවන සියවසේ සිදුවන්නේය. ඒ වගේම වට පිටාවක් ඇවිත් ප‍්‍රභාකරන් ආවිට වික‍්‍රමසිංහ සම්මුතියට ආවේය. ඒත් සම්මුතියේ වික‍්‍රමසිංහ ද්‍රෝහියා වී දකුණ රාජපක්ෂව ඔසවා රට භාර දුන්නේය. රාජපක්‍ෂ ප‍්‍රභාකරන් නැසූ පසු ජනතාවම ද්‍රෝහියා යැයි පැවසූ වික‍්‍රමසිංහට යළි ජයග‍්‍රහනය ලබා දෙන්නේය. මේ සිරිළක හැටියය. ඒ නිසා අතීත සංඥාව නිබදවම ගලා යන්නේය. ඒ නිසා සිරිලක බලය කවුරුන් ගත් නමුත් ‘ජාතික රචකයා’ තැනූ ජාතික ආනුභාවයේම එය ගමන් කරන්නකි. මේ උදාහරණයෙන් යලිත් රෑ රජ්ජුරුවන්ගේ කථාවට යායුතුය.

 එක්සත් ජාතික වාදය සහ යහපාලනය උදාකර ගැනීම සදහා වූ පණ්ඩුකාභය සහ අභයගේ සම්මුතිය ජය ලබන්නේය. මේ ජයග‍්‍රහණයෙන් අනතුරුව රජ පදවිය අමුතු විය. රජතුමා ලෙස එක විට දෙදෙනෙකුට ඔටුනු පැළද විය. දෙදෙනාම නොබිදී පවතින තුරු එක්සත් බවත් යහපත් පාලනයත් පවතින සම්මුතිය සදහා මූලික විය. ඉතින් ලොවේ කවර දේශයකවත් කවර ජාතියක්වත් බිහි නොකල පූර්ණ මහා සම්මුතියක් ඇතිවන්නේ එසේය. ඒ අනුව පණ්ඩුකාභය සිරිලක දහවල් රජ්ජුරුවෝ වූ විට අභය රෑ රජ්ජුරුවෝ වූවේය. රජුන් දෙදෙනෙක් එකම රටක් එකම පාලනයක් එකම කිරුළක් එකම සේසතක් නගා පාලනය කළ ලොව මුල්ම හා එකම අවස්ථාව මෙය වන්නේය. ඒ අතින් ලොවට දිය හැකි මහා දේශපාලන පෞර්ෂයක් සපිරි ජාතිකාඩම්බරයක් හා විභූතිමත් දර්ශණයක් අප සතුව ඇත්තේය. දැන් කළ යුතුව ඇත්තේ මේ ගැඹුර ඇතුළටම කිමිද බලා කියවා ගැනීමය. කෙළෙස් සහිත මිනිසුන් දෙදෙනෙකු මෙසේ සම්මුතියෙන් සමපාත වීම  විශ්මයකි. පණ්ඩුකාභයත් අභයත් සමවැසිව දැරූ රජ පදවිය කිසි කළේක අනෙකා අභිබවා නොගිය පුදුම බැදීමකි. ශ‍්‍රී ලංකා රාජ්‍ය ඓතිහාසික වූද ප්‍රෞඩ වූද බිද වැටුනද යලිත් ගොඩ නැගිය හැකි  ඕනෑම අවිචාර යුගයක විචාර සම්පන්නව නැගිටිය හැකි ගුණය ලබා ගන්නේ මේ මහගු ඇරඹුම නිසාය. ඒ නිසා මේ පුරුෂයන් දෙදෙනාගේ භාව ගැඹුරු පේ‍්‍රමණිය දේශපාලන සම්මුතිය ගැන කථා බහක් ගැඹුරින්ම පටන් ගත යුතුය. යහපාලනය හා සම්මුතිය යලිත් වෙනසෙහි තේමාවී ඇත්තේය. පෙර සිදුවීමට යුක්තිය ඉටු කළ හැක්කේ නව සිදුවීම පෙර සිදුවීම තරමට ගැඹුරෙහි තබා ගෙනය. වික‍්‍රමසිංහ ලෝක වාර්තාවක් සම කරමින් සිරිසේනයන් සමග මේ ගෙනයන දේශපාලන සම්මුතියද ඒ තරම් ගැඹුරට යායුතුය. කොහොම උනත් රෑ රජ්ජුරුවෝ ගැන ලිවිය යුතුයි යැයි සිතුවේ ඒකය. අභය විජේසිංහ කියන්නේ පඩුවස්දෙව් විජේසිංහ රජුගේත් භද්දකච්චායනා ශාක්‍යසිංහ දේවියගේත් දෙටු පුතුය. තවත් සරළව කියන්නේ නම් සිරිලක පලමු රජු විජයසිංහගේ සොයුරු සුමිත්තය. සුමිත්තගේ පුත‍්‍රයා පඩුවස්දෙව්ය. ඔහුගේ පුත‍්‍රයා අභයය.

