Friday, February 21, 2014

ඕවිල්ලේ කුමාරිහාමි



Entrance to the Bo Tree Enclosure as in 1896 from The ruined cities of Ceylon by Henry W. Cave



ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ ක‍්‍රි.පු. 236 උඳුවප් පුන් පෝදින සිරිලක වැඩම වුයේ මෙරටට නව උදා යුගයක් උදා කරමිනි. ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමත් සමග ඒ සැබැඳී වංශ කුල පරම්පරා ගණනාවක් සිංහල සමාජයට එක් විය. එලෙසම සිංහල සංඝ සමාජය තුළ වෙනම සංඝ ධුරාවලියක් ද බිහි වීමට ශ‍්‍රී මහා බෝධින් වහන්සේ ආගමනය හේතු වුයේය. මේ ශ‍්‍රී මහා බෝධි සමාජ සංවිධානයෙහි ප‍්‍රබල සංවිධිත භාවය නිසාම ශ‍්‍රී මහා බෝරජාණන් ලොව පුරාණතම වෘක්‍ෂය ලෙස අදටත් වැජඹෙති. ඒ සා දිගු ඉතිහාසයක් ඔස්සේ ගලා එන ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේගේ භාරකාරත්වයේ ආරම්භකයන් වුයේ බෝධි ගුප්ත කුමාරවරු හත්දෙනාය.

බොධිගුප්ත, සුමිත්ත, චන්ද්‍රගුප්ත, ධර්ම ගුප්ත, සුරිය ගුප්ත, සහ ගෝතම හා ජුතින්ධර යනු එම කුමාරවරුන්ය.  ඔවුන් විසින් ශ‍්‍රී මහා බෝධි භාරකාර සමාජය තහවුරු  කරනු ලැබිය. අනුරපුරය බිද වැටිමෙන් පසුව බෝධි ගුප්ත පරපුර මහත් අභියෝගයකට මුහුණ පෑවේය. එනම්, රාජධානිය නිරිත දිගට පසු බැසිමය. ඒ සමග රාජ්‍යයේ පූජනීය සංකේතය ලෙස තැනින් තැනට රැගෙන යා හැකි දළාදා වහන්සේ පත් වුහ. එයින් එය ශ‍්‍රී මහා බෝධිය රාජ අවධානයෙන් බැහැර වන්නට හේතු වුයේය. විශේෂයෙන්ම ධර්මාශෝක රජතුමා විසින් එවන ලදුව දෙවන පෑතිස් රජ සමයෙහි සිංහල රාජ්‍ය නිල ව්‍යුහයට සුත‍්‍ර ගත වු ශ‍්‍රී මහා බෝධි භාර කාර සමාජය රාජ්‍ය අනුග‍්‍රහය විරහිතව විසිර ගියේය. රාජ්‍ය විසින් තහවුරු කර ගනු ලැබු නිල ව්‍යුහයක් රාජ්‍යයේ අවධානය බැහැර වු කල වියවුලින් ගහණ වීම සාමාන්‍ය තත්වයකි.  මෙම තත්වය දඹදෙණි සමයේ පසු වඩාත් උග‍්‍ර වු අතර, අපරදිග ආක‍්‍රමණිකයන්ගේ ආක‍්‍රමණය සමග ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ පාලකයන්ගේ මෙන්ම ජනතා අවධානයෙන් බැහැර විය.

මෙවන් අවධියක එවන් තත්වයන්  අභිමුව බෝධි ගුප්ත වංශය සහ ඒහා බැදි බෝධි භාරකාර කුල ධුරාවලීන්  ජය ශ‍්‍රී මහා බෝධිය රැක ගත්තේ ස්වකීය පරම්පරාගත උරුමය බවට පෙරළා ගනිමිනි. රාජ්‍ය ධූරභාරය ස්ව වංශයේ ද කුලයේ ද අභිමානය සහ උරුමය බවට පත්  කර ගන්නට ඔවුන් සමත් නොවුනේ නම් ශ‍්‍රී මහා බෝධින් වහන්සේ අපවත් වන්නට ඉඩ තිබුණි. සිංහල රජ සිරිත රජ රටින් පිටමංව නිරිත දිග තහවුරු වුවද බෝධි ගුප්ත පරපුර නුවර කලාවිය පුරා විසිර පැතිරී පරම්පරානුගත බෝධි භාරකාර සමාජය රැක ගන්නට සමත් වුහ. බෝධි ගුප්ත වංශය විසිර පැතිර විටින් විට සිංහල රජ සිරතට ප‍්‍රභූ රාජ පරපුරක් ද බිහි කළෝය. මේ සියල්ල අතර, නිමක් නැති අභ්‍යන්තර බාහිර අවුල් වියවුල් මැද සිංහල රාජ පරම්පරා බිදි විසිර කුඩා වුයේය. ද්‍රවිඩ, මලයාලම්, චෝළ ආදීන් විසින් රජරට නුවර කලාවිය විනාශ කල අතර, කාලිංඝ-මාඝ රජරට මුළුමනින්ම විනාශ කර දැමුවේය. නමුදු මේසා මහත් ව්‍යසනයක් මැද බෝධි ගුප්ත වංශය වන්නි හත්පත්තුවේ සහ නුවර කලාවිය හදවත ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ බවට පත් කර ගනිමින් රජ්‍ය අනුග‍්‍රහයක් නොමැතිව වුව ද සංස්කෘතික් ලෙස ස්ව සමාජය පවත්වා ගන්න සමත් විය.  නිමක් නැති එම මහගු කැපවීම සතුරු වියවුල් මැද ශ‍්‍රී මහා බෝධියන් වහන්සේගේ ජීවමාන පැවැත්මට හේතු විය. 


දඹදෙණිය ඇද වැටිම බි‍්‍රත‍්‍රාන්‍යය අධිරාජ්‍යවාදීන් පැමිණිම දක්වා කාලය තුළ බෝධි ගුප්ත වංශයෙහි නිල වර්තා ඉතිහාසයෙන් වසන් වී ඇත. එනමුදු බි‍්‍රතාන්‍යයන් ඉතා වැදගත්  කාර්යකට මුල පිරිය. එනම් විහාර දේවාල ගම් ලියාපදිංචි කිරීමය. ඒ 1836 දීය. එයින්  ශ‍්‍රී මහා බෝධිය භාරකාර සමාජය යළි සමාජයට දැන හදුනා ගන්නට ලැබුණි. සියවස් ගණනාවක් මුළුල්ලේ කිසිදු රාජ්‍ය අනුග‍්‍රහයක් නොලැබ එලෙසම ජන අවධානයෙන් බැහැරව තිබූ ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ රැක බලා ගත් සමාජ සංස්කෘතිය නැවත ප‍්‍රකට වුයේ මෙම සිදුවිමත් සමගය.


1836 වන විට බෝධි ගුප්ත වංශය ‘‘නුවරවැව පවුල‘‘ ලෙස නාමකරණයකට ලක් තිබුණි. ඒ අනුව ‘‘නුවර වැව පවුල‘‘ බෝධි ගුප්ත වංශයෙහි එකල ජනගත නාම ද නොවේ නම් ඔවුන් බෝධි ගුප්ත වංශයේ අතුරු ශාඛාවක් දැයි නිශ්චිත නැත. කෙසේ නමුදු 1836 වන විට බෝධි භාරකාර ප‍්‍රධානත්වය නුවර වැව පවුල දරන්නට ඇත්තේ ඔවුන් තීරසාරව බෝධි ගුප්ත පරපුරින් විහිදී වංශගත උරුමයක් ලෙස බව පැහැදිලිය. ඒ අනුව එකල ශ‍්‍රී මහා බෝධියේ ගිහි භාරකාරීත්වය නුවර වැව පවුලේ ‘‘සුරිය කුමාර වන්නිසිංහ මුදියන්සේ ය.‘‘ දරමින් ඔහු නිල බලයේන් නුවර කලාවියේ මහා වන්නියා ද විය. ඒ අනුව සිංහල රාජ්‍යය පිහිටි රටින් බැහැර වුද පටන් බෝධි ගුප්ත පරපුර නුවර කලාවියේ පාලකයන් වු බව මේ අනුව නිගමනය කල හැකිය.  කෙසේ නමුදු සුරිය කුමාර වන්නිසිංහ මහවන්නියා මිය යාමෙන් ඉක්බිතිව ඔහුගේ එකම පුත‍්‍රයා වු වනසිංහ බණ්ඩාර බෝධි භාරකාර ධුරයයට පත් වු අතර, අටමස්ථානයන්හි භාරකාරත්වය ද ඔහුම ඉසිලූවේය. නමුදු 1871 වර්ෂයේ දී නව යොවුන් වියේ සිටි වනසිංහ බණ්ඩාර මහවන්නියා මිය ගියේය. ඔහුට දාව පිරිමි දරුවන් නොසිටි බැවින්.  බිරිද වු ඔවිල්ලේ කුමාරිහාමි බෝධි භාරකාර ධුරයට පත් වුවාය. මෙය ඓතිහාසික සන්ධිස්ථානයකි. ස්ත‍්‍රියක් වු සංඝමිත්තා තෙරණින්වහන්සේ විසින් වැඩමවා ගෙන එනු ලැබු ශ‍්‍රී මහා බෝධින් වහන්සේගේ භාරකාරත්වය ප‍්‍රථම වරට ස්ත‍්‍රියකට හිමි වුයේ මෙලසය.

එපමණක් නොව 1872 දී අටමස්ථානාධිපති හිමියන් තෝරා ගැනිම සිදු වුයේ  ඕවිල්ලේ කුමාරිහාමිගේ ප‍්‍රධානත්වයෙනි. ශ‍්‍රී මහා බෝධි භාරකාර සංඝ පරම්පරාව ‘‘බෝමළුව‘‘ සංඝ පරම්පාරාව ලෙස නාම ගත වී තිබේ. එම පරපුර ද පුරාතන බෝධි ගුප්ත පරපුර ඇසුරින් බිහි වූ වංශගත පරපුරකින් පැවත එන සංඝ ධුරාවලියකි. ඒ අනුව අටමස්ථානිධිපති නම් මහා භාරධුර ශාසනික පදවිය හැම විටම තෝරා ගැනිම ශ‍්‍රී මහා බෝධිය භාරකාර මණ්ඩලය අනුමැතිය ඇතිව සිදුවීම පිළිගත් සම්ප‍්‍රදායයි.  ඕවිල්ලේ කුමාරිහාමි 1872 දී අටමස්ථානභාරකාර හිමියන් තෝරා ගැනිමේ තීරක චරිතය වු බැවින් ඇය දෙවන වරටත් විශේෂ චරිතයක් වුවාය. එනම් භික්‍ෂුන් වහන්සේ නමක් ශාසනික නිළයකට පත් කිරිම සඳහා එතෙක් මෙතෙක් ගිහි නායකත්වය ගත් එකම ස්ත‍්‍රිය බවට ඔවිල්ලේ කුමාරිහාමි ඉතිහාසයට එක් වීමෙනි.

සුජිත් අක්කරවත්ත                                                                                                                                                                                               




No comments:

Post a Comment