Friday, February 6, 2015

කපිතාන් හොග්



   භාරතය තේරුම්  ගැනීමට පුරා විද්‍යාවේ සරණ යන්නට ඉංගී‍්‍රසී අධිරාජ්‍යවාදය තීරණය කරන්නේ කි‍්‍ර:ව 1842 දීය. එත් ඒ සදහා නිල මෙහෙයුම ඇරඹෙන්නේ කි‍්‍ර:ව 1861 දීය. ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒ සමග පිහිටු වන්නේය. ඒත් වැඩි දුර යන්නට මත්තෙන් භාරතය සොයා යාම අසරණ වේ. ඒ භාරතය සොයා යන්නට නම් සිංහලය සොයා ගත යුතුව තිබූ බැවිණි. මේ ගැන කදීම සිතුවිලි සරණයක් ශි‍්‍රමත් කනිංහැම් හා ලක්දිව ආණ්ඩුකාර හර්කියුලස් රොබින්සන් අතර සිදු වී තිබුනි. ඉතිහාසය ගැන ලියන ඇත්තන් කියවිය යුතු මේ හෘද පේ‍්‍රමයේ මිතුරු ලිපි වැල පෙරට ගත යුත්තේ ඒකය. ඒත් සුද්දා පරයා.... ඌ අපිව කෑවා..... අපේ උරුමයට ගිනි තිබ්බා.... වගේ මෝඩ සිතුවිළි තාම හිතේ දවටාගෙන ඉතිහාසය ගැන ලියන කියන උදවිය මෙවා හංගාගෙන ඇත්තේය. නැත්තම් දන්නේම නැත්තේය. නොදන්න උන්ට ඉතිහාසය භාරදීම ලක් රජයට පුරුදු වී ඇති ලෙඩකි. මේ ලෙඩඬේ හොදවන පාටක්ද නොපෙනේ  කොහොම උනත් රටක උරුම සිරිතට පණ දීම රජයක වගේම එහි පුරවැසියාගේ ද වගකීමකි. මේ ගැන හිතා ගෙන ඉතිහාස විෂයට සිතුවිළි පතුල යා කර ගත විට බොහෝ දේ දැනේ පෙනේ.
     
මෙහෙම පෙනෙන දැනෙන දෑ හිතේ දවටාගෙන ගැඹුරි හැගුමින් පරියෙෂණයට පිවිසිය යුතුය. මෙහෙම පිවිසි විට ඉංගී‍්‍රසි යුගය ඉතිහාසය ආලෝකමත් කළ රාජ ප‍්‍රතිපදාව හැදිනිය හැකිය. හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරවරයා තම මිතුරාගෙන් ලද ලිපි වලට උත්තර යවන්නේ සිරිලක හැම තැන ඇති කථාව ගැන කියමිණි. ඒ ඉතිහාස කථාව ඇත්තම ඇත්තදැයි බලන්නට ඔහු රහසිගත මිනිසෙකු සොයා ගත්තේය.‘කපිතාන් හොග්’ සිරලක ඇවිත් ලක්දිව උරුම සිරිතට පණ දුන් මිනිසෙකු වන්නේ ඔය විදියටය. කපිතාන් හොග්ගේ සේවය ඉංගී‍්‍රසින්ට වෙනස් වන්නට මග පෙන්නූ කැඩපතය. ඒ වගේම සිංහලයන්ට අතීතාඩම්බරයකින් නැගී හිදින්නට මග කියන පාර හදා දුන් තැනය. මුල මතක ඇත්නම් දිගු ගමනක් යා හැකිය. ඒත් ජාතියේ මුල හොයන්නට මුල හොයා දුන් ‘කපිතාන් හොග්’ අමතක කර දමා ඇති විට මුල අග හෝ මැදවත් නොදන්නා ලාබ බාල කේවට්ටයන් ඉතිහාස මහගෙදර අල්ලාගෙන ඇත්තේය. මේ නිසා පරියේෂණ නැති කට වාචාල පොතේ ගුරාලාගේ ගජබින්න බලා ගන්න සිදුව ඇත්තේය.

    උතුර  වෙල්සයේ සිට ලක්දිව වෙල්ලස්සට ‘හොග්’ පැමිණෙන කථාව මන බදින චිත‍්‍රණයක් වැනිය. හොග්ගේ තාත්තා මහා බි‍්‍රතාන්‍ය රාජකීය යුධ හමුදාවේ නිළ ලේඛකයාය. හොග්ට අම්මෙක් නොවූනේය. ඒ අම්මා පුතුව අතහැර ගොස් සිටි නිසාය. මේ තරුණයා හර්කියුලිස්ට හමුවන්නේ උතුරු වෙල්සයේ කෑලෑ ගමකදීය. දෙදෙනා මිතුරන් ගුරු ගෝලයන්ද වන්නේය. ඒත් හර්කියුලස් රොබින්සන්ට ටික කාලයකින් රටත් මිතුරාත් අතහැර ලක්දිවට පා තබන්නට සිදුවූවාය. ඔහු ලක්දිව ආණ්ඩුකාර පදවියට පත් විට හොග් බි‍්‍රතාන්‍යය රාජකීය හමුදාවේ කපිතාන්වරයකුව සිටියේය. මහා භාරතය සොයන පුරා විද්‍යා වෑයම නතරව ඇති වග හර්කියුලස් වෙත තම මිතුරෙකු වූ කනිංහැම් ගෙන් දැන ගන්නට ලැබෙන්නේය. කනිංහැම්ට ‘මහාවංශය’ ගැන ලියා යවන්නේ හර්කියුලස්ය. කනිංහැම් වහා වහා ලක්දිවට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවක් උවමනා බැව් කියන්නේය. මහා අධිරාජනියගෙන් ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට ලංකා පොලොවේ ඇති පුරාවිද්‍යා උරුමස්ථාන ගැන ජිවමාන වර්තාවක් වහා සැපයිය යුතු වූයේය. ලංකාදීපය ගැඹුරට සොයා නොගෙන භාරතය සොයා ගත නොහැකි බවට වර්තා පලවන්නේ මේ අතර තුරය.
   කපිතාන් හොග් හෙවත් ‘කපිතාන් අර්.එෆ්.හොග්’ බින්තැන්නට ඇවිත් මහියංගණ මහාසෑය තිබූ තැනින් පටන්ගෙන අනුරාධපුරයට පිවිසෙන්නේ ඒ සදහාය. සිහින කථාවක් විතරක් නොව යටගිය දවසක් සොයා ගෙන කපිතාන් හොග් ජිවිතයම අතහැර සොයා යෑමම ජිවිතය කර ගත්තේය. ඔහුගේ ගුරු මිතුරා වූ ‘හර්කියුලස් රොබින්සන්’ තම සගයාගෙන් ලැබෙන තතු විත්ති එකට අමුණා ගොතා බදින්නේය. විටක සිංහල මිහි ගැබ හා එහි ඇති අතීත කෞතුකයන් සොයා ගෙන වන වැදුනු තම සගයා ගැන මාස ගණනාවකින් ආරංචි නැත. අතරමංව සිටි හොග් මංමුලාවෙන් මිදි ආ විගස හර්කියුලිස්ට තතු දත්ත යවන්නේය.  විටක දෙදෙනාම එක් වී වන වදුලූ මැදින් විරාජමානව නැගී ඇති සිංහළයන්ගේ වන්දනීය භුමි සොයා යන්නේය. ලක්දිව උරුමාතිතයට එබෙන විට මෙවන් කෞතුක කථාන්දරයන් ලියවී ඇත්තේය. ඒ ආත්මාන්දරයකිනි. මෙම ආත්මන්දරය වූ කලී මිත‍්‍රාන්දරයකි. ඒ මිත‍්‍රාන්දරය ලෝක උරුම මිතුරු සිරිතක් වන්නේ නූපන් රටක නූපන් ජාතියක උපන් සිරිතට පණදීමදට රුකුල් දුන් මිතුරු අන්දරයක් නිසාය.