    අභය විජේසිංහ රජු ගෝත‍්‍රවාදය හා අශිශ්ඨ මුග්ධ රණකාමය ලක්රාජ දේශපාලනයෙන් ඉවත හෙලා දැමීමට ප‍්‍රමුඛ වූ නායකයාය. යුද විරුවන්ම සොයන්න ඉතිහාසය කාල් ගාන ගෝත‍්‍රක ඉතිහාසවේදීන්ට මේ මිනිස්කමේ විරුවා පෙනෙන්නේම නැත. උතුරාලන මනුෂ්‍ය පේ‍්‍රමයේ හා ජාතියේ සදාතනික පැවැත්ම ස්වකීය හදවතේ පළමු යුතුකම කරගත් අභය ගැන පටුනක් ජේදයක් පොතක් ලියන්න කවුරුවත් මෙතුවක් ඇවිත් නැත්තේ ඒකය. අභයගේ නැගෙනිය උන්මාද චිත‍්‍රාය. උන්මාද චිත‍්‍රාගේ පුත‍්‍රයා පණ්ඩුකාභයය. අභය මාමා වන විට පණ්ඩුකාභය බෑණා විය. රාජ සම්මත යුගයේ ජාන බන්දනය රාජ පාලනයට වැදගත්මය. එය නොසිතන ජනසම්මත යුගයේත් ඒසා වැදගත්ය. මන්ද ජේ.ආර්. ජයවර්ධන මාමාගේ ක‍්‍රමයේ වෙනසට වික‍්‍රමසිංහ බෑණාම  ඕනෑ වූයේය. රෑ රජ්ජුරුවොත් දවල් රජ්ජුරුවොත් වගේමය. බල තල ඇති ජනපති හා බල තල ඇති අගමැතිය. ඉතින් පීරා ගොසින් අතීතය විද නේක දුක් ගැහැට මැද කළහැකි බව හොද යමක් පසක් කරගත් යුගයකි මේ ඒ වගේම ගැඹුරටම සොයන්න පද ඇත්තේ ඉතිහාසයේ බව මේ සියල්ල කියා දෙයි. ඒ වගේම පළමු රෑ රජ්ජුරුවෝ වගේම පළමු දවල් රජ්ජුරුවෝ වගේම මේ උදාවෙන් හොද බිහිවෙතැයි සිහින දකිමින්ම සිට පලක් නැත. හොද පවතින්නේ ‘ජාතික රචකයා’ බලවත් වූ පමණින්මය. ඉතින් මහාවංශය එක්ක ජාතික රචනාව තවත් පෙළ ගැස්විය යුත්තේය.

සුජිත් අක්කරවත්ත  

1 comment:

  1. රනිල්ට සහ මෛත්‍රීට ත් යහපාලනයට කඩේ යනවා යැයි මහින්දවාදියෙක්ට හිතෙන වර්ගයේ නමුත් අපූරු ලිපියකි.

    ලක්දීපයේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහයන් ගැන ඔබ ලියූ ලිපි තිබෙනවාද?

    මතුපිට ස්පර්ශකරන ඉතිහාඥයන් සහ කලාකාරයන් එතුමා දුෂ්ඨයෙකු ලෙස කෙතරම් හඳුන්වාදෙන්න උත්සාහ කලත් බොහෝ කලෙකට පෙර කියවූ ලිපියක එතුමා ඉතා කලාකාමී සංවේදී පුද්ගලයෙක් ලෙස හැඟවෙන අයුරින් ලියා තිබුනා.

    ඒ ලිපියේ කරුනු බොහොමයක් අමතකයි නමුත් රළු මතකයට අනුව එතුමා ඇහැලේපොල කුමාරිහාමි කෙරේ ඇතිවූ පිලිබඳ සිතත් සඳුළුතලයේ සිට පොඩ්ඩක් බලාසිටීමෙන් පමනක් සංසිඳුවා ගත්තෙක් ලෙස එහි තිබුනා මතකයි.

    රදළ නිළධාරීන්ගේ බලය වෙනුවෙන් කුළල් කාගැනීම් සහ කරදර ඉවසන්න බැරිම තැන ඉංග්‍රීසීන් විසින් තෑගි කල මත්පැන් පානයට හුරු වූ බවයි එහි ලියා තිබුනේ.

    මත්වී අසිහියෙන් සිටිනා වෙලාවක රදළයින්ගේ උවමානවටම රජවාසල කැඳවා ඔවුන් විසින්ම ඇහැලේපොල පවුලට එරෙහිව ලියා දුන් දඬුවම් පත්‍රිකාවකට රජුගේ අත්සන ලබාගෙන මත බහින්න පෙර කඩිමුඩියේ ඇහැලේපොල පවුල ඝාතනය කලේ එමඟින් ඔවුන්ගේ පසමිතුරු ඇහැලේපොළට දඬුවම් කරන්නත් රජතුමාව මිනිසුන් අතර අප්‍රසන්න කරන්නත් යන එක ගලින් කුරුල්ලන් දෙදෙනෙක් කියා තිබුනු බවත් මතකයි.

    රජතුමා පහුවදා මතෙන් මිදී ඇහැලේපොළ පවුලේ කෲර ඝාතනය අසා ඉතාමත් කම්පා වූ බවත් එහි තිබූ බව මතකයි.

    ReplyDelete