Wednesday, June 10, 2015

මායා රටේ යක්කු

                             


               ගමින් ගමටත් රටින් රටටත් ගලා යන රිද්මය ලක් ඉතිහාසය තේරුම් ගන්නට බලපාන තවත් පැත්තකි. ලංකාව ඇතුලේ ගම් වගේම ගම් ගොඩවල් ද වේ. ගම් ගොඩවල් කීවේ ගම් ගනනාවක් එකට එකතු වූ ගම් සමූහයකි.  එ ”අනුව අපි ගමේ ගොඬේ මිනිස්සු නේ”.... යැයි සමහරු තමන් හදුන්වා ගන්නේ මේ භූ ලකුණු මතය. එතකොට ගම් ගොඩවල් වගේම රටවල් ද වේ. ලංකාව ඇතුලේ රටවල් කීවේ ගම් ගොඩවල් ගොඩක් එකතු කර තැනූ පළාත් වලටය. ඒවා රටවල් වූයේ කලක ස්වාධීනව පැවති එත් අන් රටටවල් වලට අභියෝගයක් නොවූ අමුතු පාලනයක තිබු නිසාය. ලංකාවේ රටවල් ගනන කලින් කලට වෙනස් වී ඇත. එත් හැම දාමත් ප‍්‍රධාන රටවල් තුනක් තිබුණේය. ඒ රුහුණු රටත්, පිහිටි රටත් මයා රටත්ය. මේ තුන් රටේ ඇත්තෝ රජ කම ගන්න තම රට, රජ රට කර ගන්න දරණ වෑයම මේ රටේ රාජ දේශපාලනය වේ. වඩාත් සරලව කීවොත් ළගම උදාහරණ ගෙන පැහැදිලි කළ හැකිය. එනම් රුහුණු රටේ මහින්ද මැතිතුමාගේ අව පාලනය නිමා කරන්න මායා රටේ වික‍්‍රමසිංහ මැතිතුමා ද පිහිටි රටේ මෛතී‍්‍රපාල මැතිතුමාද එක් වන්නේ මේ ගම් ගොඩවල් ගම් හා රටවල් කථාවේ ඉතිහාස රිද්මය අනුවය. ලංකාවේ කවදත් සිදු වූ හැම ජන අරගලයම බලකම අරගලයක ඇතුල් පැත්තේ මේ භූ කථාව ඇත්තේය.
                   
පැති මාන බහුවිධය. මේ භූ මානයෙන්ම විතරක්ම තේරුම් ගත හැකි ඉතිහාස කරුණු ද ඇත්තේය. එ කියන්නේ භූමියට අනුව ගලායන රිද්මය අනුව සිදුවීමක් වටහා ගත හැකි ක‍්‍රමයක් පවතින බවය. දැන් මේ භූ රිද්මය ලංකා රිද්මය තනන රිද්මයක් වග දන්නා ඇත්තෝ විරළය. ඒ නිසා භූ රිද්මය ගැන තැකීමක් ඇතුව ඉතිහාස නිරීක්‍ෂණයක් නැත. නවීන ලෝකය ”භූගෝලීය දේශපාලනය” නමින් විෂයක් ස්ථාපිත කර ඇත. ඒත් එය ඔස්සේ ලක් රටේ ඉතිහාස වටහා ගන්නා මානය තවමත් තනා ගන්නට බැරිව තිබේ. කොහමින් හරි බුදු රජාණන් වහන්සේ මුලින් වඩින්නේ රුහුණු රටේ මහියංගනටය. ඉන් ඉක්බිතිව පිහිටි රටේ නාගදීපයටය. තෙවනුව මායා රටේ කැළණියටය. දැන් පුදුමය කියන්නේ රටේ අගනුවර පිහිටි රටෙත් මායා රටෙත් තැනී ඇතත් කිසිකලෙක රුහුණින් අග නුවරක් බිහිව නැත්තේය. එහෙම නුවරක් බැදුනේ රට දෙකට බෙදුනු එළාර යුගයේ මාගම සිංහලේ අගනුවර බවට තාවකාලිකව පත් කර ගත් නිසාය. එතකොට සිතිය යුත්තේ රුහුණු රටට අගනුවරක් බිහි නොවුනේ මන්ද කියාය. රුහුණේ මිනිසුන්ගේ වේගය පසු පස්සේ මේ අසහනය විටෙක තිබෙන්නටත් පුඵවන. රුහුණින් රජ පදවිය ගත් හැමෝම පිහිටි රටේත් මායා රටේත් අගනුවරම තැනුවා මිසක රුහුණට අගනුවර ගෙන යාමට අපෝසත් වූයේය. එය රුහුණෙ දුටුගැමුණුගේ සිට අවසන් රුහුණු පාලකයා වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දක්වා තහවුරු වූ ඇත්තය. දැන් එතකොට ලංකා දීපයේ රටවල් තුනටම බුදුන් වහන්සේ වැඩ සිටියදීත් රුහුණුරටට විතරක් රජ නුවරක් නැති වූයේ මන්ද. මේ සිතිය යුතු කරුණකි. කරුණ සිතිය යුත්තේ රුහුණේ රාජධානියක් හෝ අගනුවරක් තනා ගැනිමේ ව්‍යාපාරයක් තැනිමට නම් නොවේ. ලංකා ඉතිහාසය තෝරා බේරා ගැනීමේ භූ රිද්මය සොයා ගන්නට අරුම දනවන රිද්මයක් එහි ඇති නිසාය.
                                