   කපිතාන් ආර්.එෆ්.හොග් විසින් මහියංගන මහාසෑය, රුවන්වැලි මහාසෑය, ජේතවණාරාම අභයහිරි මහා සෑ සේම අටමස්ථානයද ඒ හා බැදි ලොව්තුරු නිර්මාණයන්ද ගණනය කලේය. වන වදුලක් මැද ගහකොළ සතා සිව්පාවා විසින් සුරකින වන ගැමියන් නමදින මේ පුදුම උරුමයන් ඔහු හරියටම ගණනය කලේය.  හොග් මැන බලන්නේ බිදවැටී තිබූ මහාසෑයය. පුදුමය වන්නේ ඔහු එයට දුන් වට ප‍්‍රමාණය හා උස ගනණය මහාවංශය ථුපවංශය හා මහාවංශ ටීකාව විසින් සුත‍්‍රගත කොට තිබූ ගණනයන් හා හරියටම සමාන වීමය. එය අභයගිරියට ජේතවණාරාමයටද මහියංගන මහා සෑයටද එසේම වූයේය. වඩාත් ආදරණිය ලක්වැසි මිතුරෙකු සේ කපිතාන් හොග් සදාදරණිය වන්නේය. ඒ ඔහු තම පරියේෂණ සමයේදි සෙල්ලිපි ගණනය කොට ඇති බැවිනි. පුරාතන සිංහළ අකුරු වැල කියවන්න ඔහු නොදත් අතර එය දත් අයෙකු හරියටම නොවූ සමයකි. ඒත් ඔහු හැම සේල්ළිපියකම දිග පළල වගේම එහි ඇති වදන් ගණනත් අකුරු ගණනත් මැන ගණනය කර ලියා තැබූවේය. එපමණක් නොව අකුරු නොවන සංකේත සලකුණු ද තව විටක වන ගැමියන් ඒ ගැන කියවූ අතීතාඩම්බර කථා පොකුරුද ලියා ඇත්තේය. ඉතින් කපිතාන් හොග් ගේ ලියවිල්ල නිසා මහා අධීරාජණීය සිරිලකට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව තම රජයේ වියදමින් පිහිටුවන්නේය.
   ඒත් හර්කියුලස්ට වගේම හොග්ටත් අපේ ඉතිහාසයෙන් දී ඇත්තේ මොනවගේ ඉඩක් ද?. මේ වගේ වී ඇත්තේ ඇයිද?. උත්කර්ෂයෙන් උත්කර්ෂයට මෙකල අප නංවන අපේ අතීත ආඩම්බරය සොයායන මාවත සොයා දුන්නේ ඔහුනය. කි‍්‍ර:ව 1882 දී මේ දෙන්නා නැව් නැග ස්කොට්ලන්තය බලා යන්නේය. ඒත් කරුමය පූරාවිද්‍යාව යන්නෙන් අදහස් වන්නේ ගල් පිළීම සෙල්ලිපි වෙහෙර විහාර රජ ගෙවල් රන් රීදී තඹ භාණ්ඩ විතරක්ය. නැත. පූරාවිද්‍යාව යනු පුරාවිද්‍යාත්මක මිනිසුන් ගැනද සොයන විෂය ය. නූතන ලක් පුරාවිද්‍යාවට නැත්තේම පූරාවිද්‍යාත්මක මිනිසා සොයන පරියේෂනයය. ඒ නිසා මුල අග මැද පැටලී යයි. ලොවක් හමුවේ පවතින්නට වෙනත් ධනයක් නොවමනා ජාතියක් ණය බරින් මිරිකී අපිළිවලින් අප්පිරියාවට ගොස් ඇත්තේ ඒකය.
   පුරාවිද්‍යාත්මක සුමිතුරන් වූ හර්කියුලිස් රොබින්සන්ද , කපිතාන් හොග්ද සොයා යන්න සිතුවේ ඒකය. ලක් පුරාවිද්‍යාවට ‘ පුරාවිද්‍යා මිනිසා’ ගැන චින්තාවක් අවැසිය. එය මාධ්‍යට කලාවට සිනමාවට විලසින්ම අධ්‍යාපනයට පිවිසිය යුතුය. එහෙම නොවූනු නිසා අපට හොග් වන් මිනිසුන් නැත. එවැනි ව්‍යායාම සහිත මිනිසුන් ඇතද නොපෙනේ. කඹුරුපිටියේ මහතෙරි`දුලාට, පරණවිතාරණලාට සහ දැරණියගලලාට පසු අප ඇවිත් නතරවී ඇත්තේ එතනය. හදකම්පා කරන මේ තැන ගැන සිතන්න සිතුවිලි හැගීම් ජනනය වේවා. සුදු සගයන් සිංහළ උදානයට ඇවිද ගිය මගම ඇවිදමින් මම දැන් සිතන්නේ ඒ ගැනය.

සුජිත් අක්කරවත්ත
  

1 comment:

  1. මහාවංශය සිංහල කරන්න බටුවන්තුඩාවේ පඬිතුමාටස් භාර දුන්නේ සුද්දො බව අමතක නොකළ යුතු ය. උන්ට අපේ ඉතිහාසය වටිනා එකක් විය.

    ReplyDelete