මෙහෙම සොයන විට ලක් කතාවතේ තැන් තැන් වලදී හමුවන සාක්‍ෂි අතර ප‍්‍රබල සාක්‍ෂියකි. එනම් ‘මායා රටේ යක්කු’ය. සිංහල ජාතිය බිහි වීමට පාදක වන අවසන් ජන ගෝත‍්‍ර වංශය, යක්කු හෙවත් යක්‍ෂ වංශයය. බුදු රජුන්ටත් විජය ප‍්‍රමුඛ සිංහ වංශයටත් මාරක විරෝධයක් පෑ, එම විරෝධය අඛණ්ඩව රැගෙන පැමිණි හෙළ වංශ ගෝත‍්‍රය යකුන්ය. තවමත් විජය රජුගේ සිංහ වංශයට එරෙහිව නොනවතින මතවාදී යුද්ධයකට පාදම වී ඇත්තේ යක්‍ෂ වංශයයි. යක් වංශය තමන් හෙළ බිම භූමි පුත‍්‍රයන් සේ දකින්නේය. ඒ නිසාම උත්තර භාරතීය ජාන මූල නෑකමට බැදුනු ලක් ඉතිහාසයට එරෙහිව යක් සනුහරයට ඔවුහු පණ දේ. මෙසේ පණ දීමට යන කථාව ලිය වී ඇති තැන් අතරේ හමුවන වටිනා ඉතිහාස සාක්‍ෂිය වදනකි. ඒ වදන නම් ‘මායා රටේ යක්කු’ය.
                   
එවිට ප‍්‍රශ්ණය මේ ‘මායා රටේ යක්කු’ කවුද යන්නය. සාමාන්‍යයෙන් රුහුණු රටේ යක්කු යන්න ප‍්‍රචලිත වදනකි. එ යක්කුන්ගේ හදබිම රුහුණ වූ නිසාය. එත් ඉතිහාසයහි ගැඹුරු තැන් සොයන්න බලන්න කවුරුත් වෙහෙස නොවේ. අනෙක වදනක් කැණ බැලීමෙන් ඉතිහාසය වටහාගත හැකි යැයි නොසිතයි. පොළොව කැණ බැලීමත් දන්න, දේ කියවීමත් හැරුනාම වදනක් කැණ බැලීමත් ඉතිහාසය සොයා යාමේ පරීක්‍ෂණයකි. ඉතින් මේ මායා රටේ උන්නු යක්කු කවුද?. මායා රටේ යක්කු වැඩියෙන් උන්නු පැත්ත සේ ලියා ඇත්තේ සියනෑව හෙවත් ගම්පහය. මේ ඉතිහාස සාක්‍ෂිය ජීවමාන වන්නේ අදත් ගම්පහ පළාතේ ඇති යක්කල යක්විල යකේවත්ත සහ යක්හඩුව ඇදි ග‍්‍රාම නාමය. එසේ නම් මේ මායා රටේ යක්කු රුහුණු රටේ යක්කුන්ගෙන් වෙන් වු තැන කොතනද?. මේ දෙගොල්ලෝ පස මිතුරුව සිටිය වග ඉතිහාස වාර්ථාව නිරීක්‍ෂණය කරන විට පෙනේ. මේ ගැන අපූරු නූතන කථාවක් ඇත්තේ කැළණි මහා විහාර බිතු සිතුවම්හි නූතන යුගය සමගය. ඒ අසහය චිත‍්‍ර ශිල්පී සෝලියස් මෙන්දිස් කැළණිය බිති සිත්තමට මහියංගන යකුන් ගත් විට සියනෑ යක්කු ගැන ඇති වී ඇති කථාවය. මේ නම් දිගට ගැඹුරට සොයන්න වටින රසයක් කුතුහලක් පිරිණු කථාවකි. මන්ද මායා රට දැන් ලංකාවේ පාලකයන් හදන බිමය. කි‍්‍ර:ව: 1412 සිට බිහි වූ පාලකයන් අතරින් අති බහුතරය මායා රටේ මායා පුත‍්‍රයන්ය. මේ තත්වය මතු මත්තටද ගලා යන බව දැන් පෙනෙන ඇත්තකි. එ ඇත්ත කලාවේ සාහිත්‍යයේ සසුනේ සිට හැම විෂයකට බැදී ඇත. මායා රටේ මායාවරු ගැන පැහැදිලි කතිකාවන් තිබුනද ‘මායා රටේ යක්කු’ ගැන පැහැදිලි සෙවීමක් නැත. නැති තැන සොයා යා යුතුය.

සුජිත් අක්කරවත්ත   

1 comment: